කේරලයේ මලයාලි සිනමාවේ සල්ලාලයන් ගැන ආන්දෝලනාත්මක විමර්ශන වාර්තාවක් නිකුත් වී තිබේ. හේමා කමිටු වාර්තාව නමින් ප්‍රසිද්ධියට පත්වූ එම විමර්ශන වාර්තාව මලයාලි සිනමාවේ දැවැන්ත ප්රතිරූප ගොඩනඟාගෙන සිටි සුපිරි නළුවන්, නිෂ්පාදකයන් හා අධ්‍යක්ෂවරුන්ගේ සිට සිනමා ක්ෂේත්රයට සම්බන්ධ තවත් බොහෝ පිරිසකගේ ඇඳිවත පවා උනා දැමීමට තරම් ප්‍රබල එකකි.
කාලයක් පුරා මලයාලි සිනමාවට සම්බන්ධව කටයුතු කරන කාන්තාවන් එම ක්ෂේත්රයෙහිම සිටින කාමාතුරයන්ගේ ලිංගික හිංසනයට ගොදුරු වූ හැටි හෙළිදරව් කළ හේමා කමිටු වාර්තාවට මුල් වූයේ මලයාලි සිනමාවේ ජනප්‍රිය නිළියක වන භාවනා 2017 වසරේදී සිනමාවට සම්බන්ධ පිරිසක් විසින්ම පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමේ සිදුවීමය. එම සිදුවීමේ ප්‍රධාන සැකකරු වූයේ ද මලයාලි සිනමාවේ ජනප්‍රිය නළුවකු හා නිෂ්පාදකයකු වූ දිලීප් ය. ඊට මාස කිහිපයකට පසු අත්අඩංගුවට පත්ව මාස 3ක කාලයක් බන්ධනාගාරගත වී සිටි දිලිප් ඇප පිට නිදහස ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝබරයේදීය. නඩුව තවමත් අවසන් වී නැත. අතවරයට ලක්වූ භාවානා වසර 5ක්ම සිනමාවෙන් ඈත්ව සිට නැවත රංගනයට එක්වූයේ 2022 වසරේදීය.
භාවනා මුහුණ දුන් සිදුවීම නිසා මලයාලි සිනමාවට සම්බන්ධ කාන්තාවන්ගේ ඉවසීමේ සීමාව පැන්නේය. තවදුරටත් නිහඬව සිටීමේ තේරුමක් නැති තැන ඔවුන් එක්ව කාන්තා සාමුහිකය නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේ සල්ලාලයන්ට එරෙහිව නැඟී සිටීමටය.
හේමා කමිටුව පත් වූයේ මලයාලි සිනමා කර්මාන්තයේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයට එරෙහිව එම සංවිධානය විසින් අධිකරණයට ගොනු කරනු ලැබූ පෙත්සමකට අනුවය. කේරළ ප්‍රාන්තයේ හිටපු කීර්තිමත් මහාධිකරණ විනිසුරුවරියක වන කේ. හේමාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරිමට කේරල රජයට සිදු වූයේ පෙත්සම සලකා බැලූ අධිකරණය කේරළ සිනමාවේ කාන්තාවන් මුහුණ දෙන අඩත්තෙට්ටම් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන ලෙස කේරළ රජයට නියෝග කිරීම නිසාය. මලයාලි සිනමාවේ ප්‍රවීණ නිළියක වන සාරදා සහ විශ්‍රාමික පරිපාලන නිලධාරිනියක වූ වල්සලා කුමාරිගේ එම කමිටුවේ සෙසු සාමාජිකාවෝ වූහ.
වසරකට වැඩි කාලයක් පුරා සිදු කළ විමර්ශනයෙන් පසු හේමා කමිටුව එම වාර්තාව කේරල ප්‍රාන්තයේ මහ ඇමැති පිනරායි විජයන්ට භාර දෙනු ලැබුවේ 2019 දෙසැම්බරයේදිය. එහෙත් අදටත් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කේරල රජයට උවමනාවක් ඇත්තේම නැත.
කමිටු වාර්තාවට සිදුවූයේ කුමක් දැයි මලයාලි සිනමාවේ කාන්තා සාමුහිකය වරින් වර මහ ඇමැති කාර්යාලයෙන් විමසන්නට වූ අතර, ගැටලුව ජනතාව අතරට ගියේ නිසි ප්‍රතිචාර නොලැබුණු තැනය. කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස වරින්වර රජයට බලපෑම් කරමින් විවිධ ආයතනවලට ගිය කාන්තා සාමුහිකයට අවසානයේදී යහපත් ප්‍රතිචාර ලැබුණේ කේරල ප්‍රාන්තයේ රාජ්‍ය තොරතුරු කොමිසම මේ පිළිබඳ ප්‍රාන්ත මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසාය. එය සලකා බැලූ මහාධිකරණය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අයැදුම්කරුවන්ට එම කමිටු වාර්තාව නිකුත් කරන ලෙස කේරල රජයට නියෝග කළේය.
කෙසේ වුවද පිටු 290කින් සමන්විත කමිටු වාර්තාවෙන් මහජනතාව අතට පත්වූයේ පිටු 233ක් පමණි. එහි තොරතුරු සඳහන් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට යැයි කියමින් ඔවුන්ගේ නම සඳහන් ඉතිරි පිටු කේරල රජය ඉවත් කර තිබිණි.
මලයාලි සිනමාවේ සල්ලාලයන් ගැනත්, කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවූ විවිධාකාරයේ අකටයුතුකම් ගැනත් මෙතෙක් කාලයක් සිනමාකරුවන් පමණක් දැන සිටි විමතිය දනවසුලු සිදුවීම් නම් ගම් ඇතුළුව තොග පිටින් හෙළිදරව් වූයේ ඉන් පසුවය.
‘බැබළෙන තරු ඇති, අලංකාර සඳක් ඇති මේ ආකාශය අබිරහස් රැසකින් පිරී පවතී. එහෙත් විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළිවූයේ තරු බැබළෙන්නේ නැති බව ය. දකින තරම් සඳ සුන්දර නැති බව ය. එබැවින් මේ විමර්ශනය සිදු කරනු ලැබුවේ ද ‘ඇසට පෙනෙන දේ විශ්වාස නොකරන්න, ලුනු පවා පෙනෙන්නේ සීනි ලෙසටය.‘ යන කියමන තදින්ම සිතෙහි රඳවාගෙනය.‘ කමිටු වාර්තාවට ලියා ඇත්තේ අපූරු පෙරවදනකි.
වීඩියෝ හා හඬ පට සහ වට්ස්ඇප් පණිවුඩ සාක්ෂි වශයෙන් එක්රැස් කරමින් ද, නළුනිළියන්, නිෂ්පාදකයන්, අධ්යක්ෂවරුන්, තිරකතා රචකයන්, කැමරා ශිල්පින්, වේෂ නිරූපණ ශිල්පීන් ඇතුළුව මලයාලි සිනමාවට සම්බන්ධ කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසකගෙන් ප්‍රශ්න කරමින්ද හේමා කමිටුවට සිය වාර්තාව සකස් කිරිමට සෑහෙන කාලයක් ගත වී තිබිණි.
සිනමාවට සම්බන්ධ ඕනෑම පුද්ගලයකුට කමිටුව හමුවට පැමිණ සාක්ෂි දීමට ඇරියුම් කරමින් කේරලයේ පළවන දිනපතා පුවත්පතක් වන ‘මලයාලම් ඩේලි‘ පුවත්පතෙහි දැන්වීම් ද පළ කරමින් එම පරීක්ෂණ කටයුතු ආරම්භ කළත් පළ කළ දැන්වීමෙන් ඵලක් වූයේ නැත. සිනමාවට සම්බන්ධ පුද්ගලයන් පෞද්ගලිකව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් අනන්‍යතාව ආරක්ෂා කරන බවට පොරොන්දු වී කමිටුව හමුවට පැමිණෙන ලෙස දැනුම්දීමට ඔවුන්ට සිදුවූයේ බැරිම තැනය.
එහෙත් සිනමාවට සම්බන්ධ බොහෝ පුද්ගලයන් දුරකතනයට ප්‍රතිචාර දැක්වීමෙන් මඟ හැරී සිටි බවත්, අවසානයේදී කමිටුව හමුවට පැමිණෙන ලෙස අදාළ පුද්ගලයන්ගේ නිවාස වෙත ගොස් පණිවිඩ ලබාදීම සඳහා දෛනික වැටුපකට කාර්යාල සේවකයකුගේ සහාය ලබා ගැනීමට කමිටුවට සිදුවූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.
හිටපු මහාධිකරණ විනිසුරුවරියට සහ සෙසු සාමාජිකාවන්ට මලයාලි සිනමාව අධ්‍යයනය කිරීම අමුතු අත්දැකීම් විය. මලයාලි සිනමා නිළියන් ගැන දැන සිටියද, සැබැවින්ම සිනමා කර්මාන්තයේ කාන්තා භූමිකාව විවිධ අංශ 30කට පමණ විහිදී ගොස් ඇති බව කමිටුව දැනගත්තේ කරුණු එක්රැස් කරද්දීය. සැබැවින්ම දකුණු ඉන්දීය සිනමාව අතිවිශාල එකකි. එය උතුරු ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවට වඩා විශාලය.
එහි දෙමළ, තෙළිඟු, කන්නඩා සහ මලයාලම් ප්‍රධාන භාෂාවලින් නිර්මාණය වන චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වන අතර, ශ්‍රී ලංකාවේ සිනමාලෝලීන් අතර ද දකුණු ඉන්දීය චිත්‍රපටවලට වැඩි අවධානයක් යොමු වී තිබේ. චෙන්නායි නුවර කේන්ද්‍ර කර ගත් දෙමළ සිනමාව ‘කොලිවුඩ්‘ ලෙස හඳුන්වන අතර, තෙලංගනා ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් තෙළිඟු සිනමාව ‘ටොලිවුඩ්‘ ලෙසත් හැඳින්වෙයි. කර්නාටක ප්‍රාන්තයේ කන්නඩා සිනමාව හඳුන්වනු ලබන්නේ ‘සැන්ඩල්වුඩ්‘ නමිනි. කේරලයේ මලයාලම් සිනමාව ‘මොලිවුඩ්‘ නමින් ප්‍රකට ය. මේ සිනමා ක්ෂේත්‍ර හතරේම පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ට ද රඟපෑමට අමතරව තවත් විවිධ රැකියා අවස්ථා නිර්මාණය වී තිබේ.
නිළියන්ට අමතරව නිෂ්පාදිකාවන්, අධ්යක්ෂවරියන් පමණක් නොව කැමරා ශිල්පිනියන්, සහාය අධ්‍යක්ෂිකාවන්, කොණ්ඩා මෝස්තර ඇතුළු ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියන්, නිශ්චල ඡායාරූප ශිල්පිනියන්, සංස්කාරකවරියන්, තිරකතා රචිකාවන් හා තාක්ෂණ ශිල්පිනියන් ඇතුළු අංශ ගණනාවකටම අයත් කාන්තාවෝ එහි වෙති.
ඊට අමතරව චිත්‍රපට ගීත සඳහා පෙනී සිටින නර්තන ශිල්පිනියන් සිය ගණනකි. මේ නර්තන ශිල්පිනියන්ගේ දුරකතන අංක සොයාගත් විමර්ශන කමිටුව වට්ස්ඇප් සමූහයක් ගොඩනැඟුවේ ඔවුන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අටියෙනි.
එහෙත් දින කිහිපයක් ඇතුළත ඔවුන් එකිනෙකා දිනෙන් දින වට්ස්ඇප් සමූහය හැර යෑමට පටන් ගෙන ඇත්තේ කමිටු සාමාජිකාවන් විමතියට පත් කරමිනි. කමිටුව හමුවේ සිනමාවට එරෙහිව කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස නර්තන ශිල්පිනියන්ට උපදෙස් ලැබී තිබූ බව හෙළිවූයේ පසුවය. අනාගතයේදී සිනමාවේ කිසිදු අවස්ථාවක් නොලැබෙනු ඇතැයි ඇති කර ගත් අනියත බිය ඊට තවත් හේතුවකි.
සියලු බාධක මැද සීමිත පිරිසක් සොයා ගැනීමට කමිටුව සමත් වූ අතර, අවසානයේදී මලයාලි සිනමාවේ ප්රවීණතම සහ ජනප්‍රියතම නිළියන්ට අමතරව නළුවන් කිහිපදෙනකු ද කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් වී තිබේ.
එහිදී සොයා ගත් කරුණුවලට අනුව සිනමාවට අරක්ගත් සල්ලාලයන් අලුතින් එක්වන කාන්තාවන්ගෙන් ලිංගික පහස ඉල්ලා සිටි බවත්, ඉදිරියේදී සිනමාවට සම්බන්ධ වීමේ අවස්ථා ලැබීමට එය බලපා ඇති බවත් කමිටුවට අවබෝධ වී තිබිණි. චිත්‍රපටයකට සම්බන්ධව කටයුතු කිරීමේදී කාන්තාවන් ලිංගික අඩත්තෙට්ටම්වලට ලක්වූ අවස්ථාවන් එමටය. රූගත කිරීම් සිදු කරන ස්ථානවලදී පමණක් නොව ප්‍රවාහනය අතරතුරදිත්, නවාතැන් ලබාදුන් ස්ථානවලදිත් ඒවා යහමින් සිදුවී තිබේ. සිනමා සල්ලාලයන්ගේ ඉල්ලීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළ කාන්තාවන්ට විවිධ හිංසාවලට ලක්වීමට ද සිදුවී ඇතැයි කමිටුවට අනාවරණය විය. ඔවුන්ට වැසිකිළි පහසුකම් හා ඇඳුම් පැලඳුම් මාරු කිරීමට කාමරයක් වෙන් කිරීම ඇතුළුව මූලික අවශ්‍යතා හරියාකාරව සපුරා නොදීමෙන් කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ද සිදුවී තිබේ.
නවාතැන් ලබා දුන් ස්ථානවලදී සහ ප්‍රවාහන සේවයේදී කාන්තාවන්ගේ ආරක්ෂාව ඉතා පහළ මට්ටමක තිබිණි. මුහුණපෑමට සිදුවන අකටයුතුකම්වලට එරෙහිව හඬ නඟන කාන්තාවන්ට සිදුවී ඇත්තේ අකුලාගෙන ගෙදර යෑමටය. මලයාලි සිනමාව තනිකරම පිරිමි ආධිපත්‍යයට නතුවී ඇතැයි ද කමිටුව හමුවේ කරුණු හෙළි වී ඇත. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය අවිනීත හැසිරීම රූගත කිරීමේ ස්ථානවලදී එමට තිබූ බවත් හෙළි වී තිබේ.
චිත්‍රපටයකට සම්බන්ධව කටයුතු කිරීමෙන් පසු පොරොන්දු වූ මුදල වෙනුවට අඩු මුදලක් ගෙවීම අඩු වැඩි නැතිව සිදුවන බවත් කමිටුවට කරුණු වාර්තා වී ඇත.
යම්කිසි චිත්‍රපටයක එළිමහන් රූගත කිරීමකදී ඊට සම්බන්ධව කටයුතු කරන කාන්තාවන්ට නිසියාකාර වැසිකිළි පහසුකම් හෝ ඇඳුම් පැලඳුම් මාරු කිරීමේ ස්ථාන හෝ සපයා නැති අතර, රූගත කිරීම් සිදු වන ස්ථානය ආසන්නයේ පිහිටි වන වදුලකට යෑමට හෝ විශාල ගසකට මුවා වී හෝ සිය ශරීර අවශ්‍යතා ඉටු කරගැනීමට සිදුවී ඇතැයි කමිටුව හමුවේ සාක්ෂි දුන් බොහෝ කාන්තාවන් ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා රූගත කිරීමේ ස්ථානයේ සිට මිනිත්තු 10 ක පමණ දුරකට යෑමට සිදුවන අවස්ථාවන්හිදි ඒ සඳහා කාන්තාවන්ට අවසර නොලැබෙන බවටත් කරුණු හෙළි වී ඇත.
එවැනි තත්ත්වයක් මත නැවත නවාතැනට යනතුරු තම ශරීර අවශ්‍යතා විඳ දරාගෙන සිටීමට ඔවුන්ට සිදුවී තිබේ. ශරීර අවශ්‍යතා ඇතිවීම වළක්වා ගැනීමට රූගත කිරීම් අතරතුර පිපාසය සංසිඳුවා ගැනීම සඳහා ජලය හෝ වෙනත් කිසිවක් පානය කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් පෙලඹී ඇති බවත් හෙළි වී තිබේ. එළිමහනේ ඇතැම් චිත්‍රපට රූගත කිරීම්වලදී ප්‍රධාන නිළියට සහ නළුවාට පමණක් වෙන් කළ ජංගම වැසිකිළියක් සවි කළ කැරවෑන් රථයක් සැපයීමට නිෂ්පාදන කණ්ඩායම පියවර ගනු ලැබුව ද, එය භාවිත කිරීමට සෙසු කාන්තාවන්ට අවසර නොලැබෙන බවටත් කරුණු වාර්තා වී තිබේ.
කාන්තාවකට ඇඳුම් පැලඳුම් මාරු කිරීම සිදුවී ඇත්තේ තවත් කාන්තාවන් දෙදෙනකු එක්ව තිරයකින් ආවරණය කරන ලද ස්ථානයකදීය. ඒ සඳහා කැරවෑන් රථයක් භාවිත කිරීමට යෝජනා ඉදිරිපත් වූව ද එහි ඉතා පහසුවෙන් කැමරා සවි කර රහසේ වීඩියෝගත කිරීමේ හැකියාව පවතින බැවින් බොහෝ නිළියන් ඊට විරුද්ධත්වය පළ කර තිබේ.
සිනමා නිළියන් සිනහමුසු මුහුණින් යුතුව කැමරාව ඉදිරියේ පෙනී සිටින්නේ ද එවැනි දුෂ්කරතා රාශියක් මැදය. ආර්තව ක්‍රියාවලියට මුහුණ දෙමින් සිටියදී එළිමහන් රූගත කිරිමකට එක්වන කාන්තාවන්ට මුහුණදීමට සිදුවී ඇත්තේ ඊටත් වඩා බරපතළ සිදුවීම්වලටය.
කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන් කාන්තාවන් වැඩිදෙනකු දැඩි අප්‍රසාදයෙන් යුතුව කරුණු කියා ඇත්තේ ලිංගික අඩන්තෙට්ටම් පිළිබඳ ය. කමිටුවේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ද එම කාරණාව සම්බන්ධයෙනි. මලයාලි සිනමාවේ අතිශය ජනප්‍රිය හා කීර්තියට පත්ව සිටි අධ්යක්ෂවරයකු සහ නළුවකුගෙන් පවා එවැනි හිරිහැර සිදුවන බවට තොරතුරු හෙළි වීමෙන් කමිටු සාමාජිකාවන්ගේ ද විමතියට කරුණක් වී තිබේ.
සිනමාවෙන් ඉදිරියට යෑමට වැඩිපුරම අවශ්‍ය වන්නේ එවැනි ලිංගික අඩත්තෙට්ටම් සහ අයුතු යෝජනාවලට අනුගත වීම බව කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන් නවක නිළියක් ප්‍රකාශ කර තිබේ. සිනමාවේ වැඩිදෙනකුගේ විශ්වාසය වී ඇත්තේ නිළියක් වීමට නම් ඕනෑම පුද්ගලයකු සමඟ යහන්ගත වීමට සූදානම් විය යුතු බවය. එනිසාම ආධුනික නිළියන් වැඩිදෙනකු ලිංගික ගොදුරු බවට පත්වන බවත් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.
දුරබැහැර රූගත කිරීම්වලට එක්වන නිළියන් සහ සෙසු කාන්තාවන් හෝටල කාමරවල නවාතැන් ගනිද්දී රාත්‍රී කාලයේ දොරට තට්ටු කිරීම් ඇතැම් විට එළිවනතුරු සිදුවන බවට ද නිළියන් හා සෙසු කාන්තාවන් කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ. එසේ කාමර දොරට තට්ටු කරන පුද්ගලයන් අන් කිසිවකු හෝ නොව චිත්‍රපටයටම සම්බන්ධ වුවෝ වෙති. ඇතැම් විට චිත්‍රපටයේ නිෂ්පාදක, අධ්යක්ෂවරයා හෝ ප්‍රධාන නළුවාගෙන් ද එවැනි ‘තට්ටු කිරීම්‘ සිදුවන බවට කරුණු හෙළි වී ඇත.
මලයාලි සිනමාවේ නොම්මර එකේ නළුවකු, අධ්යක්ෂවරයකු හා තිරකතා රචකයකු වන 58 හැවිරිදි බාබුරාජ්, චිත්‍රපට 350කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ ප්‍රවීණ නළු 61 හැවිරිදි සිද්දීකි, තවත් සුපිරි නළුවකු හා නිෂ්පාදකයකු වන 67 හැවිරිදි මුකේෂ්, සම්මානලාභී මලයාලි නළුවකු වන 46 හැවිරිදි ජයසූර්යා ඇතුළු තවත් ජනප්‍රිය නළුවන් රැසක් ලිංගික අතවර සිදු කළ බවට කමිටුව හමුවේ තොරතුරු අනාවරණය විය.
මලයාලි සිනමාව තනිකරම එවැනි නළුවන්ගේ, නිෂ්පාදකවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ පාලනය යටතේ සල්ලාල ජීවිත සඳහා පාරාදීසයක් බවට පත්වී ඇතැයි ද හෙළි විය. ඊට එරෙහිව හඬ නැඟීමෙන් නිළියන්ගේ සිනමා ජීවිතය පමණක් නොව පෞද්ගලික ජීවිතය පවා විනාශ වීමේ අවදානමක් ද මතුවී ඇති අතර, එවැනි තර්ජනවලට මුහුණ පෑමට නිළියන්ට සිදුවූ බවට හෙළි වූ තොරතුරු හේමා කමිටුව පවා තිගැස්මකට ලක් කළ කාරණාවකි.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රසිද්ධියට පත්වූ හේමා කමිටු වාර්තාවට ඇතුළත් තොරතුරු පදනම් කරමින් විමර්ශන කටයුතු සිදු කිරීම හැර අන් විකල්පයක් කේරල රජයට නොතිබිණි.
ජනතාව අතර නොමඳ ගෞරවයට හා ජනප්‍රියත්වයට පාත්‍ර වූ සිනමාකරුවන්ට එල්ල වූ ලිංගික අතවර චෝදනා සම්බන්ධව මූලික පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් ද පිහිටුවීමට රජයට සිදු විය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන්ගෙන් සමන්විත එම කණ්ඩායම වැඩ ආරම්භ කළ අතර, මේ වන විටත් ප්‍රබල සිනමාකරුවන්ට ලිංගික අතවර සම්බන්ධව නඩු 17ක් ගොනු කර අවසන් ය.
හේමා කමිටු වාර්තාවෙන් හෙළි කළ ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනා තහවුරු වීමටත් පෙර මලයාලි චිත්‍රපට ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු විධායක සභාවේ සාමාජිකයන් 17 දෙනකු ඉල්ලා අස්වීම නිසා එම සංගමය විසුරුවා හැරීමට සිදුවී තිබේ.
ඒ අතරතුර දෙමළ සිනමාවේ ප්‍රවීණ නිළියක වන රාධිකා සරත්කුමාර් තවත් බෝම්බයක් පුපුරුවා හැරියාය.
ලිංගික අතවර සිදුවන්නේ මලයාලි සිනමාවේ පමණක් නොව, ඒවා දෙමළ හා තෙළිඟු සිනමාවෙත් යහමින් සිදුවන බවට රාධිකා සරත්කුමාර් සිදු කළ ප්‍රකාශයෙන් පසු දෙමළ, තෙළිඟු හා කන්නඩා සිනමාවේ ලිංගික අතවර සෙවීමටත් කමිටු පත් කරන ලෙස බලධාරීන්ට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.
එය දෙමළ සිනමාවේ සුපිරි නළුවන් වන රජිනිකාන්ත්ලා හා කමල්හසන්ලා පවා තිගැස්මට පත් කළ කාරණාවක් බවට පත්වී ඇතැයි ද වාර්තා වේ.
ෆවුස් මොහොමඩ්