රටේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වන විට මෙරට කෘෂි කර්මාන්තයට ද අත්ව තිබුණේ බලවත් ගැටලු සහගත තත්ත්වයකටය. එදා කාබනික පොහොර භාවිතය කිරීමේ ප්‍රතිපත්ති තීන්දු නිසාවෙන් ගොවියෝ සිටියේ කුඹුරේ නොව මහපාරේය. එනම් අර්බුදය හමුවේ පැවැති තත්ත්වයෙන් ගොඩ ඒමට උද්ඝෝෂණය කරමිනි. එළවළු, වී, සත්ත්ව ආහාර නිෂ්පාදනය පැත්තෙන් ගත්විට සියල්ල කඩා වැටී තිබුණි. වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3.5 ක් වුව ද පොහොර අර්බුදය හමුවේ 2021 මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6 කින් අඩුව තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් රට භාර ගත්තේ කෘෂිකර්මයේ එවැනි අභියෝගාත්මක පසුබිමකය.
අපනයන ආර්ථිකයට ලැබුණු දායකත්වය
එතුමා රට භාර ගන්නා විට යල කන්නය ආරම්භ කර තිබුණි. ඒ වන විට හෙක්ටයාර් 5,12,000ක් වී වගා කිරීමට සැලසුම් කර තිබුණ ද වගා කරන්නට හැකියාව ලැබුණේ හෙක්ටයාර් ලක්ෂ 2ක් පමණි. වත්මන් ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර ගෙන ඒමට තීන්දු කළේ පැවැති මේ තත්ත්වය වෙනස් කිරීමටය. ඒ අනුව ඉන්දීය ක්‍රෙඩිට් ණය හරහා පොහොර ගෙන්වීම නිසා හෙක්ටයාර් ලක්ෂ දෙකක් පමණ වගා කරන්නට හැකිව තිබූ වී වගාව 2022 යල කන්නයේදී ලක්ෂ 5ක් ඉක්මවා වගා කිරීමට හැකි විය. මේ වන විට ලංකාවේ රසායනික පොහොර නොතිබූ අතර යූරියා කිලෝ ග්රූම් 50ක පොහොර මිටියක් අලෙවි වූයේ රුපියල් 42,000ක මුදලකටය. නමුත් පසුව අපිට මෙය රුපියල් 18,000ක අඩු කළ මුදලකට ලබා දීමට හැකිවිය.
පොහොර සහනාධාර
ගොවියන්ට රුපියල් 20,000ක මුදලක් ලබා දුන්නේ පොහොර සහනාධාරයක් වශයෙනි. මහ කන්නයේ වී අස්වැන්න අඩුවීම නිසා 2022 ජනවාරි මස සිට ලංකාවට සහල් ආනයනය කිරීමට සිදු විය. සහල් මිල ඉතා වේගයෙන් වැඩි වෙතැයි ජනතාව අපේක්ෂා කළ ද, යල කන්නයේ හොඳින් අස්වැන්න ලැබුණු නිසා මිලියන 1.8ක පමණ හොඳ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. මේ වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක් ආනයනය කර තිබුණි. ඒ සඳහා ඩොලර් මිලියන 300ක් රජය වැයකර තිබුණි. 2022 මහ කන්නය ආරම්භ වන විට රටට අවශ්‍ය යූරියා පොහොර ඇති තරම් ගෙනැවිත් තිබුණි. මේවා ගොවීන්ට ලබා ගැනීමට රුපියල් 20,000ක සහනාධාර මුදලක් ගොවි ගිණුම්වලට ලබා දීමට රජයට හැකිවිය. මේ ලබා දීමත් සමඟම ගොවීන්ට ලොකු උනන්දුවක් ඇතිවිය. ඒ නිසා මහ කන්නයේදී මෙට්‍රික් ටොන් මිලියන 3.5ක වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේදී මුළු වසර පුරාම එක් සහල් ඇටයක් හෝ ආනයනය නොකෙරුණි. 2023 වසරේ මුල් වසර පුරාම පරිභෝජනය වූයේ දේශීයව නිෂ්පාදිත සහල්ය.
2023 දී ද රුපියල් 15,000ක පොහොර සහනාධාරයක් ලබා දුන් අතර මේ වසරේ යල කන්නය වන විට පොහොර මිල 12,000 දක්වා අඩු විය. ස්වභාවික විපත් පැමිණිය ද වී අස්වැන්නට බාධා ඇති නොවීය. 2023 මහ කන්නයේ ද හොඳ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. එසේම ප්‍රථම වතාවට මඩ පොහොර අඩු මිලට ලබා දීමටද හැකිවිය. මේ වන විට යූරියා පොහොර මිටියක මිල රුපියල් 42,000 සිට මිල රුපියල් 8000 දක්වා අඩුවී ඇත. 2022 යල කන්නයේ සිට 2024 යල කන්නය දක්වා වගා කන්න 5ක් තුළ පොහොර සහනාධාරය සඳහා පමණක් රුපියල් මිලියන 55,000ක් වැය කර තිබුණි. මේ සියල්ල සිදු වූයේ ආර්ථික අර්බුදය මැද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට ගොඩනැඟීමේ ගමනේදීය.
මස් හා බිත්තර කර්මාන්තය
රට සහලින් ස්වයංපෝෂිත වූවා සේම කිරි, මස් හා බිත්තර කර්මාන්තය ඉහළ නැංවීම ද සිදුවිය. 2021 අවධියේ වූ පොහොර ගැටලුව නිසා දේශීය බඩඉරිඟු වගාව කඩා වැටුණි. අපේ වාර්ෂික බඩඉරිගු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 6කි. නමුත් සාමාන්‍යයෙන් දේශීයව නිෂ්පාදනයට වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 4.5කි. ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීමක් සිදු වෙයි. නමුත් පොහොර ප්‍රශ්නය හමුවේ බඩඉරිගු නිෂ්පාදනය ද 50%කින් අඩු විය. ඒ නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් නැවත ආනයනය කළ යුතු වුව ද ඒ වන විට ලංකාවට ඩොලර් ප්‍රශ්නය මතුව තිබීම මෙයට අභියෝගයක් විය. මේ නිසා කුකුළු ගොවිපළ 3000ක් වැසී ගියේය. සමහර ගොවිපල සත්තු මසට විකිණීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල බිත්තර හිඟයක් ඇති විය. දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 7ක් වුවද එය මිලියන 3.8ක් දක්වා අඩු විය. බිත්තර මිල ද ඉහළ යන්නට විය. මේ නිසා පළමු වතාවට බිත්තර ද ආනයනය කිරීමට සිදු විය. කුකුළු මස් හිඟයක් ඇති නොවුණ ද ඉදිරියට එය ඇතිවීමේ අවදානමක් පැවතිණි. මේ නිසා බඩඉරිගු ආනයනය සඳහා ලබා දුන් බලපත්‍ර අහෝසි කර සත්ත්ව ආහාර නිෂ්පාදකයන්ට හා ගොවිපළ කර්මාන්තකරුවන්ට පමණක් බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ විය. ඒ අතරම බඩඉරිගු වගාවටත් සහනාධාර ලබා දීමට හැකිවූ අතර වැසී ගිය ගොවිපල යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ලංකාව කුකුළු මස් හා බිත්තරවලින් ස්වයංපෝෂිත විය. දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 8 දක්වා වැඩි කරන්නට හැකිවී ඇත. එසේම ඉහළ ගිය බිත්තර මිල ද සැලකිය යුතු පරිදි අඩු කරන්නට හැකි විය. කුකුළු මස් රුපියල් 1750ට ඉහළ ගිය ද මේ වන විට රුපියල් 850-900 දක්වා අඩුවී ඇත. දෛනික කුකුළු මස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 500කි. එය මේ වන විට මෙට්‍රික් ටොන් 600 දක්වා වැඩිවී ඇත. මේ වන විට කුකුළු මස් නිෂ්පාදන අතිරික්තයක් ද ඇතිවී ඇත.
නව තාක්ෂණය හරහා ඉහළ කිරි නිෂ්පාදනයක්
වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වූ පසු අනුගමනය කළ වැඩපිළිවෙළ හරහා කිරි නිෂ්පාදනය ද වැඩිවීමක් දක්නට ඇත. හයිලන්ඩ් පිටි ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 75කින්ද, කිලෝ එකක පැකට්ටුවක් රුපියල් 190 කින් අඩු කරන්නට හැකිවී ඇත. එසේ අඩු කිරීමට හැකිවී ඇත්තේ මිල්කෝ සමාගම දෛනික කිරි එකතු කිරීම ලීටර් ලක්ෂ 2 දක්වා වැඩි කිරීමට හැකියාව ලැබී ඇති නිසාය. කිරි විශාල ප්‍රමාණයක් මේ වන විට මිල්කෝ සමාගමට එමින් පවතින අතර ධාරිතාව වැඩිවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දී ඇත. නව තාක්ෂණික ක්‍රම භාවිත කිරීම තුළින් දෛනික කිරි ප්‍රමාණය වැඩි කර ගත හැකිය. එසේම කිරි ගවයන් වැඩි ප්‍රමාණයක් හඳුන්වා දිය යුතුව ඇත. අපේ රටේ කාලගුණයට ගැළපෙන කිරි ගවයන් ලබා ගත හැක්කේ පාකිස්තානයෙන් හා ඉන්දියාවෙනි. තම සතුන් පිටතට නොදෙන සීමාවක් මේ දෙරට විසින් 2023 වසරේදි පනවා තිබුණි. නමුත් ජනාධිපතිවරයා අදාළ රටවල තානාපතිවරුන් සමඟ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ ඉන්දියාවේ සහිවාල් නම් ගව විශේෂය හා පාකිස්තානයේ නුරා නම් ගව විශේෂ ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව ලබන වසරේ ඉන්දියාවෙන් එම ගවයන් ලැබෙන අතර එමඟින් කිරි නිෂ්පාදනය තවත් වැඩි කිරීමට හැකි වේ. 2025 වසර කෘෂිකර්ම අමාත්‍යාංශය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන වර්ෂය ලෙසයි.
වාර්තා තැබූ තිරප්පනේ ගොවි තාක්ෂණය
ජනාධිපතිතුමාගේ අදහසක් අනුව වැඩි අස්වැන්නක් සඳහා නව කෘෂි තාක්ෂණය අපේ ගොවීන්ට හඳුන්වා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කටයුතු කළේය. දැනට අපේ අස්වැන්න සඳහා වූ භූමිය සීමා සහිතයි. හෙක්ටයාර් 8,12,000ක් පමණ වගා කිරීමට ඇති කුඹුරු ප්‍රමාණය, සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය හරහා විශාල අස්වැන්නක් මෙන්ම ආදායමක් ලබාගත නොහැකි වීම නිසා, තිබෙන භූමි ප්‍රමාණයෙන් උපරිම අස්වැන්නක් ලබාගත යුතු වීම නිසා තාක්ෂණය භාවිත කිරීම අත්‍යාවශ්‍ය විය. ඒ නව කෘෂි තාක්ෂණය රට තුළට ගෙන ඒමේ වැඩ සටහන් ආරම්භ වී අතර තිරප්පනේ ගොවීන් 120කට නව කෘෂි තාක්ෂණික උපක්‍රම හා උපකරණ ලබා දුණි. ඒ දේශීය වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් ඇති භෝගවලට යොමු කිරීමටය. තිරප්පනේ මේ උපකරණ ලබාදුන් ගොවීන් බොහෝමයක් වගා කළේ මිරිස්ය. ඔවුන් යොදා ගත්තේ High Density Crop System හෙවත් අධි ඝණත්ව වගා ක්‍රමයයි. සාමාන්‍යයෙන් අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැල ප්‍රමාණය වන්නේ 6000කි. නමුත් මේ අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මිරිස් පැල 13,000 අක්කර භාගයක වගාකළ හැකි වන්නේය.
එසේම මේ අක්කර භාගයටම අවශ්‍ය වන්නේ කිලෝ ග්‍රෑම් දෙකක පොහොර ප්‍රමාණයක් පමණි. මේ නිසා නිෂ්පාදන වියදම ඉතුරු වේ. මේ ක්‍රමයේදි MICH 1 හා MICH 2 නමින් නව මිරිස් ප්‍රභේද දෙකක් හඳුන්වා දුන් අතර මෙම එක මිරිස් වර්ගයකින් එක හෙක්ටයාරයකින් මිරිස් මෙට්‍රික් ටොන් 65ක් කඩාගත හැකි වන්නේය. එය ලොව වාර්තාවක් පිහිටවූ මිරිස් අස්වැන්නකි. තිරප්පනේ ගොවියන් මෙය වගා කළ අතර ඊට අදාළ ජල යෝජනා ක්‍රම ද භාවිතා කළහ. මේ තිරප්පනේ ගොවීන් 120 න් 80කට වැඩි පිරිසක් මාස 6ක් තුළ රුපියල් ලක්ෂ 50කට වැඩි ආදායමක් ඉපැයූහ. එක් අයෙක් මාස 9කට රුපියල් මිලියන 12ක ආදායමක් මෙන්ම තවත් ගොවියකු කොමඩු අක්කරයකින් මාස 4ක් තුළ රුපියල් ලක්ෂ 40ක ආදායමක් උපයා තිබුණි. මේ අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මිරිස් පමණක් නොව කොමඩුද වැඩියෙන් වගා කෙරුණි.
තරුණයන්ට තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන
මේ විද්‍යානුකූල ක්‍රමයන් යටතේ ඒ ඒ ප්‍රදේශවලට ගැළපෙන වගා ක්‍රම සොයා බලා අනුමත කළ වගාවන් ගණනාවක් විය. ටී.ඊ ජේ.සි අඹ වගාව වියළි පළාත් ගණනාවකටම හඳුන්වා දුන් අතර, අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ අක්කරයකට අඹ පැළ 560ක් වගාකළ හැකිය. සාම්ප්‍රදායිකව එම ප්‍රමාණය 84කි. ඇඹුල් කෙසෙල් අපනයන ඉලක්ක කරගෙන වගා ව්‍යාපෘති තුනක් ආරම්භ කළ අතර වැල්ලවාය කටු අනෝදා, මොනරාගල පැෂන් පෘෘට්, අන්නාසි, දෙළුම්, රටකජු වැනි අංශ ගණනාවක් හඳුනාගෙන වගා කිරීම් දිරිමත් කිරීම වර්තමාන ජනාධිපතිවරයාගේ කාල සීමාවේදී සිදු විය. නව අලිගැටපේර විශේෂයක් වන Haahවලින් ශරීරයට හිතකර බටර් වර්ගයක් නිෂ්පාදනය කරන අතර ඒවා විදේශීය වෙළෙඳපොළට අපනයනය කෙරෙයි. අපනයනය සඳහා නව දූරියන් විශේෂයක් හඳුන්වා දුණි. ලංකාවේ තැඹිලිවලට ඇති විශේෂ ඉල්ලුම සලකා තැඹිලි වගා කලාපයක් ආරම්භ කෙරීය. මේ සඳහා තරුණයන් දායක කර ගැනීම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන මේ වසරේ ආරම්භ කෙරීය.
වී වගාව දෙගුණ කරන්න පැරිෂුට් තාක්ෂණය
වගාවේදී පොහොර යෙදීම හා කෘමි නාශක යෙදීම සඳහා මිනිස් ශ්‍රමය අවම කරමින් ඩ්‍රෝන තාක්ෂණය පසුගිය කාලයේ භාවිත කළේ ජනාධිපතිතුමාගේ උපදෙස් මතය. මේ සඳහා ඩ්‍රෝන 250ක් ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට ලබා දුණි. පැය 4කට අක්කර සියයකට මේ කෘමි හා වල්නාශක ඉසීම මෙමඟින් කළ හැකිය. ඩ්‍රෝන පයිලට් නමින් විශේෂිත පුද්ගලයකු පුහුණු කර ඇත. ජනාධිපතිතුමාගේ තවත් විශේෂ වැඩ පිළිවෙළක් වූයේ ඉදිරි වගා කන්න 5 තුළ ලංකාවේ වී අස්වැන්න දෙගුණයකින් වැඩි කිරීමය. සාමාන්‍යයෙන් වී වපුරා විශාල අස්වැන්නක් ලබාගත නොහැකි නිසා පැරිෂුට් නමින් නව තාක්ෂණික ක්‍රමයක් හදුන්වා දී ඇත. මේ හරහා වල් මර්ධනය, අඩු පොහොර භාවිතය, මෙන්ම හොඳ අස්වැන්නක් ලබාගත හැකියි. මේ පැරිෂුට් තාක්ෂණය තැටි සියයට 50%ක සහනාධාර යටතේ ලබා දුන්නේය. හෙක්ටයාර් 1කට පැරිෂුට් තැටි 1000ක් පමණ ඇවැසි වෙයි. මේ ප්‍රමාණයෙන් හතරින් එකක් තමන් ගත යුතු අතර ඉතිරි හතරෙන් තුන රජයෙන් ලබා දෙයි. මේ අනුව එදා ගත් ක්‍රියාමාර්ග නිසා ලංකාවේ පළමු වතාවට ගෙවුණු මාස් කන්නයේ හම්බන්තොට හා උඩවලවේ කලාපයේ ගොවීන් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 13ක වී අස්වැන්නක් ලබා ගනිමින් වාර්තා පිහිටුවා ඇත.
නව බීජ හඳුන්වා දීම
නව බීජ වර්ග හඳුන්වා දීම යටතේ සහල් නිෂ්පාදනයේදී පසුගිය කාලයේ කීරි සම්බා පිළිබඳ හිඟයක් මතු විය. නමුත් මේ වන විට කීරි සම්බා ඇති තරම් වෙළෙඳපොළේ ඇත. එසේම එහි මිලද අඩුවී ඇත. එසේ අඩු කළ හැකි වූයේ මේ යල කන්නයේ පමණක් හෙක්ටයාර් 81,000 ක කිරී සම්බා වගා කිරීමය. එසේම අලුතින් හඳුන්වා දුන් Ac 378 නම් වි වර්ගය ලංකාවේ මෙතෙක් දැනට වැඩිම වී අස්වැන්න ලබා දෙන වී වර්ගය බවට පත්ව ඇත.
ලංකාවේ වැව් පද්ධතිය වසර ගණනාවක් පුරා ප්‍රතිසංස්කරණයට ලක් නොවීම තවත් ප්‍රශ්නයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වසරේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක් ලබා දුන්නේය. 2024 වසරේ ද රුපියල් මිලියන 3000ක් ලබා දුන්නේය. මේ වන විට වැව් 6000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කර තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ පමණක් වැව් ප්‍රතිසංස්කරණය නිසා අල්ලන ජල ධාරිතාව 10%කින් වැඩිවී ඇත.
2022 සිට 2024 දක්වා කාලය තුළ කෘෂිකර්මාන්තය තුළ විශාල විපර්යාසයක්, විප්ලවීය වෙනසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇත්තේ ආර්ථික අර්බුදය ජයගන්නා අතරමය. එවැනි වැඩපිළිවෙළක් කිසිදු ආණ්ඩුවක් මෙතෙක් සිදුකර නොමැති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර අවධාරනය කළේය.
සුභාෂිණි ජයරත්න