අනවසර ව්‍යාජ නිෂ්පාදන ආනයනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බදු ආදායම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි වාර්තාවේ.
පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් අඩු මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීමෙහි නිරත වන මෙම වංචනික වෙළෙඳුන් හේතුවෙන් මෙරට ජාතික ආර්ථික ස්ථාවරත්වය මෙන් ම පාරිභෝගික ආරක්ෂාවද අවදානමට ලක් වී තිබේ.
ජනප්‍රිය සන්නාම නිෂ්පාදනය කරන ආයතනවල හෝ ගෙන්වා බෙදා හරින නියෝජිත ආයතනවල අනුමැතියකින් තොර ව අදාළ සන්නාමගත ව්‍යාජ නිෂ්පාදන ආනයනය කිරීම නිසා මෙරට බදු ආදායම සහ විදේශ විනිමය සංචිත සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇත.
මෙම ගනුදෙනු ඉතා රහසිගත ව සිදුවන නිසා ඒවා පිළිබඳ ව නිසි ගණනය කිරීමක් සිදු කළ නොහැකි වීම ද ගැටලුවකි.
මෙම තත්ත්වයේ ප්‍රතිවිපාක භයානක විය හැකි බවත්, එය ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික දුෂ්කරතා තව තවත් වර්ධනය කරනු ඇති බවත් මේ පිළිබඳ ව අදහස් දක්වන ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.
නීත්‍යනුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා බෙදා හරින ව්‍යාජ නිෂ්පාදනවල අවම මිල නිසා නීත්‍යනුකූල නිෂ්පාදන දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත් වී ඇති අතර, තීරු බදු සහ බදු පැහැර හරිමින් ආනයනය කෙරෙන මෙම ව්‍යාජ නිෂ්පාදන අඩු මිල ගණන් යටතේ අලෙවි කළ හැකි බවත්, නීත්‍යනුකූල, ගුණාත්මක නිෂ්පාදන අලෙවි කරන වෙළෙඳුන්ට හා බලය ලත් අලෙවි නියෝජිතයින්ට එසේ අඩු මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කළ නොහැකි බවත් අවධාරණය කළ යුතු ම කරුණකි.
මෙසේ අඩු මිල ගණන් යටතේ ගුණාත්මක බවින් තොර නිෂ්පාදන මිල දී ගැනීම නිසා පාරිභෝගික ජනතාවට ඒවායේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් පසුකාලීන ව වැඩි මුදලක් වැය කිරීමට සිදු විය හැකි ය. මෙම ව්‍යාජ නිෂ්පාදන සඳහා බොහෝ විට වගකීමක් හෝ අලෙවියෙන් පසු සේවාවක් නොලැබෙන අතර, එහි දී පාරිභෝගික ජනතාවට දැඩි අපහසුතාවකට පත් වීමට සිදු වේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නියාමන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, පාරිභෝගික ජනතාවගේ දැනුවත් භාවය වර්ධනය කිරීම, නීත්‍යනුකූල ව්‍යාපාර සඳහා සහය දැක්වීම ආදී පුළුල් විකල්ප ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දැන් දැන් දැඩි වෙමින් පවතින අතර, රජය ඒ වෙනුවෙන් මැදිහත් විය යුතු ය.
ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින්, සැමට සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු අතර, මෙම වංචනික ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම වෙනුවෙන් රජය ගෙන යන පිළිවෙල තවත් ශක්තිමත් කළ යුතු වේ.