Home » නිර්නාමික ඇමතුමෙන් හෙළිවූ මාරක රිය අනතුරේ සුලමුල

නිර්නාමික ඇමතුමෙන් හෙළිවූ මාරක රිය අනතුරේ සුලමුල

by thanushika
September 14, 2024 12:30 am 0 comment

ඉකුත් සැප්තැම්බර් පළමු වැනිදා දින ද රත්නපුර – කහවත්ත මාර්ගයේ ධාවනය වූ මගී බසයක් එම මාර්ගයේ ගමන් කළ සෙසු වාහන හෝ මිනිස් ජීවිත තුට්ටුවකට හෝ මායිම් නොකර බස් රථයේ රියැදුරු බස් රථය ධාවනය කළ ආකාරය දැක්වෙන ඇඟ කිලිපොළා යන වීඩියෝවක් ඉකුත් දින කීපයේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය විය. එම රියැදුරු ධාවනය කළ බසයට විරුද්ධ දිශාවේ මාර්ගයට යාබදව නතර කරගෙන සිටි කුඩා කාර් රථයක් හප්පාගෙන යන ආකාරය සීසීටීවී කැමරාවක මනා ලෙස සටහන් වී තිබිණි.

මේ කතාවද එවන් වූ අපරික්ෂාකාරී නොහික්මුණු රියැදුරන් දෙදෙනෙකුගේ රිය ධාවනය නිසා වූ මිනිස් ජීවිත දෙකක් අහිමි වීමේ සිදුවීමකි. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉකුත් දිනෙක සවස සිදුවූ එම අනතුරෙන් තවමත් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙකුට මවුපියන් අහිමි විය. එලෙස ජීවිත දෙකක් අකාලයේ මෙලොව හැර ගියද එම බිහිසුණු රිය අනතුර සිදුකළේ කවුරුන්ද යන්න මුලින්ම කිසිම තොරතුරක් පොලිසියට ලබාගත නොහැකි විය.

දෙනෝ දහක් ගමන් ගන්නා මහනුවර – කොළඹ මාර්ගයේ සවස් කාලයක සිදුවූ අනතුරක් වුවත් එය කිසිවෙක් සියැසින් දැක නොතිබීමද පුදුමයට කාරණාවක් විය. අවට සීසීටීවී කැමරාවක් හෝ නොතිබීම නිසා පරීක්ෂණ පවත්වන පොලිසියට මේ අනතුර සිදුකළේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට මහත් ගැටලුවක් විය. කෑගල්ල මූලස්ථාන එවක වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වූ ඩබ්ලිව්. පී. වීරසිංහ සහ කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමගේ මෙහෙයවීමෙන් එහි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ ඇතුළු කණ්ඩායම සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව අඹුසැමි යුවළ මරණයට පත්කරමින් ඉතා අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කළ ‘මඟමරුවන්‘ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. එලෙස මිනිස් ජීවිත දෙකක් විනාශ කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ සැකකාර රියැදුරන් දෙදෙනා කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරින්ගේ සහායද ඇතිව අත්අඩංගුවට ගනිමින් මේ සිද්ධියේ සුලමුල හෙළි කරගත් ආකාරය මෙලෙසිනි.

බෙලිගල ප්‍රාදේශීය රෝහල මහනුවර – කොළඹ මාර්ගයේ කෑගල්ල පොලිස් වසමට අයත් යට්ටෝගොඩට ආසන්නව පිහිටා තිබේ. ඉකුත් දිනෙක සවස 5.45ට පමණ රිය අනතුරකට ලක්වූ කතක් බෙලිගල ග්‍රාමීය රෝහලට ඇතුළු කරන්නේ කිසියම් පිරිසක් විසිනි. එම කාන්තාව ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියාය.

බෙලිගල රෝහලේ කාර්ය මණ්ඩලය එම කාන්තාව රිය අනතුරකට ලක්ව මරණයට පත්වීම ගැන කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය දැනුවත් කරන්නේ ඒ මොහොතේමය. ඒ අනුව කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන 57308 බුලත්සිංහල සහ 60469 අබේරත්න යන නිලධාරින් දෙදෙනා එම අනතුර සිදුවූ ස්ථානය සොයා යන්නේ එසැණිනි. අනතුර සිදුවී තිබුණේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කෑගල්ල පොලිස් වසමට අයත් යට්ටෝගොඩදීය.

පොලිස් නිලධාරින් එම ස්ථානයට යන විට රතු පැහැති CP AAV 5732 දරන ත්‍රිරෝද රථය මහනුවර – කොළඹ මාර්ගය මධ්‍යයේ පොඩි පට්ටම් වී තිබිණි. එම ස්ථානයේ ඒ වන විට තුවාලකරුවන් කිසිවෙක් නොවීය. පොලිසියට අවට සිටියවුන්ගෙන් සැල වූයේ වැඩිහිටි යුවළක් එම ත්‍රිරෝද රථයේ පැමිණි බවත් අනතුරින් දෙදෙනා බරපතළ තුවාල ලබා සිටි බවයි. කාන්තාව බෙලිගල ග්‍රාමීය රෝහලට රැගෙන ගිය බවත් පිරිමි පුද්ගලයා කෑගල්ල මහ රෝහලට රැගෙන ගිය බවද පොලිස් නිලධරයන් විසින් හෙළි කර ගන්නා ලදි.

අදාළ රෝහල්වලින් පොලිසියට වාර්තා වූයේ බෙලිගල රෝහලට රැගෙන ගිය කාන්තාව රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බවය. පිරිමි පුද්ගලයා ද බරපතළ තත්ත්වයේ කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගන්නා බවද අනාවරණය විය.

එම අනතුර පිළිබඳ විමර්ශන සිදුකළ කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගත්තේ අනතුරට ලක්වූ අඹුසැමියෝ මහනුවර, පිළිමතලාව, හන්දෙස්ස, අංක 49 දරන ලිපිනයේ පදිංචිකරුවෝ බවය. ඒ වන විට මියගොස් සිටි කාන්තාව පිළිමතලාව ලංකාතිලක මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ උපගුරුවරියක ලෙස සේවය කරන බවත් ඇය 55 හැවිරිදි සිකුරාධිපතිගේ කුසුමලතා ගුණතුංග බවත් හෙළි විය. ඇගේ සැමියා ඒ වන විට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බරපතළ තත්ත්වයේ පසුවෙමින් ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු වැවිලිකරුවකු වන 59 හැවිරිදි හේරත් යාපා ගමගේ ලක්ෂ්මන් ගුණතුංගය. මේ දෙදෙනාට මහනුවර ප්‍රසිද්ධ පාසල්හි උසස් පෙළ පන්තියේ සහ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතෙකු සහ දියණියකද සිටින බව අනාවරණය විය.

පොලිසිය අනතුරට ලක්වූවන් ගැන එලෙස තොරතුරු අනාවරණය කර ගන්නා අතරේ අනතුර ගැන ද පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය. ත්‍රිරෝද රථය මහනුවර – කොළඹ මාර්ගයේ යට්ටෝගොඩදී අනතුරට ලක්ව මාර්ගය මධ්‍යයේ පොඩි පට්ටම් වී තිබුණද අනතුර සිදුකළ වෙනත් වාහනයක් හෝ කිසිවක් ඒ අවට නොතිබිණි. ත්‍රිරෝද රථය පොඩි පට්ටම් වී තිබූ ආකාරයට එලෙස අනතුර සිදුකළ වෙනත් වාහනයක් නොතිබීම සැමටම ප්‍රහේලිකාවක් විය. සවස 5.45ට පමණ බිම් කළුවර ද නොවැටී තිබූ මොහොතක සිදුවූ එම අනතුර ඇසින් දුටුවෙක් ද නොවීය. ඊට අමතරව අවට සීසීටීවී කැමරාවක්ද නොතිබීම අවාසනාවකි. එම නිසා විමර්ශන ආරම්භ කළ කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් මුහුණ පෑවේ උභතෝකෝටිකයකටය.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශ නිලධාරින් අනතුරට ලක්වූ ත්‍රිරෝද රථය කෑගල්ල පොලිසියට රැගෙන ගියේය. අනතුරට පසුදා පෙරවරුවේ එය පොඩි පට්ටම් වී තිබූ ආකාරය පිළිබඳව රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර සියුම් ලෙස නිරීක්ෂණය කළේ ඔහු අපරාධ ස්ථාන පරීක්ෂණාගාර (SOCO) නිලධාරියකු ලෙස සේවය කොට ලත් හසළ අත්දැකීම් ඔස්සේය. එලෙස අනතුරට ලක්වූ ත්‍රිරෝද රථය පරීක්ෂාවට ලක්කරද්දී රථවාහන අංශ ස්ථානාධිපතිවරයා දුටුවේ පොඩි පට්ටම් වී ගිය ත්‍රිරෝද රථයේ ආවරණ රෙද්දේ තිබූ දූවිලි තට්ටුවේ වාහන අංකයක් ‘එම්බෝස්‘ කළා සේ සටහන් වී තිබෙන ආකාරයයි.

ඒ සමඟම කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ද ඒ පිළිබඳව දැනුවත් කළේය. අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත ත්‍රිරෝද රථ අනතුරෙහි විමර්ශන සඳහා කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන (SOCO) පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ද විමර්ශන සඳහා එක්විය. සොකෝ නිලධාරින් ද ත්‍රිරෝද රථයේ ආවරණ රෙද්දේ තිබූ වාහන අංකය තාක්ෂණික උපකරණද යොදාගනිමින් හඳුනාගත් අතර, එම නිලධාරින් සාක්ෂ්‍ය සටහන් කරගත්තේ ඡායාරූප ද ලබා ගනිමිනි.

මේ අතරේ කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස ක්‍රියා කළ මියගිය කුසුමලතාගේ සැමියා ලක්ෂ්මන් ගුණතුංග ද අනතුරින් දින දෙකකට පසුදා රාත්‍රි 11.45ට පමණ මෙලොව හැර ගියේ දරුවන් දෙදෙනාට මව සහ පියා දෙදෙනාම අහිමි කරමිනි.

ත්‍රිරෝද රථයේ ආවරණ රෙද්දේ එලෙස සටහන්ව තිබූ SG HK 1597 අංකය සහිත රථය මෙකී අනතුරට ඍජු ලෙසටම බලපා ඇති බව හඳුනාගත් පොලිස් නිලධාරින් එම රථවාහන ලියාපදිංචි අංකය ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර සොයා බැලීය. එලෙස එම රථය ගැන පරීක්ෂාවේදී හෙළි වූයේ එම ලියාපදිංචි අංකය සහිත කාරය රත්නපුර දිසාවේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ නමට ලියාපදිංචිකර ඇති බවය. එම පුද්ගලයා ඇහැලියගොඩ රජමහා විහාර මාවතේ පදිංචි 44 හැවිරිදි ධනුෂ්ක විමලසේන බවද හෙළි විය. ඒ සමඟම ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ කෑගල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කරන්නේ එම කාර් රථය සොයාගැනීමට ඇහැලියගොඩ පොලිසියේ නිලධාරින්ගේද සහාය පතමිනි. ඇහැලියගොඩ පොලිස් නිලධාරීන් අදාළ කාරය තිබෙන ස්ථානය සොයාගෙන කෑගල්ල පොලිස් නිලධාරින් දැනුවත් කළේය. පසුව කෑගල්ල පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඇහැලියගොඩට ගොස් ඇහැලියගොඩ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් සමඟ අදාළ කාරය සොයා ගොස් එම කාරය සමඟ එහි හිමිකරු ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලදි.

කෑගල්ල මූලස්ථාන පොලිසියට කාරය සමඟ රැගෙන ආ ධනුෂ්කගෙන් රථවාහන අංශ නිලධාරින් රිය අනතුර ගැන ප්‍රශ්න කරන්නට වූහ. ඔහු දීර්ඝ කතාවක් කීවේය.

“සර්… මගේ නෝනගේ ගම කෑගල්ල… ඔය කියන දවසේ හවස මමයි වයිෆුයි දරුවයි කෑගල්ලේ ඉඳලා මගේ කොන්ත්‍රාත් වැඩපළක් තියෙන නිට්ටඹුවේ ගියා කාර් එකෙන්… ඒ වෙලාවෙ මගේ කාර් එකේ පාර මැද පෙරළිලා තිබුණ ත්‍රීවීල් එකක් වැදුණා… ඒ වෙලාවේ කාර් එක ඇතුළේ හිටිය මගේ වයිෆ් පිටිපස්සේ සීට් එකේ ඉඳන් දරුවට කෑම කවමින් ගියේ… ඒක නිසා මම කාර් එක නතර කරන්නෙ නැතිව යන්න ගියා…“ යැයි ධනුෂ්ක කෑගල්ල පොලිස් නිලධාරින් ඉදිරියේ පැවැසීය.

ඒ අනුව ඔහු කියා තිබුණේ අනතුරකට ලක්ව පෙරළී තිබූ ත්‍රිරෝද රථයේ තම කාර් රථය හැපුණු බවය. අත්අඩංගුවට ගත් ධනුෂ්ක සමඟ කාරය පොලිස් නිලධාරින් විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මේ අතර රිය අනතුරෙන් මියගිය කුසුමලතාගේ දේහයේ අවසන් කටයුතු ඇගේ සහෝදරයා පදිංචිව සිටි ගම්පහ, උඩුගම්පොළ සිදු කෙරුණු අතර, ලක්ෂ්මන්ගේ දේහයේ අවසන් කටයුතු පිළිමතලාවේ, හන්දෙස්සේ පිහිටි ඔහුගේ මල්ලීගේ නිවෙසේ තබා සිදු කෙරිණි.

අනතුරින් දින කීපයක් ගත විය. ධනුෂ්කගේ පාපෝච්චාරණයෙන් මේ මාරක අනතුර සම්බන්ධව වැදගත් තොරතුරක් හෙළි නොවීය. මේ අතර අනතුරෙන් දින පහකට පමණ පසු කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයට නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබිණි.

“සර්… පොඩි ඉන්ෆ්‍රොමේෂන් එකක් දෙන්නයි කතා කළේ… මේ කියන්න යන සිද්ධියට අදට හරියටම දවස් පහක් වෙනවා… මම කැලණියේ ඩිපෝවේ බස් එකකින් කොළඹ ඉඳන් නුවර ගියා. හවස 5.30ට 6ට විතර ඇති… ඔබතුමාලගේ පොලිස් ඒරියා එකේ යට්ටෝගොඩදි බස් එක ඩෝං ගාලා මොකක්හරි එකක වැදුණා… හැබැයි බස් එක නම් නතර කළේ නැතුව ගියා… මං හිතන්නේ ලොකු අනතුරක් සිදුවුණා…“ යැයි පවසමින් එම දුරකතන ඇමතුම දුන් පුද්ගලයා දුරකතන ඇමතුම විසන්ධි කළේය. එය එතෙක් ත්‍රිරෝද රථ අනතුර පිළිබඳ විමර්ශන කරමින් ‘නූල් බෝලයක මෙන් පැටලී සිටි විමර්ශන නිලධාරින්ට ලද නියම හෝඩුවාවක් විය.

පොලිස් නිලධාරින් කතිකා කර ගත්තේ මෙය නම් අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථය අනතුරට ලක්කළ බස් රථයම විය යුතු බවය.

පොලිස් නිලධරයෝ ක්ෂණිකවම ක්‍රියාත්මක වූහ. කැලණිය ඩිපෝව ඇමතූහ. තමන් ලද හෝඩුවාව ගැන පොලිස් නිලධරයෝ කැලණිය බස් ඩිපෝවේ ප්‍රධානීහු දැනුම්වත් කළහ. එදින අදාළ වේලාවට බස් රථයක් නුවර බලා ගියා ද යන්න පොලිස් නිලධරයෝ කැලණිය ඩිපෝ බලධාරින්ගෙන් විමසූහ. ඩිපෝ නිලධාරින් එම වේලාවට බස් රථයක් මහනුවර බලා ගිය බව තහවුරු කරන ලදි. එහි රියැදුරු සහ කොන්දොස්තරගේ නම්-ගම් ලිපින ඇතුළු තොරතුරුද ඩිපෝ බලධාරින් විසින් පොලිසියට ලබා දුන්නේය.

ඒ අනුව එදින අදාළ වේලාවට මහනුවර බලා ගිය බස් රථයේ රියැදුරු කඩවත, කිරිල්ලවල පදිංචි 53 හැවිරිදි හබරගමුව කෝරලලාගේ ජනක මනෝරාජ් බව හෙළි විය. කෑගල්ල රථවාහන අංශ නිලධාරින් මනෝරාජ් සමඟ WP NA 8959 දරන රතු පැහැති බස් රථය ද කෑගල්ල මූලස්ථාන පොලිසියට රැගෙනවිත් අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් රියැදුරු මනෝරාජ් එම බස් රථයෙන් අදාළ දින මහනුවර බලා යද්දී යට්ටෝගොඩදී අනතුරක් වූ බව පිළිගනිමින් පොලිසියට පාපෝච්චාරණයක් කළේය.

“සර්… එදා මම කොළඹ ඉඳලා මහනුවරට බස් එක අරගෙන ගියා… ඔය කියන වෙලාවට යට්ටෝගොඩදී ත්‍රීවීල් එකක් කොළඹ පැත්තේ ඉඳන් පාර මැද තියාගෙන යනවා දැක්කා… මම වම් පැත්තෙන් ඉස්සර කරගෙන ගියා… ඒ වෙලාවේ මං දැක්කා ඒ ත්‍රීවීල් එක ඇදීගෙන ගිහින් ඒත් එක්කම අනිත් පැත්තෙන් ආව කාර් එකක වදිනවා වගේ… ඒ වෙලාවේ ඩොං ගාලා සද්දයක් ඇහුණා… ඒත් එක්කම මම බස් එක නතර කරලා ඒ ත්‍රීවීල් එකේ ආපු දෙන්නා හොස්පිට්ල් යවන්න කටයුතු කරලා… මං බස් එක අරගෙන නුවර ගියා…“ යැයි පැවසුවද ඔහු කීවේ අසත්‍යයක් බව ඒ වන විට පොලිස් නිලධරයන් සිදුකළ විමර්ශන අනුව අවබෝධ විය. අත්අඩංගුවට ගත් බස් රියැදුරු මනෝරාජ් සහ බස් රථය ද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මනෝරාජ් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කෑගල්ල පොලිසියේ රථවාහන අංශ නිලධාරින් වැඩිදුරටත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වන්නේ බස් රථ රියැදුරු සිදුකළ පාපො­්ච්චාරණයේ ඇතැම් කරුණු සාවද්‍ය බවය. නිර්නාමික ඇමැතුමෙන් කී පරිදි ‘ඩෝං‘ ගා ශබ්දයක් නඟමින් බස්රථය ත්‍රිරෝද රථයේ ගැටුණ මොහොතේ බස්රථය එම ස්ථානයේදී නොනවත්වා ධාවනය කර තිබිණි. ත්‍රිරෝද රථයේ ගිය දෙදෙනා බරපතළ තුවාල ලැබූ අතර කුසුමලතා එම ස්ථානයේදීම මරුමුවට පත්වූවාය. බරපතළ තුවාල ලත් ලක්ෂ්මන් සහ කුසුමලතා රෝහල්ගත කර තිබුණේ ඒ අවට ත්‍රිරෝද රථ ගාලක අය විසිනි.

එලෙස සිය ත්‍රිරෝද රථය අනතුරට පත්වීමෙන් මරණයට පත් ලක්ෂ්මන් සහ කුසුමලතා යන අඹුසැමියන් එදින පිළිමතලාවේ සිට අලුයම ගොස් තිබුණේ ගම්පහ, උඩුගම්පොළ ඇගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසටය. ඒ ඇගේ සහෝදරයාගේ දියණියගේ විවාහය සඳහා එදින මනමාල පාර්ශ්වයෙන් නැකැත් ගෙන ඒමේ කටයුත්ත සහ සහෝදරයාගේ පුතු දින කීපයකින් විදෙස්ගත වීමට නියමිතව සිටි හෙයිනි. ත්‍රිරෝද රථයේ හැපුණු කාරය හිමිකරු කාරය ලබාගෙන තිබුණේ 2014 වසරේය. ඒ අනුව වසර 10ක කාලය තුළදී කාරය රිය අනතුරු 34කට මුහුණපා ඇති බවද අනාවරණය වේ.

අත්අඩංගුවට ගත් කාරයේ රියැදුරු ධනුෂ්ක රුපියල් දසදහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරුණු අතර, එම නඩුව ජනවාරි 14 වැනිදා කැඳවීමට නියම කෙරිණි. බස් රථ රියැදුරු මනෝරාජ්ද රුපියල් දසදහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලදි. එම නඩුව යළි නොවැම්බර් 26 වැනිදා කැඳවීමට නියම විය.

කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ සහ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශගේ උපදෙස් මත පොලිස් අධිකාරි චන්දන කන්දේවත්තගේ අධීක්ෂණයෙන් කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී. වීරසිංහ, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ සැරයන්වරුන් වන අනිල් (40286), බුලත්සිංහල (57308), අබේරත්න (60469) යන නිලධරයෝ විමර්ශන සිදු කළහ.

ඡායාරූප – කෑගල්ල විශේෂ චමින්ද ජයලත්

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division