Home » ආණ්ඩුවේ මතයට වඩා ජනමතය ප්‍රබලයි

ආණ්ඩුවේ මතයට වඩා ජනමතය ප්‍රබලයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

ජනාධිපතිවරණ සටන ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. මේ සටනින් ඔබට ජයගත හැකිවෙතැයි ඔබ සිතනවාද?

ඔව්. අනිවාර්යෙන්. මෙම ජනාධිපතිවරණයෙන් අපට ජයග්‍රහණය කළ හැකියි. මේ වන විටත් අපගේ මැතිවරණ ව්‍යාපාරය පොදු ජනතාව විසින් ඉදිරියට ගෙන යමින් තිබෙනවා. පොදු ජනතාව මේ තරම් උද්‍යෝගයකින් දේශපාලන කඳවුරක් ජයග්‍රහණය කරවීම සඳහා මෑත ඉතිහාසයේ පෙළ ගැසුණු ආකාරය අප දැක්කේ මේ අපේ රටේ පළමුවැනි වතාවටයි. ප්‍රකාශ වූ තැපැල් ඡන්දයෙන් විශාල ජයග්‍රහණයක් තිබෙන බව අපට වාර්තා වෙනවා. ඒ අනුව සලකා බැලුවාමත්, මෙම මැතිවරණය අපට ජයග‍්‍රහණය කළ හැකියි. ඒනිසා අපි අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා කියලා කියන්න පුළුවන්.

ඔබ ජනාධිපතිවරයා බවට පත්වුවහොත් නව ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලයේ සංයුතිය සහ එහි ප්‍රමාණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද?

මහ මැතිවරණයෙන් පසුව අප ගොඩනඟන ආණ්ඩුව සඳහා අප යෝජනා කරන්නේ උපරිම කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 25ක් සහ ඊට සරිලන නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවක් පමණයි. රාජ්‍ය අමාත්‍ය ධුර යනුවෙන් අමාත්‍ය ධුර පවතින්නේ නැහැ. අමාත්‍ය ධුර සඳහා ව්‍යවස්ථාවේ සීමාවක් පවතින නිසා එම සීමාවෙන් රිංගා යෑමට මෙම රාජ්‍ය අමාත්‍ය ධුර හඳුන්වා දී තිබෙනවා. කැබිනට් මණ්ඩලයට සහභාගි වීම හැර අනෙකුත් සියලුම වරප්‍රසාද ඔවුන් වෙත ලබා දී තිබෙනවා. අපගේ ආණ්ඩුවක් යටතේ එම අමාත්‍ය ධුර අහෝසි වෙනවා.

ඔබ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණොත්, පාර්ලිමේන්තුව විසුරුවාහරින බව පවසනවා. එසේ නම් කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධව එහිදි ගැටලුවක් තියෙනවා නේද?

ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් වහාම මෙම කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් එසේ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මහා මැතිවරණය පවත්වන අන්තර් කාලය සඳහා ව්‍යවස්ථාවට අනුකූලව අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග තුනක් තිබෙනවා. මා ජයග්‍රහණය කිරීමෙන් පසුව හිස් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්පූර්ණ කර හතර දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම ව්‍යවස්ථාවට අනුකූලයි. එසේ නොමැති වුවහොත්, සියලු විෂයයන් ජනාධිපතිවරයා යටතට පත් කරගෙන කෙටි කාලයක් තුළ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමත් ව්‍යවස්ථානුකූලයි. එහෙම නැත්නම්, අනෙක් පක්‍ෂත් නියෝජනය වන පරිදි භාරකාර ආණ්ඩුවක් මඟින් මැතිවරණය අවසන් වන තුරු ඉදිරියට යාම කළ හැකියි. මේ අවස්ථා තුනෙන් එකක් තුළ අන්තර් කාලය සඳහා රට පවත්වාගෙන යාමට අවකාශ තිබෙනවා.

මේ වනවිට මහා මැතිවරණයක් සඳහා ප්‍රතිපාදන වෙන්වීමක් නැහැ. එවැනි තත්ත්වයක් මත, පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම්, මහ මැතිවරණයක් සඳහා කඩිනමින් මුදල් සම්පාදනය කර ගන්නේ කෙසේද?

මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන පිළිබඳ ප්‍රශ්නයක් කිසිසේත්ම පැන නඟින්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී වුවත්, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට බලතල ජනාධිපතිවරයාට තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව ඔබ දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ඔබ ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ මැතිවරණ ක්‍රමයක්ද?

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා දීර්ඝ සාකච්ඡාවක් පසුගිය කාලයේ පැවැත්වුණා. නමුත්, පවතින පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයේ යම් මතවාදයක් තිබෙනවා; කුඩා මහජන බලයක් තිබෙන අයට පවා තමන්ගේ මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ වාගේම අපි කැමැති වුවත්, අකැමැති වුවත්, තවමත් ජාතිකත්වයන් මත පදනම් වූ දේශපාලන ව්‍යාපාර පවතිනවා. ඔවුන්ටත් මේ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා නව ඡන්ද ක්‍රමයක් සකස් කරන කොට අපේ මූලික පදනම වන්නේ, සියලු මතයන් දරන ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පාර්ලිමේන්තුවේ නියෝජනය වීමට ඉඩ සැලැසීමයි. ඒ වගේම මැතිවරණ ආසනයට වගකිව යුතු මා සඳහන් කළ පරිදි එවැනි අවශ්‍යතාවයන් ඉටු වන මැතිවරණ ක්‍රමයක් පිළිබඳවයි අපේ අදහස තිබෙන්නේ.

ඔබ ජනාධිපති ධුරයට පත්වුවහොත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව සඳහන් කරනවා නේද? මේ පොරොන්දුව මීට පෙර බොහෝ ජනාධිපති අපේක්ෂකයන් විසින් ලබා දුන්නා. නමුත් බලයට පත්වූ පසුව ඉටු කළේ නැහැ. ඔබ ගැනත් අපි විශ්වාස කරන්නේ කොහොම ද?

ඔව්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි, කියන ස්ථාවරයේ අපි එය ආරම්භ කළ දවසේ සිටම ඉන්නවා. මෙම යෝජනාව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළටත් ඇතුළත් කර තිබෙනවා. නමුත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඡන්ද ක්‍රමයත් සමඟ ගැට ගැසී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පක්‍ෂ රැසක එකඟතාව තිබෙන නිසා අහෝසි කළ හැකි නමුත්, අපි මුහුණ දෙන අභියෝගය වන්නේ ඒ සමඟ ගැටගැසී තිබෙන ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටලුවයි. ඒ නිසා ඒ පිළිබඳ එකඟතාවකට ආ හැකි පළමු මොහොතේදීම අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුමට අදාළ යම් යම් දේ වෙනස් කිරීමට උත්සාහ කළහොත්, එම සමස්ත වැඩපිළිවෙළම කඩාවැටෙන බවට ඇතැමුන් චෝදනා කරනවා. මේ ගැන ඔබේ මතය මොකක්ද?

මේ අදහස ජනාධිපති සහ රජයේ මතය මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අවස්ථා ගණනාවකදීම වෙනස් කිරීම් කර බවට උදාහරණ ලෝකයේ රටවලින් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී තිබෙන බොහෝ පරාමිතීන් රටකට හිතකර නමුත්, ඒ පරාමිතීන් හරහා ගමන් කරන මාවත ජනතාවට පීඩා ගෙන එන්නේ නම් පීඩා අවම කරගෙන යන මාවත කුමක්ද යනුවෙන් කල්පනා කළ යුතුව තිබෙනවා. ඒ නිසා අප කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒකපාර්ශ්විකව ඉවත් වෙන්නේ නැහැ. ඒ වාගේම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දරන්නෙත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සම්බන්ධ මේ සියලු දේ ආණ්ඩුව විසින් නිර්මාණය කරන දේවල්. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී ගනුදෙනු කරන්නේ ජනවරමක් සහිත ආණ්ඩුවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනස් වන තත්ත්වයන් තුළ වෙනස් වෙන්න කැමැතියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුමේ අන්තර්ගත කොන්දේසි වෙනස් කිරීමට නොහැකි බවත්, ඊට අදාළ වන අණපනත් පහක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති බවත් ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ආණ්ඩුව හිතන්නේ මේ අය ගහපු ගැට හැමදාමත් පවතිනවා කියලා. ඒක වැරැදියි. හැමදාම බලයේ ඉන්න බැහැ. ජනතාව දැන් තේරුම් අරගෙන තියෙන්නේ මේ දෙපාර්ශ්වයේ ම බොරුව. ඒ නිසා ලෝකයේ ඕනෑ තරම් උදාහරණ තිබෙනවා; අණපනත් නැවත නැවත වෙනස් වීමට භාජනය වූ ආකාරය ගැන. ලෝකයේ කිසිවක් ස්ථිතික නැහැ. සෑම කොන්දේසියක්ම ඇතිවන තත්ත්වයන්ට අනුරූපව වෙනස් කළ හැකියි. මේ ජනාධිපතිවරයාගේ සහ පවතින ආණ්ඩුවේ මතයට වඩා ජනවරම බෙහෙවින් ප‍්‍රබලයි. අප කියා සිටින්නේ ජනවරම කෙරෙහි සැම දෙනාම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි. ජනතාව පෙළ ගැසී සිටින්නේ ජාතික ජන බලවේගය වටා කියන දේ එවිට දැක ගන්න පුළුවන්.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද අහෝසි කරන බව ඔබ ප‍්‍රකාශ කරනවා. මෙවැනි තීරණයක් ගත්තේ ඇයි?

මෙවැනි ක්‍රියාමාර්ගයක් අපට අවශ්‍ය වන්නේ අපේ රටේ දේශපාලකයා සහ දේශපාලනය පිළිබඳව ජනතාව තුළ පවතින ඉතා පිළිකුල්, අපුල දනවන අදහස නිසයි. රට විශාල ප්‍රපාතයකට වැටී තිබියදී දේශපාලකයන් තමන්ගේ පැත්තෙන් කැප කිරීමක් කරන්න සූදානමක් නැහැ. ඔවුන් කරන්නේ තව තවත් තමන්ගේ වරප්‍රසාද වැඩි කර ගැනීමයි. මේ වෙලාවේ වාහන ගෙන්වීම මුළුමනින්ම අත්හිටුවා තිබෙන බව ඔබ දන්නවා. නමුත්, මන්ත්‍රීවරුන් විතරක් තමන්ගේ වරප්‍රසාද ඉල්ලා ගැනීම සඳහා දඟලනවා. ඒක මොන තරම් කැතද? ඒ වාගේම පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ ගිය පළමුවැනි මොහොතේදීම මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රුපියල් ලක්‍ෂයකින් වැඩි කළා. ඒ දීමනාව නොගත් එකම මන්ත්‍රී කණ්ඩායම ජාතික ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පමණයි. අපි ජනතාව වෙනුවෙන් ඉදිරියටත් කැපකිරීම් කරන්න සූදානම්.

මේ අර්බුදයෙන් රට ගොඩනැඟීමට නම් දේශපාලකයන්ගේ කැපවීමේ ආදර්ශය ලබා දිය යුතුයි කියලද ඔබ එයින් අදහස් කරන්නේ?

අනිවාර්යෙන්ම මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට දේශපාලකයන්ගේ කැප වීමේ ආදර්ශය අපි ලබා දෙනවා. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට යෝජනා කරන්නේ ඒ අනුවයි. මෙවැනි කඩා වැටුණු මොහොතකදී දේශපාලකයා යම් කැප කිරීමක් කරමින් සිටිනවාය කියන සංඥාව ජනතාවට ලබා දිය යුතුයි. ඒ අරමුණින් තමයි, අප මේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ. අනෙක් පැත්තෙන් ගත්තොත්, සමහර වරප්‍රසාද ලබා දිය යුතු ඒවා නොවෙයි. ජනතාවට වඩා මන්ත්‍රීවරයා උඩින් ඉන්න බැහැ. ජනතාවට වඩා උඩින් වරප්‍රසාද ලබන කෙනෙක් වෙන්න බැහැ. අපි ඉන්නේ ඒ ස්ථාවරයේයි.

ඔබ ප්‍රකාශ කරනවා අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත පනවා ඇති 18%ක වැට් බද්ද ඉවත් කරන බව. ඇතැමුන් පවසන්නේ මේක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් බවයි. රටේ පවතින අර්බුදය හමුවේ ඇත්තටම මේ වැට් බදු ඉවත් කිරීම කළ හැකි දෙයක්ද?

මෙය කළ හැකියි. ක්‍රියාත්මක ‘වැට්’ බද්ද ආරම්භ කළේ 2003 වසරේදී. නමුත්, 2023 දක්වා මෙම ක්ෂේත්‍රය සඳහා එය ක්‍රියාත්මක කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදයේදී සොයන්නේ ගිණුම්කරණ විසඳුමක්. අප සොයන්නේ ගිණුම්කරණ විසඳුමක් නොවෙයි. ගිණුම්කරණ විසඳුමක් සොයන ගමන් ජනතාවගේ ජීවන තත්වය උසස් කළ යුතුයි. ජනතාවට ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් ලබා දිය යුතුයි. නමුත්, ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව ජනතාව ගැන කිසිදු තෙතමනයක් නැතිව ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ ඇතැම් කේෂ්ත්‍රවලට බදු ගහලා තිබෙනවා. එය සාධාරණ නැහැ. එම අසාධාරණ බදු අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. ඒ බදු ඉවත් කළ හැකියි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒවගේම තමයි වෘත්තිකයන්ට අද වෙලා තියෙන දේ. අද මාසේ අතට ආපු ගානෙන් බාගයකට වඩා ටැක්ස් එකට කැපෙනවා අද වෘත්තිකයන් ඉන්නේ ඉතාමත් අසීරු තත්ත්වයක. ඒ අය අද විශාල කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා.

ඔබ පුද්ගල බදු නිදහස් සීමාව රුපියල් 200,000 දක්වා අඩු කරන බව කියනවා. නමුත් එමඟින් රජයේ ආදායමින් විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා නේද? කොහොමද රජයට අහිමි වන මේ වියදම සොයා ගන්නේ.

මම කියන්නේ අලුත් එකක් නොවෙයි තිබුණ දෙයක්. 2020 බදු අයින් කරන කල් තිබුණේ සිමාව ලක්ෂ දෙකහමාරයි. උපරිම සියයට 24යි. ගිය අවුරුද්දේ අපේ රටේ මුළු බදු ආදායම ගත්විට එනම් දේශීය අදායම් දෙපාර්තමේන්තුව සතු බදු ආදායම ගත්විට රුපියල් බිලියන නවසිය හැටයි. මේ නවසිය හැටෙන් සියට හැත්තෑ පහක් එන්නේ බදු ෆයිල් පන්සිය තිහත්, පන්සිය හතළිහත් අතර ප්‍රමාණයකින්. මේ ටැක්ස් වැදුණේ ජීවත් වෙන පඩියටනේ. වෘත්තියවේදියාට පොරොන්දුවක් දීමක් නොවෙයි. අද මේ වෘත්තිකයන් රට හැර යන තත්ත්වකයට පත්වී තියෙනවා. අපේ රටේ වෘත්තිමය ශ්‍රමය 15%යි. මේ වෘත්තිය ශ්‍රමය අපි ආරක්ෂා කරගත යුතුයි. නමුත් රටක බුද්ධිමය ශ්‍රමය අපි ආරක්ෂා කර ගත්තේ නැතිනම් මේ රට මුඩු බිමක් වෙනවා. රටක ගමන් රේඛාව දිගේ රටක් ගෙනියන්නේ වෘත්තියවේදීන්. අපි ඒ අය ආරක්ෂා කරගත යුතුයි. මාසෙම වැඩ කරලා අතට කීයක්වත් ඉතිරිවෙන්නේ නැති තත්ත්වයක් අද ඇතිවෙලා තියෙනවා. මේ මිනිසුන්ගේ ජීවිත කඩා වැටීම අපි නතර කළ යුතුයි.

ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරන බවට මේ රටේ ජනතාවට ඔබ ලබාදෙන සහතිකය කුමක්ද?

ඔබට ඒ ප්‍රශ්නය පැන නඟින්නේ මෙතෙක් මැතිවරණ ප්‍රකාශනවලදී ලබා දෙන ලද එකඟතාවන් ආරක්‍ෂා කරන්න අපේ රටේ ගොඩනැඟුණු ආණ්ඩු සමත් වුණේ නැති නිසයි. ඒ හැම ආණ්ඩුවක්ම විටින් විට කරන ලද්දේ ඡන්දය ලබා ගැනීම සඳහා පොරොන්දු මාලාවක් ලබා දීමයි. ඡන්දයෙන් පසු ඒ පොරොන්දු කඩා බිඳ දැමීමයි. අපි මේ ඉදිරිපත් කර තිබෙන්නේ සරල පොරොන්දු මාලාවක් නොවෙයි. ඒ ඒ ක්ෂේත්‍රය ගොඩගැනීම සඳහා ජාතික ජන බලවේගය විසින් සකස් කොට තිබෙන වැඩපිළිවෙළයි. අපි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පොහොර, බීජ සහන මිලට ලබා දෙනවා කියන්නේ පොරොන්දුවලින් ඔබ්බට යන වැඩපිළිවෙළක කොටසක්.

මේ ප්‍රතිපත්ති මාලාව ඉදිරි වසර පහ ඇතුළත අදාළ ඒ ඒ ක්ෂේත්‍ර අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර තිබෙනවාද?

අනිවාර්යෙන් අපි ඉදිරිපත් කර තිබෙන මේ ප‍්‍රතිපත්ති මාලාව ඉදිරි වසර පහ ඇතුළත ඒ ඒ ක්ෂේත්‍රවලදී රට ගොඩනැඟිමට අපි සැලැසුම් සකස් කර තිබෙනවා. මේ සැලැස්ම අනුව සාර්ථක ලෙස රට ගොඩනැඟීම යථාර්ථයක් කළ හැකියි. ආණ්ඩුව ගත්තාම මුලින්ම අපිට ඉටු කිරීමට තිබෙන්නේ මෙම කාර්යයයි. රට ගොඩනැඟීම සහ ජනතාවගේ ජීවිත ලස්සන කර ගැනීම සඳහා අපට මාවතක් තිබෙනවා. මේ වැඩපිළිවෙළෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ඒ මාවත මිස මෙය හුදු ඡන්ද ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන පොරොන්දු පත්‍රයක් නොවෙයි. අප කරන්නේ ඒ මාවතෙහි යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමයි. අපි නිසැක ලෙසම මෙය ඉටු කරනවා. ඒ පිළිබඳව ජනතාවට අපි කෙරෙහි විශාල විශ්වාසයක් ගොඩනැඟි තිබෙනවා. එසේ ම මේ රටේ සියලු ප්‍රගතිශිලි ජනතා බලවේග අපි වටා එකතු වෙලා තියෙනවා.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division