දෙව්නක පෝරගේ කියන්නේ මේ වන විට ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක්, බොහොම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් දෙව්නක ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම ජනප්‍රිය ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ඝරසර්ප සිනමාපටය තුළින්. දෙව්නක පසුගියදා විවාහ ගිවිස ගෙන තිබුණා. ඒ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන හෂිනි වෑදණ්ඩ සමඟ. මේ ආදර කතාව වගේම මේ දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමත් මේ වෙද්දී දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඒ හැම දෙයක් ගැනම අපි නව යුවළත් සමඟ කතා බහ කළා.
– ලබන අවුරුද්දේ මුල අපි වෙඩින් එක ගන්න හිතන් ඉන්නවා
– සමහර අය හිතන් හිටියා අපි දෙන්නා බැඳලා ඉන්නේ කියලා
– හෂිනි හමුවුණාම හිතුණා මෙයා මට ගැළපෙනවා කියලා ඒ නිසා අපි ආදරේ කළා
– විවාහ මංගල උත්සවයක් දළදා මාලිගාවේ ගන්න එක මමත් අනුමත කරන්නේ නැහැ
– මිනිස්සු අපට මොනවා කිව්වත් අප වරදක් කළේ නැහැ ඒ නිසා අපේ හිතට බරක් නැහැ
– සමහර වෙලාවට අපි එන්ගේජ් ද කියලා අහපු තැන්වල දී අපි ඔව් කියලාත් කිව්වා
මුලින්ම අපි කතා කළේ දෙව්නක එක්ක. ජීවිතේ කොහොමද මේ කාලේ?
මේ කාලේ නම් අතිශය කාර්යබහුල කාලයක්. නිදාගන්නවත් වෙලාවක් නැහැ. අපි පොඩි වැඩකට ලෑස්ති වෙනවා. ඒ මොකක් ද කියන එක ඉදිරියේදී කියන්නම්. මොකද ඒ දේ වෙන්න කලින් කියනවා ට වඩා හොඳයි වුණාට පස්සේ කියන එක.
ජීවිතේ වෙනසක් වුණා, ඒ ගැන අපි කතා කළොත්?
හෂිනිව මට හමුවෙන්නේ 2021 දෙසැම්බර්වල. ඒ හමුවීමත් එක්ක පටන් ගත්ත අපේ ආදර සම්බන්ධය මේ වෙනකම් ශක්තිමත්ව අරගෙන ආවා. ඒ නිසා මේ කාලේ අපිට හිතුණා අපි විවාහ වුණොත් හොඳයි කියලා. ගොඩක් අය අපෙන් ඇහුවා දැන්ම බඳින්නේ නැද්ද කියලා. ඒ එක්කම සමහර අය හිතන් හිටියා අපි දෙන්නා බැඳලා ඉන්නේ කියලා. සමහර වෙලාවට අපි එන්ගේච් ද කියලා අහපු තැන්වල දී අපි ඔව්. කියලාත් කිව්වා. මොකද බටහිර ක්‍රමයට එන්ගේච් කියන්නේ විල් යූ මැරී මී කියලා ඇහුවමනේ.
හරි සරල සුන්දර විදියට තමයි විවාහ ගිවිස ගැනීම සිදු වෙලා තිබ්බේ, කාගේද මේ අදහස?
අපි දෙන්නගෙම ලොකු කැමැත්තක් තිබුණේ නැහැ ලොකුවට වියදම් කරලා වෙඩින් එකක් ගන්න. හේතුව ඒ මුදල් ඊට වඩා හොඳ දෙයකට අපිට යොදවන්න පුළුවන්නේ කියන අදහසේ අපි හිටියේ. ඒ නිසා අපි අස්ගිරිය මහා පිරිවෙනේ දී පවුල් දෙකේ පිරිස එක්ක විවාහ මංගල්‍ය ගත්තා. පිටින් කියලා හිටියේ පාසල් කාලේ ඉඳන් මගේ ළඟින්ම හිටිය යාළුවො දෙන්නෙක් විතරයි.
ඒ එක්කම විවාහ ගිවිස ගැනීමෙන් පසු ගත් ජයාරූප කිහිපයකට සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා, ඒ ගැන කියන්න දෙයක් ඇති?
ඔව්. අපි විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ කෙළින්ම ගියේ දළඳා මාලිගාවට. ඒ ගිය වෙලාවේ අපි ෆොටෝ කිහිපයක් ගත්තා. එහෙම නැතුව අපි එතැන ෆොටෝ ෂූට් එකක් කළේ නැහැ. හැබැයි අපේ ෆොටෝ කරපු ලක්මාල් සිංහාරගේ අයියා ඇල්බම් එකට ඒ ෆොටෝ ටිකත් දාලා තිබ්බා. ඒ ෆොටෝ ටික ගැන තමයි මිනිස්සු ප්‍රශ්න කරන්නේ. දලඳා මාලිගාවටවත් දළදා වහන්සේටවත් කිසිම අගෞරවයක් වෙන විදියට ෆොටෝ අරන් නැහැ. හෂිනිගේ ඇඳුම වුණත් හැම තැනින්ම වැහිලා. මම වුණත් සුදු සරම ඇඳලා ඉන්නේ. අපි පිටුපාලා ගත්තෙත් නැහැ. මට නම් ඒ ගැන කියන්න තියෙන්නේ මෙච්චර බෞද්ධ රටක් වෙලා ඇයි මේ වගේ හිතන්නේ කියන කලකිරීමක්. ඔය මානසිකත්වය නිසා තමයි අපේ ශිෂ්ටාචාරය එක තැන තියෙන්නේ. අපිට අපේ දේ ලෝකෙට පෙන්නන්න බැහැ. උදාහරණයක් හැටියට තායිලන්තය ගත්තම තායිලන්තයේ බුදු දහම ගැන හැමෝම දන්නවා. තමන්ගේ උරුමය තමන්ගේ ශිෂ්ටාචාරය පෙන්වනවා. ඒ අය ලෝකෙට විවෘත වෙලා ඉන්නේ. ඒ හරහා සංචාරකයින් ඇවිත් බලනවා. අපේ තියෙන ප්රශ්නය තමයි අපි ගත්ත ඒ ෆොටෝවලට අපි බෞද්ධ කියන භක්තිය ඉස්සරහට දාගෙන ඉන්න අය බණිනවා. අපේ මිනිසුන්ගේ බෞද්ධකම එතැන කෝ කියන ප්රශ්නය තමයි මට තියෙන්නේ.
අස්ගිරිය පැත්තම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබ්බ ද?
අස්ගිරිය මහා පිරිවෙන තෝරා ගන්න හේතු වුණේ එහි මහා නායක හාමුදුරුවෝ අපේ තාත්තා එක්ක ගොඩක් හිතවත්. ඒ එක්කම නාරම්පනාවේ විමලධර්ම අනුනායක හාමුදුරුවෝ එක්ක මම ගොඩක් හිතවත්. ඒ නිසා තමයි ඒ පන්සල තෝරා ගත්තේ.
එතකොට කොයි කාලේ දී ද මංගල උත්සවය ගන්න හිතන් ඉන්නේ, එහෙම නැත්නම් මෙතනින් සීමා වෙනවද?
මගේ නම් කිසි කැමැත්තක් නැහැ සල්ලි වියදම් කරලා ලොකුවට මංගල උත්සව ගන්න වැඩේට. නමුත් අපේ අම්මලා චාරිත්‍ර ටික කරන්න ඕනේ කියන නිසා වෙඩින් එකක් ගමු කියනවා. හෂිනිගේ අම්මාත් කියනවා වෙඩින් එකක් ගමු කියලා. ඒ නිසා වැඩිකල් ගන්නේ නැතුව ලබන අවුරුද්දේ මුල අපි වෙඩින් එක ගන්න හිතන් ඉන්නවා.
කලා ක්ෂේත්රයේදී බොහෝ අය මුණගැහෙනවා. ඒ අතරේ හෂිනි ගාවම හිත නතර වෙන්න විශේෂ හේතුවක් තිබ්බද?
මම දන්නේ නැහැ ඕකට උත්තරේ මොකක් ද කියලා. හැබැයි කියමනක් තියෙනවානේ හදවතට ඕනේ දේ දන්නේ හදවත තමයි කියලා. ඒ නිසා ඒක එහෙම වුණා. මම ඇත්තටම හෂිනි හමුවුණාම හිතුණා මෙයා මට ගැළපෙනවා කියලා. ඒ නිසා අපි ආදරේ කළා.
දෙව්නක මේ කාලේ අපිට වැඩිය නිර්මාණ එක්ක දකින්න ලැබෙන්නේ නැහැ, ඇයි ඒ?
මගේ නිර්මාණ නම් මුකුත් නැහැ. මේ දවස්වල මගේ ෆෝකස් එක තියෙන්නේ ඉගෙනීමේ වැඩ කටයුතුවලට. ඒ එක්කම මම සංගීතය පැත්තෙන් පොඩි අඩියක් ඉස්සරහට තිබ්බා. මියුසික් බෑන්ඩ් එකක් පටන් ගත්තා. ඒකෙ නම Funky. මම මේ බෑන්ඩ් එක පටන් ගත්තේ ෂෙනාල් මද්දුමගේ එක්ක. ඒ හැර වෙන නිර්මාණ නැහැ. හෂිනිගේ නිර්මාණ එකක් තියෙනවා. සියත නාලිකාවේ විකාශය වන සංසාරේ නාට්‍යය.
තාම දෙව්නක රඟපෑ ඝරසර්ප චිත්‍රපටය බොහෝ දෙනෙක්ට මතකයි. එතැනින් පස්සේ සිනමාවට සම්බන්ධ වුණේ නැද්ද?
මම මේ ක්ෂේත්රයට ආවේ 2007 දී. ඊට පස්සේ මගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කාලේ මම රඟපාන එක නැවැත්තුව. ආයෙමත් මම රංගනයට ආවේ ඝරසර්ප චිත්‍රපටය තුළින්. ඒකත් එක්ක මම ආයෙම මේ ක්ෂේත්රයේ වැඩ කරන්න ගත්තා. පසුගිය කාලේ තව චිත්‍රපට දෙකකට කතා කළා. නමුත් කොරෝනා සහ රටේ පැවති වාතාවරණ එක්ක ඒ නිර්මාණ කෙරුණේ නැහැ.
ඉදිරියේදී දෙව්නක මොනවද කරන්න ඉන්නේ?
මම කොහොමත් කලාව නම් අතහරින්නේ නැහැ. ඒ එක්කම මම ඒ කාලෙට හිතෙන දේ කරයි. මේ කාලේ මම සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒක කරන්නේ මගේ තාත්තා එක්ක. තව ඉස්සරහට තව දෙයක් කරන්න අදහසක් ආවොත් මම ඒ දේත් කරයි.
මේ අතරේ අපි අපේ කතා බහට එකතු කර ගත්තේ හෂිනි වෑදණ්ඩව
මේ ආදර කතාව විවාහ ගිවිස ගැනීම දක්වා ආව ගමන හෂිනිට දැනෙන්නේ කොහොමද?
ඒ ආදරේ තමයි අපිව මේ තරම් දුරක් ගෙනාවේ. දැන් අපි අලුත් පරිච්ජේදයක් ආරම්භ කළා. එහෙම කියලා කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. හැමදේම අලුත් වෙලා වගේ හැඟීමක් තමයි තියෙන්නේ.
ක්ෂේත්රයේ බොහෝ දෙනා මුණ ගැසෙද්දී හිත දෙව්නක ගාවම නතර වුණේ ඇයි?
අපි දෙන්නා හිතන පතන විදියේ සමානකම් බොහොමයක් තියෙනවා. මට වඩා දවස් දෙකකට කලින් එයා ඉපදිලා තියෙන්නේ. අපේ පවුල් පසුබිම් එක වගේ. ගති ගුණත් එක වගේ. එයා කියන්නේ එයාගෙම ෆීමෙල් වර්ෂන් එක කියලා මම. ඒ නිසා දෙව්නක හමුවුණාම හිතුණා මෙයා මට ගැළපෙනවා කියලා. ඒ නිසා අපි ආදරේ කළා.
විවාහ ගිවිස ගැනීමේ දවස ලස්සනට චාම් විදියට අරගෙන තිබුණේ. මේ ඔබේ කැමැත්ත ද?
මම කොහොමත් අඳින්න ආස ඔහොම තමයි. ඇඟ වහගෙන ඇන්දා කියලා කැත වෙන්නේවත් ඇඟ ඇරගෙන ඇන්ද කියලා ලස්සන වෙන්නේවත් නැහැ. කොහොම ඇන්දත් ලස්සනයි. වෙනස තියෙන්නේ තමන්ගේ කැමැත්ත එක්ක. මේ ගැන කතා කරද්දී අපිට සහයෝගය දුන්න හැමෝටම මම ස්තුති කරනවා.
මේ දවස් සමාජ මාධ්‍යය තුළින් ඇතිව තිබෙන කතා බහ ගැන හෂිනිටත් ඇති දෙයක් එකතු කරන්න
ඒක ඇත්තටම අපිට ප්‍රශ්නයක් නෙවෙයි. හේතුව අපි ඒ දේ කළේ වයිරල් යාවි කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපි දෙන්නා කොහොමත් බුදු දහම ගැන ඉගෙන ගන්න දෙන්නෙක්. අපි දෙන්නගේ මාස්ටර් එකත් කරන්නේ බෞද්ධ දර්ශනය පැත්තෙන්. ඒ නිසා අපි දෙන්නා පටන් ගන්න අපේ ජීවිතේ වැදගත්ම දවසට අපි තෝරා ගත්තෙත් අස්ගිරිය මහා පිරිවෙන. ඊට පස්සේ අපිට ඕනේ වුණා රෙජිස්ටර් කරලා මුලින්ම දළදා මාලිගාවට යන්න. නුවර ඉඳලා දළදා මාලිගාවට ගියේ නැත්නම් වැඩක් නැහැනේ. එතැනට ගිහින් ආශීර්වාද අරගෙන එන්න අපි ගියේ. හැබැයි දැන් මේ කතාවක් යන්නේ අපි ලොකු කණ්ඩායමක් එක්ක ගිගින් ෂූට් කරපු වැඩක් විදියට. හැබැයි එදා එතැනට ආව මිනිස්සු දන්නවා නැත්නම් cctv වුණත් චෙක් කරන්න පුළුවන් කොහොමද එදා ඒ වැඩේ වුණේ කියලා. අපි දෙන්නා ගිහින් මල් පූජා කරලා අපි අරන් ගිය කරඩුව පූජා කළා. අපි එක්ක ගියේ අපේ ෆොටෝ ගත්ත කෙනා විතරයි. ඒ කිසි තැනක් ෆොටෝ අරගන්න තහනම් කරපු තැන් නෙවෙයි. විවාහ මංගල උත්සවයක් දළදා මාලිගාවේ ගන්න එක මමත් අනුමත කරන්නේ නැහැ. හැබැයි මෙතන එහෙම දෙයක් වුණේ නැහැ. අපිට ඕනේ වුණේ ආශීර්වාද ලබා ගන්න. මම නම් හිතන්නේ අපිට එහෙම හිතක් පහළවීම ම පින්වන්තයි කියලා. මෙතන වැරදි දෙයක් සමාජගත වෙලා තියෙන්නේ අපි දළදා මාලිගාවේම විවාහ ගිවිස ගැනීම සිදු කළා කියලා. මිනිස්සු අපට මොනවා කිව්වත් අප වරදක් කළේ නැහැ. ඒ නිසා අපේ හිතට බරක් නැහැ.
හෂිනි දිගටම රඟපෑමේ නිරත වෙනවද?
මගේ ප්‍රධාන විෂය වෙන්නේ සංගීතය. මම සංගීතයෙන් තමයි ප්‍රථම උපාධිය ගත්තෙත්. ඊට අමතරව තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ ලැබුණු අවස්ථාවෙන් තමයි මම රංගන ක්ෂේත්රයට ආවේ. මම දැන් රංගනයට සහ සංගීතය කියන අංශ දෙකටම කැමතියි. රංගනය ගැන වැඩිදුර හදාරන ගමන් ඉන්නේ. ඒ නිසා සංගීත ක්ෂේත්රයේ ඉන්න ගමන් රංගන ක්ෂේත්රය තුළ මට ගැළපෙන වැඩක් ආවොත් මම ආසාවෙන් කරගෙන ඉන්නවා. මේ වෙද්දීත් සින්දු දෙකක් කරලා තියෙනවා. මගේ එකක් සහ දෙව්නකගේ එකක්. ඒ නිර්මාණ ළඟදීම රිලීස් කරන්න ඉන්නේ.
ජායාරූප – ලක්මාල් සිංහාරගේ
අනුෂා රණසිංහ