ජාති ආගම් කුල භේදයෙන් තොරව, ජාතික සමගියක් ඇති කිරීම උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ දේශමාන්‍ය එම්. ඒ. බාකීර් මාකාර් මහතාගේ 27 වන අණුස්මරණය සැප්තැම්බර් 12 වන දිනට යෙදී ඇත.
සිය ජාතිය සහ ආගමට මුල් තැනක් දෙන “ස්වෝත්තමවාදී” දේශපාලනික මති මතාන්තරයන් තුළ නිරන්තරයෙන් කටයුතු කරන වත්මන් සමාජයේ එකී ගමන වෙනස් කරලමින්, එය සිය මුස්ලිම් සමාජයට යහපත් වූ බහුතර සිංහල ජනතාව සමඟින් සුහදත්වය වර්ධනය කරමින් කටයුතු කරලීමේ සාර්ථක ප්‍රායෝගික ගමන් මඟ මනාව දසුන්ගත කළ විරල ජාතික නායකත්වයක් බාකීර් විසින් සිය දිවි පෙවත තුළින් පෙන්නුම් කළහ.
ඔහුගේ කුඩා හා තරුණ කාලයේදී මෙන්ම නීති වෘත්තිය හා සමාජ දිවි පෙවෙත හිදී හා වඩාත් අලංකෘත වූ දේශපාලනික දිවි පැවැත්මේ මෙම ජාතික සමගිය පිළිබඳ කථිකාව ඔහු නිරන්තරයෙන් ඉස්මතු කරමින් සනිටුහන් කළහ.
“ඇයි අපට සිංහල” (යේන් සිංහලම්) නමින් වූ ප්රකාශනයක් මුද්‍රණය කොට එය සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය තුළ බෙදාහල බාකීර් මාකාර් එවකට ද්‍රවිඩ සමාජයෙන් කවර බාධක පැමිණිය ද මෙම ප්රකාශනය තුළින් ඔහු නිරන්තරයෙන් උත්සාහ ගනු ලැබුවේ මුස්ලිම් හා සිංහල ජනතාව සියලු පාර්ශ්ව වෙතින් වඩාත් සමීප කරලීමේ අභියෝගය ජය ගැනීමටයි.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ යුගයේ දී සිංහල හා බෞද්ධ හා කතෝලික සිය පාසැල් මිතුරන් සමඟින් ගත කළ යුගයේදී ඔහු අත්දුටු ජාති හා ආගම් භේදයෙන් තොර තම මිතුරු සබඳතාවය ඔහුගේ පසු කාලීන සියලු ජන කොටස් සමඟින් වූ සමීප සබඳතාවයට හේතු විය.
සමාජ සේවාව යන්න හුදෙක් වචනයට පමණක් සීමා නොකළ බාකීර් මාකාර් “මම මුස්ලිම් ජාතිකයෙකු වීම ආඩම්බරයකි. එමෙන්ම විවිධ ජන කොටස් නියෝජනයට කරන ශ්‍රී ලාංකික ජන සමාජයේ සාමාජිකයෙකු වීම මා වඩාත් ආඩම්බර වීමට හේතුවක් වේ.” යැයි පැවසීය.
පසු කලෙක නීති වෘත්තියේ යෙදුනු බාකීර් මාකාර් සිය සේවාව සමාජ මෙහෙවරක් ලෙසින් සැබෑ ලෙසින්ම ක්‍රියාවට නංවමින් විශේෂයෙන් සිය ගම් ප්‍රදේශයේ අසරණ ජනතාවට නඩු හබ සම්බන්ධ නීති උපදෙස් නොමිලේ ලබාදෙමින් නීති සේවාව වඩාත් සමාජ අගයකින් යුත් මෙහෙවරක් බව ක්‍රියාවෙන් ඔප්පු කළහ.
1947 වසරේ බේරුවල නගර සභාවට මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් වූ බාකීර් මාකාර් 1950 වසරේ බේරුවල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත් විය. 1960 වසරේ බේරුවල මැතිවරණ කොට්ඨාසය ස්ථාපිත වීමෙන් අනතුරුව, බහුතර සිංහල ජන කොටසක් ජීවත් වූ බේරුවල අසුන 1960 මාර්තු මහ මැතිවරණයේදී ජය ගැනීමට ඔහු සමත් විය. ඉන් අනතුරුව 1977 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ විශිෂ්ට ජයක් හිමිකර ගත් අවස්ථාවේදී වැඩි ඡන්ද 27,000 ක් ලබා ගනිමින් බහුතර සිංහල ජනතාව නියෝජනය කළ බේරුවල ප්‍රථම මන්ත්‍රීවරයා වශයෙන් පත්වීමට බාකීර් මාකාර් සමත් විය.
1977 රජයේ කථානායක ධුරයට පත්වූ මෙතුමන් ශ්‍රී ලංකාවේ පැරණි පාර්ලිමේන්තුවේ අවසන් කථානායකවරයා සහ ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තුවේ පළමු කථානායක ධුරය හෙබවීමේ අවස්ථාව බාකීර් මාකාර් හිමි කරගත්හ. මෙරට තුන්වන පුරවැසියා ලෙසින් කථානායක ධුරය හෙබවූ අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතුන් දෙදෙනාම එකවර රාජ්‍යතාන්ත්‍රික ගමන් සඳහා විදේශගත වූ විට, රටේ පළමු පුරවැසියාට හිමි ජනපති ධුරයේ කටයුතු කළ අතර, එය මෙරට මුස්ලිම් නායකයෙකු හිමිකරගත් විරල ගෞරවයක් විය.
ජාතික සමගිය පිළිබඳ සිය සමාජ අත්දැකීම් තම පෞද්ගලික දිවි පෙවෙත සඳහා ද නිර්භයව ආරෝපණය කළ බාකීර් මාකාර් , මෙන්ම එම පවුලේ සෙසු සාමාජිකයින්ට ද එම එකමුතුව හා සමගිය වර්ධනය කිරීම උදෙසා නිරතුරුව කටයුතු කළහ. බේරුවල මුස්ලිම් දේවස්ථාන හා එහි ආගමික නායකත්වය මෙන්ම තම ගම් ප්‍රදේශයේ හා කළුතර දිසාවේ බෞද්ධ විහාරස්ථාන ආශ්රිත මහා සංඝරත්නය සමඟින් ඉතා සමීපව කටයුතු කළ බාකීර් මාකාර්, බොහෝ අවස්ථාවන්හිදී සිය සමාජ මෙහෙවර උදෙසා මෙම ආගමික නායකත්වයේ උපදෙස් හා මඟපෙන්වීම නිරන්තරයෙන් ලබාගත්හ.
සිය දූ දරුවන් ජීවිත සඳහා ද මෙම සමාජ සහජීවනය එක්කරලීමට නිරතුරුව කටයුතු කළ බාකීර් මාකාර් සිය දෙටුපුත් ඉමිතියාස් බාකීර් මාකාර් කොළඹ සහිරා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අවදියේදී, වැඩිදුර අධ්‍යාපනය සඳහා මෙරට ප්‍රමුඛතම බෞද්ධ විදුහලක් වූ කොළඹ ආනන්ද මහා විද්‍යාලයට එක් කරලීය. එලෙස එක්කරලීම තුළින් බාකීර් මාකාර්, අපේක්ෂා කළ සිංහල හා මුස්ලිම් සමාජයේ සමීපතාවය වර්ධනය කිරීම උදෙසා වූ පෞද්ගලික අත්දැකීම වඩාත් තෘප්තිමත් ලෙසින් ඔහු හිමිකර ගත් බව ඉමිතියාස් බාකීර් මාකාර්ගේ වත්මන් සමාජ හා දේශපාලනික දිවි පෙවෙත්ම හදාරන ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනී යයි.
අල්හාජ් බාකීර් මාකාර්ගේ සරල වූ සමාජ මෙහෙවර තුළ අගය කළ යුතු දෑ බොහෝය. වරෙක මහජන නියෝජිතයෙක් ලෙස, තවත් වරෙක කථානායකවරයෙකු ලෙසින් මෙන්ම පසුකාලීනව දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසින් සිය දේශපාලනික හා සමාජ මෙහෙවර ඉටුකළ බාකීර් මාකාර් ඒ සියලු අවස්ථාවන් හිදී සියලු ජන කොටස්හි එකතුව හා සාධාරණත්වය අරමුණු කොට ගෙන සියලු තීන්දු තීරණ ගනු ලැබීය.
lලක්විජය සාගර පලන්සූරිය