ලක්ෂිකාගේ පා මුල වැතිර ඉන්නා සුනඛ සුරතලා ඇයගේ මුහුණ දෙස බලමින් බුරයි. ඒ බිරීම හැඬුමකට සමානය. සුරතලාගේ හිස අතගාමින් ඔහු සන්සුන් කරමින්ම ලක්ෂිකා හඬ අවදි කළාය.
“එදා වෙන්න තිබුණු දේ මෙයාට කලින්ම දැනුණාද කියලා හිතෙනවා. මම සැලෝන් එකට යන්න ත්‍රීවීලර් එකට නඟින්න යනකොට හොඳටම බුරන්න ගත්තා. බුර බුර මගෙ පස්සෙන්ම ඇවිත් දෙපාරක්ම මගෙ සායෙන් ඇද්දා. එතකොට මගෙ අතේ තිබුණු ෆෝන් එක බිම වැටිලා ඒකේ පැත්තක ඩිස්ප්ලේ එකත් ගියා. මෙයා කරපු අනතුරු ඇඟවීම තේරුම් අරන් එදා ඒ ගමන නොගිහින් හිටියා නම් අදටත් මගේ කොණ්ඩෙ තියෙනවා.”
දිගු සුසුමක් හෙළමින් ලක්ෂිකා අප හමුවේ කළ අනාවරණය මේ වන විට රටම දන්නා කතාවක් බවට පත්ව ඇත. හිසකෙස් සකස් කරගැනීම සඳහා රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකට කොණ්ඩය අහිමි වීම පිළිබඳ ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල ලුණු ඇඹුල් ඇතිව දිග හැරෙන ඒ කතාවේ අගමුල ගැන අපි ඇයගෙන්ම ඇසුවෙමු.
“මම ලස්සනට අඳින්න පලඳින්න කැමතියි. ගමනක් යද්දි මහත්තයයි දරුවෝ දෙන්නයි එක්ක ලස්සනට යන්න කැමතියි. උපන්දින සාදයකට යන්න තිබුණු නිසා මට හිතුණා කොණ්ඩය හදාගන්න ඕනේ කියලා. මම මිනුවන්ගොඩ සණස බිල්ඩින් එකේ බිම් මහලේ තියෙන ‘සැලෝන් කලණි’ එක අයිති කෙනාට ඊට කලින් දවසේ කතා කරලා කිව්වා කොණ්ඩය කර්ල් කරගන්න ඕන කියලා. එයා කිව්වා 30 වැනිදා උදේ 8.15 වෙද්දි එන්න, කොණ්ඩය බලන්න ඕන කියලා. ඒ වෙලාවටම යන්න බැරිවුණ නිසා මම උදේ කෝල් කරලා කිව්වා 9ට කලින් එනවා කියලා. මම ගියාට පස්සේ රූපලාවණ්‍ය ශිල්පිනිය මගෙ කොණ්ඩය පරීක්ෂා කළා. මම ඇහුවා කර්ල් කරන්න පුළුවන්ද කියලා. එයා මට කිව්වා,” ඇයි මම පුරුදු වෙන්න කරනවා කියලා හිතුවද? මේක කර්ල් කරන්න පුළුවන් කොණ්ඩයක්” කියලා. කොණ්ඩය හදන්න ගාණ කීයද කියලා ඇහුවම කිව්වා රුපියල් දහඅට දාහක් විතර යනවා, පහළොස් දාහක් දෙන්න කියලා. දැන් 12,500ක් දෙන්න ඉතුරු ටික වැඩේ ඉවර වුණාම දෙන්න කිව්වා. ඒ වෙලාවෙ මම ඇහුවා ගාණ වැඩි නැද්ද කියලත්. එයා කිව්වා, බඩුත් ගෙනැල්ලා තියෙන්නෙ කියලා. බඩු ගෙනාවද කියලා ඇහුවම මම කිව්වා, “ඔව් ඔයා එනවා කිව්වනෙ. ඒ නිසා ගෙනාවා කියලා. ඒත් මහත්තයාගෙන් අහන්න ඕන කියලා ආපහු ගෙදර එන්න හිතාගෙන ත්‍රීවීල් එකට නැඟලත් ආපු එකේ කරගෙනම යනවා කියල හිතාගෙන වීල් එක පිටත් කරලා සැලෝන් එකට ආවා. ඒ වෙලාවේ මගෙ අතේ තිබුණේ රුපියල් 9,000යි, ළඟ තිබුණු බැංකුවට ගිහින් ගත්ත සල්ලිත් එක්ක සේරම රුපියල් 12,5000ක් සැලෝන් එකේ හිමිකාරිනියට දුන්නා. සල්ලි ටික අරගෙනත් එයාලා එයාලගේ වැඩ කර කර හිටියා මිසක් මගේ වැඩේ ගැන උනන්දු වුණේ නැහැ. සැලෝන් එක අයිති කෙනා එක ගෑනු ළමයෙක්ගෙ ඇහිබැම හැදුවා. ඊට පස්සේ එයා අයිති කෙනාගේ ඇහිබැම හැදුවා. මම කඩේට ගිහින් මට වතුර බෝතලයකුයි ෂෝටීසුයි එක්ක අර ගෑනු ළමයි දෙන්නට යෝගට් දෙකකුත් ගෙනාවා.
අයිතිකාර කාන්තාව ටික වෙලාවකට පස්සෙ එක ගෑනු ළමයෙකුට කිව්වා මගෙ කොණ්ඩය හෝදන්න කියලා. හෝදලා ඉවර වුණාට පස්සේ මාව පුටුවක ඉන්දලා කොණ්ඩයට කටු ගහලා කොණ්ඩය හදන්න ලෑස්ති කළා. ඊට පස්සේ අර ළමයි දෙන්නට වැඩේ ලස්සනට කරන්න කියලා උපදෙස් දීලා සැලෝන් එකෙන් පිටත් වෙලා ගියා. එදා එයාට උසාවියේ නඩුවකට යන්න තියෙනවා කියල තමයි මට උදේම එන්න කියලා කිව්වේ. කටු ගහලා ඉවර වෙලා ගෑනු ළමයි දෙන්නා කොණ්ඩයට ක්‍රීම් ගාන්න ලෑස්ති කරද්දි මම ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් තියෙන ක්‍රීම් වර්ගයක නමක් කියලා, මගෙ කොණ්ඩෙට ගාන්නේ ඒ වර්ගය නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ එයාලා මට සැර කළා, ඒවා පෙන්නන්නයි වැඩ කරන්නයි දෙකක් බෑ කියලා. මගේ වැඩේ කරන අතරේ එයාලා සැලෝන් එකට ආව අනිත් අයගේ වැඩත් කළා මිසක් මගෙ වැඩේ ගැන ලොකු අවධානයක් දුන්නෙ නැහැ.
එක පාරක් කොණ්ඩෙට ගාන ක්‍රීම් මගේ ඇහැකට වැටුණා. ඇහැ හොඳටම දැවිල්ල හැදුනා. ඇහැ දැවිල්ලයි කියද්දි මට ටිෂු කඩදාසි ටිකක් දුන්නා මිසක් ඇහැ හෝදන්නවත් උනන්දු වුණේ නැහැ. මමම කිව්වා බෝතලේ වතුරනේ ටිෂු ටික තෙමලා දෙන්න කියලා. ඊට පස්සෙයි එහෙමවත් කළේ. ඒත් දැවිල්ල නැවතුණේ නැහැ. මම සැලෝන් එකට ඇවිත් හිටිය පුතෙක්ට කිව්වා බෝතලෙන් වතුර අරන් තව ටිෂු ටිකක් තෙමලා දෙන්න කියලා. ඒ දරුවා ටිෂු දුන්නා මට. ඇහැ දැවිල්ල තියෙද්දි එයාලා දිගටම කොණ්ඩෙට ක්‍රීම් ගාන වැඩේ කරගෙන ගියා. කෙමිකල් දානකොට සැලෝන්වලදි කන් දෙක වැහෙන්න ආවරණ දෙකක් දානවනෙ. මෙයාලා ඒවා දැම්මෙත් නැහැ. මම ඒ ගැන ඇහුවම ඒවා නෑ කිව්වා. මම ටිෂූ ටිකක් ඉල්ලගෙන තමයි කන් දෙක වහගත්තෙ.”
මෙතැනට කොණ්ඩය හදන්නට ඇවිත් තමා මෝඩකමක් කරගත් බව ලක්ෂිකාගේ සිත ඒ වන විට ඇයටම දොස් නඟමින් තිබිණි. රසායනික ද්‍රව්‍ය ගල්වා සිටිය යුතු මිනිත්තු හතළිස් පහ ඉක්ම යද්දී කොණ්ඩය සේදිය යුතු බව ලක්ෂිකා සහායක තරුණියන් දෙදෙනාට මතක් කළද ඔවුන් කියා ඇත්තේ තවම කොණ්ඩය කර්ල් වී නැති බවය. ඒ අවස්ථාවේ රූපලාවණ්‍යාගාරය හිමි කාන්තාවගේ දියණිය ද එම ස්ථානයට පැමිණ ඇති අතර තරුණියන් දෙදෙනා කළ යුත්තේ කුමක්දැයි ඇයගෙන් විමසනු ලක්ෂිකාට ඇසී ඇත. කොණ්ඩය කර්ල් වන තුරු තවත් විනාඩි 45ක් තබන්නට තරුණියන් දෙදෙනා තීරණය කර ඇත්තේ සිය ස්වාමිදුවගේ ඒ දියණියගෙන් ද විමසාය. එහෙත් ඒ වන විට තමාට දරාගත නොහැකි තරම් හිසේ කැක්කුමක් සහ කැරකිල්ලක් දැනුණු බවත් ඒ ගැන තමා ඔවුන්ට කී බවත් ලක්ෂිකා කීවාය.
“ඒ වෙලාවෙත් එයාල මට බැන්නා, තමන්ගෙ වැඩේට ආව නම් ඉවර වෙනකම් ඉන්න ඕනේ කියලා. දෙවැනි විනාඩි හතළිස් පහත් ඉවර වුණාට පස්සේ එයාලා මගෙ කොණ්ඩෙ හෝදලා තවත් කෙමිකල් එකක් දැම්මා. ඒකත් තව පැය භාගයක් තියෙන්න ඕන කිව්වා. ඒ වෙද්දි මට ඔළුව කෙළින් තියාගෙන ඉන්න බැරි තරම් කැක්කුමයි. ඒත් මම කොච්චර ඔළුව රිදෙනවා කිව්වත් ඒ ගෑනු ළමයි දෙන්නා ඒ ගැන සැලකුවේ නැහැ. පැය භාගයකට පස්සේ එයාලා කොණ්ඩෙ හෝදන්න ගත්තා. ඒ සැරේ කොණ්ඩෙ හෝදද්දි මට ලොකු අමුත්තක් දැනුණා. මම ඇහුවා කොණ්ඩෙ තියෙනවද? කපලද කියලා. ඒ වෙලාවේ කිව්වා කටු ගහලා නිසයි එහෙම දැනෙන්නෙ. කොණ්ඩෙ හොඳට තියෙනවා කියලා. කොණ්ඩෙ හෝදලා පිහදාන්නෙත් නැතුව ඔළුවට තුවායක් දාලා මාව පුටුවෙ වාඩි කළා. ඒ වෙද්දි මට මුකුත් දැනෙන්න නැති තරමට ඔළුව කැක්කුමක් තිබුණ නිසා මම පුටුවට ඔළුව තියාගෙන හිටියෙ. ගෑනු ළමයි දෙන්නා එහෙට මෙහෙට දුවනවා, කෝල් කරනවා ඇහුණට අමාරුවෙන් හිටපු නිසා මට ඒ ගැන තේරුමක් තිබුණෙ නැහැ.”
ඇය කියන්නේ සිරුර සලිත වන කතාවකි. මේ අතරේ වුවමනාවක් සඳහා මිනුවන්ගොඩ නගරයට පැමිණි සිටි ලක්ෂිකාගේ සහෝදරිය සහ ඇයගේ දියණිය ද ලක්ෂිකා සොයා රූපලාවණ්‍යාගාරයට පැමිණියහ. තරුණියන් දෙදෙනා පුටුවක හාන්සි වී සිටි ලක්ෂිකාගේ කොණ්ඩයේ ගසා තිබූ කටු ගලවමින් සිටි අතර, ඇයගේ කොණ්ඩයේ කොටසක් අමුතු ආකාරයෙන් එල්ලෙමින් තිබෙන බව දුටු ලක්ෂිකාගේ අක්කා ඒ ගැන විමසා ඇත.
“අක්කා එහෙම අහද්දි මමත් බැලුවා ඒ මොකද කියලා. බලද්දි මගෙ කොණ්ඩෙ ගැලවි ගැලවි ඉබේම බිමට වැටෙනවා. එක පාරට කොණ්ඩෙ පැත්තක්ම ගැලවිලා වැටුණා. මම කෑගහලා ඇඬුවා ඔයාලා මොකක්ද මගේ කොණ්ඩෙට කළේ කියලා. ඒ එක්කම එක ළමයෙක් මිස් හොයන්න කියලා සැලොන් එකෙන් එළියට දුවගෙන ගියා. අනිත් ළමයා කාටදෝ දිගින් දිගටම කෝල් ගන්න ගමන් මිස් එනකල් මට වාඩිවෙලාම ඉන්න කියලා කිව්වා. ඒත් මට ඔළුව කැක්කුම ඉවස ගන්න බෑ. එහෙන් කොණ්ඩෙ ගැලවිලා වැටෙනවා. අක්කයි මමයි කෑගහලා එතැනින් එළියට ඇවිත් ඉක්මනටම පොලිසියට ගියා.”
හිසකෙස් සකස් කරගැනීමට උදෑසන 9ට රූපලාවණ්‍යාගාරයට ආ ලක්ෂිකා එයින් පිටවන විට හවස 4.30 පමණ වී තිබිණ. මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කඩිනමින් ලක්ෂිකාගේ පැමිණිල්ල සටහන් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය පෝර්මය නිකුත් කර වහාම ඇය මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බැවින් තමාගේ ජීවිතය බේරුණු බව ලක්ෂිකා කෘතවේදීව පැවසුවාය.
“රෝහලේදී කාටවත් මගෙ ළඟට එන්නවත් ඉවසගන්න බැරි තරම් සැර ගඳක් ආවා. ඒත් ඒ අපහසුතාවත් ඉවසගෙන නර්ස්ලා මාව නෑව්වා. රුධිර පරීක්ෂා ඇතුළු පරීක්ෂණ කිහිපයක්ම කළා. ඒ හැමදේම ඉක්මනින්ම කරලා එදා හවස 8 විතර වෙද්දි මාව ගිලන් රථයකින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට යැව්වා. ඒ රෝහලේදිත් මට හොඳින් ප්‍රතිකාර කළා. “
දින දෙකක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ලක්ෂිකා යළි නිවෙසට පැමිණියේ සැප්තැම්බර් 1 වැනිදා සවස්වරුවේය. මේ වන විට ඇයගේ හිසකෙස් සෑහෙන ප්‍රමාණයක් හැලී ඇති අතර තැනින් තැන තට්ටය පෑදී ඇත. බැලූ බැල්මට පෙනෙන්නේ හිසකෙස් පිලිස්සී ඇති බවකි.
“මේ සිද්ධියෙන් පස්සේ මට තවමත් දරුණු හිසේ කැක්කුමක් තියෙනවා. වමනෙ යනවා. කැරකිල්ලයි. ඇඟට පණ නැහැ. මම නිකම්ම ලෙඩෙක් වෙලා. බෙහෙත් බොන අතරේ සායනවලට සහභාගි වෙන්නත් ඕනෙ. මේ සිදුවීම නිසා මම ලොකු මානසික පීඩාවක ඉන්නේ. නාලා කොණ්ඩෙ පිහදද්දි කොණ්ඩෙ ගැලවිලා වැටෙනවා. ආයෙමත් මගෙ කොණ්ඩෙ වැවෙයිද කියල දන්නෙත් නැහැ. කොණ්ඩෙ කෙසේ වෙතත් අක්කා එදා ඒ වෙලාවේ ආවේ නැත්නම් මගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න තිබුණා. සැලෝන් එකේ වැඩ කරපු ගෑනු ළමයි දෙන්නගේ ඥාතීන් මට කතාකරලා මේක සමථයකට පත්කර ගන්න කියනවා. ඒත් දැන් මට කරන්න දෙයක් නැහැ. නීති මාර්ගයට ගිය නිසා දැන් මේක නීති මාර්ගයෙන්මයි විසඳගන්න වෙලා තියෙන්නෙ. සැලෝන් එකේ අයිති කෙනාත් උදව්වට හිටපු ගෑනු ළමයි දෙන්නත් හැංඟිලා ඉන්නෙ එයාලගෙන් වරදක් වුණ නිසානේ. මට මගෙ කොණ්ඩය නැති වුණා. ඒත් මම මම කියන්නේ මට වුණ දේ තවත් කෙනෙකුට නොවෙන්න එයාලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි.” ලක්ෂිකා කියන්නේ වේදනාවෙනි.
දෙදරු මවක වන ඇය 35 හැවිරිදි සුන්දර කාන්තාවකි. මේ සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් යූටියුබ් නාළිකාවල පළවන අපහාසාත්මක වදන් ද ඇයගේ සිතට වේදනාවකි. වර්තමානයේ කාන්තාවන් පමණක් නොව පිරිමි පාර්ශ්වය පවා රූපලාවණ්‍ය කටයුතු වෙනුවෙන් රූපලාවණ්‍යාගාර වෙත යෑම අරුමයක් හෝ අවිනීත ක්‍රියාවක් නොවන අතර, අවශ්‍ය වන්නේ සුදුසුකම් ලත් පළපුරුදු සහ විශ්වාසනීය ආයතනයකින් එම සේවය ලබාගැනීමට සැලකිලිමත් වීම බව සිහිපත් කළ යුතුය.
එම සිදුවීමෙන් පසු ලක්ෂිකා පොලිසියට යෑමත් සමඟ අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිනිය රූපලාවණ්‍යාගාරයට පැමිණ රූපලාවණ්‍යාගාරය වසා දමා පලා ගොස් ඇත්තේ එහි නම සඳහන් ඩිජිටල් පුවරුව ද ක්‍රියා විරහිත කරමිනි.
“මම කියනකම් ආයේ වැඩට එන්න එපා. මම සඳුදට ඔයාලට කෝල් එකක් දෙන්නම්”කියා රූපලාවණ්‍ය ශිල්පිනිය සිය සහායක තරුණියන් දෙදෙනාට උපදෙස් දී ඇති බව පැවසේ. ඇය තමන්ගේ අසනීපයකට බෙහෙත් ගන්නට අනුරාධපුරයේ යන බව කිහිප දෙනෙකුට පවසා ඇතැයි වාර්තා වුවද මේ වන තෙක් ඇය යළි පැමිණ නැත. පොලිසිය කිහිප වරක්ම ඇයගේ සහ සහායක තරුණියන් දෙදෙනාගේ නිවෙස්වලට ගොස් ඔවුන්ට පොලිසියට පැමිණෙන ලෙස නිවැසියන්ට පවසා තිබුණද ඒ කිසිදු පණිවිඩයකට සැකකාර කාන්තාවන් තිදෙනා ප්‍රතිචාර දක්වා නැත.
සහායක තරුණියන්ට රූපලාවණ්‍ය පිළිබඳ නිසි දැනුමක් සහ පළපුරුද්දක් නැති බවත් එක් තරුණියක් සේවයට පැමිණ ගතවී ඇත්තේ දෙමසකටත් වඩා අඩු කාලයක් බව ද දැනගන්නට ලැබිණි. මේ ලිපිය ලියන 6 වැනිදා පස්වරුව වන විට මේ සිදුවීම සිදුවී දින 7කි. ගැටලුවට තුඩු දුන් මිනුවන්ගොඩ ‘ සැලෝන් කලණි ‘ හිමිකාරිනිය වන මිනුවන්ගොඩ පදිංචි එම්. ඩී.ටී. ගයාත්‍රි ගුණතිලක නමැති කාන්තාව සහ ඇයගේ සහායිකාවන් දෙදෙනා තවමත් පොලිසියට කට්ටි පනිමින් සිටී.
කල් ඉකුත් වූ නිය ආලේපන භාවිත කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පැවරූ මිනුවන්ගොඩ අධිකරණයේ විභාග වූ නඩුවකදී වරද පිළිගත් එම සැකකාර සැලෝන් හිමිකාරිනිය ඉකුත් මාර්තු මාසයේදී රුපියල් පන්දහසක දඩයකට ද යටත්ව තිබිණි. මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පො.ප. එන්.පී.එස්. ජයලත්ගේ උපදෙස් මත කොට්ඨාස කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක විනිශ්රියා ප්‍රේමරත්නගේ අධීක්ෂණය යටතේ මිනුවන්ගොඩ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, කාන්තා උප පොලිස් පරීක්ෂක කේ.ඒ. වජිරා ශ්‍යාමලී මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. කා.පො. 377 හර්ෂිකා සහ කා. පො. 12803 සඳමාලි ඒ වෙනුවෙන් සහාය වේ. මේ වන විට සැඟවී සිටින සැකකාරින් තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ අධිකරණය විසින් සෝදිසි වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, රූපලාවණ්‍යාගාරයේ භාවිත කරන ආලේපන වර්ග පරීක්ෂා කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අධිකාරියට ද නියෝග කර ඇත. මේ පිළිබඳ ඉදිරි නඩු විභාගය ලබන 13 වැනිදා සිදු කිරීමට නියමිතය.
රට පුරා රූපලාවණ්‍ය මධ්‍යස්ථාන විශේෂ පරීක්ෂාවට ලක්කරනවා
– පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර
මේ පිළිබඳ කළ විමසීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර පැවසුවේ මේ වන විට රට පුරා රූපලාවණ්‍ය මධ්‍යස්ථානවල භාවිත කරන ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ආලේපන සම්බන්ධයෙන් පරීක්ෂාවන් සහ විශේෂ වැටලීම් ක්‍රියාත්මක වන බවය. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කරන්නේ නම් කොළඹ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික්ක 25 පිහිටි ප්‍රාදේශීය කාර්යාල මඟින් විශේෂ වැටලීම් සහ ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම පැවසීය. මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා සියලුම සබන්, ෂැම්පූ සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS) අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද හෙතෙම සඳහන් කළේය. මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ නියෝග අනුව කටයුතු කරන බවත් ඊට අමතරව අගතියට පත් පාරිභෝගිකයා විසින් කරනු ලබන පැමිණිල්ල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ස්වාධීන පරීක්ෂණයක් සිදු කර පාරිභෝගිකයාට සාධාරණය ඉටුකර දීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ද සභාපතිවරයා පැවසීය.
මෙවැනි සිදුවීමකදී කළ යුත්තේ කුමක්ද?
– ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රවි ජයවර්ධන
කොළඹ ජාතික රෝහලේ පිහිටි ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය අග්නිදිග ආසියාවේ පැරැණිම විෂ තොරතුරු මධ්‍යස්ථානය වන අතර, විෂ රසායනික පිළිබඳ විශ්වසනීය හා පරිපූර්ණ දත්ත සමුදායක් ඇතුළත් ජාත්‍යන්තරව පිළිගත් අමෙරිකාවේ Poison Index හා එක්සත් රාජධානියේ Tox base එම වෙබ් අඩවි දෙකකට ප්‍රවේශ වීම සඳහා අවසරය ලත් ලාංකේය ආයතනයයි. මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රවි ජයවර්ධන මෙසේ පැවසීය.
“මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් අපෙන් විමසීමක් කරන ඕනෑම අයෙකුට ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග සහ ප්‍රතිකාර පිළිබඳව දැනුම්වත් කරනවා. මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ඒ ඒ ද්‍රව්‍යවල අඩංගු ද්‍රව්‍යවල ප්‍රමිතිය, ගුණාත්මක භාවය සහ සංයුතිය සම්බන්ධයෙන් තිබෙන නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක වනවාද? යන්න සොයා බැලීම සහ එසේ නොමැති ද්‍රව්‍ය වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමත් ඒවා වෙළෙඳළට පැමිණීමත් අත්‍යවශ්‍යයි. ඒ වගේම මෙවැනි නිෂ්පාදන භාවිත කරන විට ඒ සඳහා දී ඇති උපදෙස් නිසි පරිදි කියවා බැලීමත්, භාවිතයට පෙර අසාත්මිකතා පරීක්ෂණය සිදු කිරීමත් උපදෙස් පරිදිම එය සිදුකිරීමත් ඉතා වැදගත්. යම් විදිහකින් ගැටලුකාරී තත්ත්වයක් මතුවුවහොත් එය කළමනාකරණය කරගන්නා ආකාරය දැන සිටීමත් අත්‍යවශ්‍යයි. මුලින්ම මතුවන රෝග ලක්ෂණ වන්නේ සම රතුවීම, කැසීම ආදියයි. රසායනික වර්ගයක් නම් ඇස්වලට නොයන පරිදි වහාම සේදිය යුතුයි. හම යෑම, තුවාල සමඟ කැරකිල්ල, හිස කැක්කුමත් එනවා නම් වහාම රෝහලට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගත යුතුයි. මෙවැනි සිදුවීමකදී පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ 0112 686143 දුරකතන අංකයට අමතා තත්ත්වය ඉක්මණින් කළමනාකරණය කර ගැනීමට උපදෙස් ලබාගන්නත් පුළුවන්.”
ඡායාරූප – මාලන් කරුණාරත්න
සුරේකා නිල්මිණි ඉලංකෝන්