Home » රෝගී දරුවාට පිහිටවන මුවාවෙන් එන් ජී ඕ නිලධාරියෙක් ගහන්න හදපු ගේම

රෝගී දරුවාට පිහිටවන මුවාවෙන් එන් ජී ඕ නිලධාරියෙක් ගහන්න හදපු ගේම

by thanushika
September 14, 2024 12:30 am 0 comment

දැරණියගල රස්නක්කන්ද, හින්න ගම්මානය දැරණියගල නගරයෙන් තරමක් දුරින් පිහිටි ගම්මානයකි. තුරු වදුලු සහ ඇළදොළවලින් ගහණ මනස්කාන්ත පරිසරයකින් යුත් අඩු ජනගහණයක් වාසය කරන ප්‍රදේශයකි. මේ ගමේ විසූ පනස්තුන් හැවිරිදි මහින්දසිරි විවාහක පුද්ගලයෙකි. ඔහුට එක් පිරිමි දරුවෙකි. එම දරුවා යම් අසනීප තත්වයකින් පෙළෙන අතර ඔහුට ඉන්සියුලින් ඖෂධය නිතර ප්‍රතිකාර වශයෙන් දීමට සිදු වී තිබේ.

මහින්දසිරි නීති විරෝධි ගිනි අවියක් ළඟ තබාගැනීම නිසාත් නීති විරෝධි මත්පැන් පෙරීම නිසාත් දැරණියගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙකි. මහින්දසිරි රථවාහන කිහිපයකට ද උරුමකම් කීවේය.

තම දරුවාට ඉන්සියුලින් එන්නත නිතර ලබාදීමට සිදු වූ බැවින් ඒ සඳහා උදවු කිරීමට කැමති අයෙකුට ඉදිරිපත් වන ලෙස දන්වා ඔහු මුහුණුපොතේ දැන්වීමක් පළකරන ලදි. මසක් යන්නට කලින් කොළඹ ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයෙකු මහින්දසිරිට උදවු කිරීමට කැමැත්ත පළ කළ අතර ඔහු රස්නක්කන්ද, හින්න ගම්මානයේ මහින්දසිරිගේ නිවසට පැමිණ රෝගයෙන් පෙළෙන දරුවා වෙනුවෙන් නිවසක් ද සාදා දීමට පොරොන්දු විය. ඒ අනුව නිවස සෑදිම සඳහා ගල් ලබා ගැනීමට නිවසට පහළින් ඇති ගල කැඩීමට අවශ්‍ය බව දන්වා ඔහු කොළඹ ගියේය. මහින්දසිරිගේ බිරිය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඊට අවශ්‍ය බලපත්‍රය සකස්කර ගත්තාය. පසුගිය අගෝස්තු මස 12 වන දින සැකකාර රාජ්‍යය නොවන සංවිධානයේ අධ්‍යක්ෂවරයා වශයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා තවත් පුද්ගලයන් අටදෙනෙකු කැටුව මහින්දසිරිගේ නිවසට පැමිණියහ. පිරිස මහින්දසිරිගේ නිවසේ සිට ගල් කැඩීම අරම්භ කරනු ලබන්නේ ඉන් අනතුරුවය. මෙසේ පැමිණි පුද්ගලයන් ඇඹිලිපිටිය, කළුබෝවිල, යක්කල, ගම්පහ, ජාඇළ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ය. මේ සමඟම තල්දූව ප්‍රදේශයේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් ද දෛනික කුලී පදනම මත රියදුරු සමඟ හින්න ප්‍රදේශයේ මහින්දසිරිගේ නිවස සෑදීමේ වැඩ කටයුතු සඳහා ගෙන්වා ගනු ලැබීය. එක්ස්කැවේටර් යන්ත්‍රයේ ක්‍රියාකරු පිරිසේ අනෙත් අය සමඟ කතා වළක්වාලීමට මේ සඳහා මුල් වූ රාජ්‍යය නොවන සංවිධානයේ අධ්‍යක්ෂවරයා නිතර වග බලා ගත්තේය.

මහින්දසිරිගේ දරුවාට නිවස සාදා දීම සඳහා නිවස ආසන්නයේ ඇති ගල කැඩීම දිවාරෑ දෙකේදී සිදු කළ අතර මේ සඳහා මහින්දසිරිගේ නිවස ආසන්නයේ පදිංචිව සිට ඥාති පුත්‍රයෙකු ද නිතර එහි පැමිණියේය. ගල කැඩීමේ කටයුත්ත කිසිම බාධාවකින් තොරව සිදුකරගෙන යන ලදි.

මේ අතර පසුගිය අගෝස්තු මස 24 වන දින දහවල් දැරණියගල පොලිසියට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියැවුණේ රස්නක්කන්ද, හින්න ප්‍රදේශයේ නිධානයක් ලබා ගැනීම සඳහා පිරිසක් ගලක් කඩන බවය. මේ සිද්ධිය පිළිබඳව දැරණියගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල සීතාවක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරින් ද දැනුම්වත් කර අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලදි. ඒ අනුව දැරණියගල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගොඩගම ඇතුළු කණ්ඩායමක් එදිනම එම ස්ථානය බලා පිටත් විය. එම ස්ථානය ආසන්නයට යනවිට පස්වරු හතර පමණ වී තිබිණි. පොලිස් කණ්ඩායම මහින්දසිරිගේ ඉඩම ආසන්නයේ සැඟවී සිට පිරිසගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන ලදි. මහින්දසිරිගේ නිවස පිටුපස අත්තිවාරමක් දමා ඊට පස් පුරවා තිබුණු අතර ඉන් ඔබ්බට එහි කිසිම ඉදිකිරීමක් කිරීමට සූදානමක් නැති බව පොලිස් කණ්ඩායමට වැටහිණි. එම ස්ථානයේ පස් පුරවා තිබීම පිළිබඳව ද සැකයක් ඇති විය. එම නව ඉදිකිරීම සඳහා කළුගල් අවශ්‍යතාවක් නොතිබූ අතර දිගින් දිගටම කල් කැඩීම පිළිබඳව සැකයක් ද පොලිසියට ඇතිවිය. එමෙන්ම පර්වතයෙන් කඩන ගල් මහින්දසිරිගේ වත්තේ පිහිටි කුරුඳු පැළ ද විනාශ වන අන්දමට පෙරළා දැමීම ද සිදුකරමින් තිබුණි. එය තවත් ගැටලුවක් විය. නිවසට පාරක අවශ්‍යතාවක් නම් ඊට ආසන්නයෙන් අඩු වියදමකින් කුඩා ගල් කිහිපයක් පමණක් කඩා පහසුවෙන් පාරක් සෑදීමට හැකියාවක් තිබියදී වෙනත් ස්ථානයක ගලක් කැඩීම සිදුකරන්නේ ඇයිදැයි පොලිස් නිලධාරින්ට සැකයක් ඇතිවිය.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම මෙම ස්ථානයට කඩා වැදී පිරිසකට පලා යාමට නොහැකි වන අන්දමට කටයුතු යෙදීය. එහිදී තමන් මානව හිමිකම් සංවිධානයක අධ්‍යක්ෂවරයකු බවට කියා ගන්නා පුද්ගලයා රාජ්‍ය නොවන සංවිධානයක හැඳුනුම්පතක් පෙන්වා තමන් ඇතුළු කණ්ඩාම මහින්දසිරිගේ දරුවා වෙනුවෙන් නිවසක් සකස් කිරීමට කටයුතු කරන බවත් දරුවා රැගෙන යාමට සහ ඒමට වාහනයක් ගමන් කිරීමට මාර්ගයක් කලින් සකස් කරන බව පැවැසීය.

මේ අතර පොලිස් කණ්ඩායම ගල් පර්වතය අසල තිබුණු මල් පහන් තට්ටුවක්, පහන්තිර, කුඩා බුදුරුවක්, දුම්මල, පහන්තිර, කහ වතුර බෝතල් දෙකක්, සුදු රතු නූල්, දේව රූප, තඹ කොළ, මීටර් 4ක් පමණ දිග සුදු රෙද්දක් සහ තෙල් වර්ග ද පොලිස් නිලධරයන්ට දැකගැනීමට හැකි විය. එමෙන්ම අවට නිරීක්ෂණය කරද්දි අඩි 8ක් පමණ ගල කැඩීමෙන් ඇති වී තිබූ විශාල කුහරයක් ද පොලිසියට නිරීක්ෂණය විය. ගල් බෝර ද විශාල ප්‍රමාණයක් ද දමා ඇති බවට සලකුණු තිබුණි. දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කිරීමට අවසර ලබා දුන් වෙඩි බෙහෙත් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඉතිරිව තිබිණි. එමෙන්ම ඇමෝනියා කිලෝ 10ක්, සේවා නූල් රෝල් 6ක්, ඩෙටනේටර් 42ක්, බෝර කරල් 22ක්, ජෙලට්නයිට් කූරු 24ක්, වෙඩි බෙහෙත් කිලෝ 3ක් සහ ගල් විදීමට ගන්නා උපකරණ ද තිබිණි. මෙම ස්ථානයේ සිදුවන ‘සිද්ධිය’ වටහා ගත් පොලිස් කණ්ඩායම එම ස්ථානයේ සිටි සුදු පිරුවට ඇඳ රත්රන් සුරයක් දමාගෙන සිටි සැකකරු සමඟ සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි. එදින රාත්‍රියේම සැකකරුවන් සහ එක්ස්කැවේටර් යන්ත්‍රය සමඟ මෙවලම් සියල්ල දැරණියගල පොලිස් ස්ථානය වෙත ගෙන එන ලදි. එහිදී සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව පසුදා එනම් 25 වන දින අවිස්සාවේල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඔවුන් ඉදිරිපත් කරන ලදි. සැකකරුවන් 11 දෙනා සැප්තැම්බර් මස 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැකකරුවන් සැප්තැම්බර් මස 2 වන දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත් ප්‍රසන්න සමරසිංහ නියෝග කෙළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ වාර්තා අධිකරණයට යොමු කර නොතිබූ බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහගේ උපදෙස් මත සිතාවකපුර පොලිස් අධිකාරි කේ. එස්. එස්. කේ. ජයවර්ධනගේ අධීක්ෂණයෙන් දැරණියගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපරීක්ෂක ගොඩගම, උප පරීක්ෂක අරුණ ශාන්ත, සැරයන්වරුන් වන (20460) බණ්ඩාර, (57066) නිලන්ත,(56977) වීරරත්න සහ (27719) කොස්තාපල් රියදුරු අලහකෝන් යන නිලධාරිහු වැටලීමට එක්වූහ.

 ඩබ්ලිව්. රෝහණ - බුලත්කොහුපිටිය සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division