– කරන්දෙණියේ සුද්දාගේ ගෝලයන් ළඟ තිබුණ ගල්කටස් පිත්තෝලයක් සොයා ගනී
– කොලොන්නාවේ ‘පාන් අනුර’ගේ ඥාතිවරියකුත් අත්අඩංගුවේ
රටේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කරන්නේ අපමණ සේවයකි. වසර 41ක කීර්තිමත් සේවාව පසුගියදා සැමරුණේ අභිමානයෙනි. තිස් වසරක යුද සමයේද කළ සේවය අතිවිශිෂ්ටයි. රටදැය වෙනුවෙන් දිවි පිදූ නිලධාරීන් කළ සේවාවද මිල කළ නොහැකිය.
යුක්තිය මෙහෙයුම ආරම්භ වුණාට පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුම් ගණන සංඛ්‍යාවෙන් අතිවිශාලය. මෙරට මත් ජාවාරමුන් සෑහෙන සංඛ්‍යාවකට ගම – රටත් අතහැර පලා යන්නට සිදු වුවෙන් සමහරුන්ට සදාකාලිකවම විදේශගත වන්නට සිදු වූයේත් එස්.ටී.එෆ්. නිලධාරීන් සිදු කරන ලද මෙහෙයුම් නිසාය. මත්කුඩු ජාවාරම නැත්තටම නැතිවී නැතත් ඒ කෙරෙහි අතිවිශාල බලපෑමක් සිදු කරන්නට එස්.ටී.එෆ්. නිලධාරීන්ට හැකි විය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ මේ වැඩ පිළිවෙළට පැහැදුණු සාමකාමී මහජනතාව නිසා එම ආයතනයට මහජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර සහ තොරතුරුද බොහෝය. ඉතා දක්ෂ බුද්ධි අංශ පද්ධතීන්ගෙන් හෙබි විශේෂ කාර්ය බළකාය ඔවුන්ගේ මෙහෙයුම් සඳහා වැඩිපුරම භාවිත කරන්නේ ද එම බුද්ධි තොරතුරුයි. එම තොරතුරු අනුව ක්‍රියාත්මක එස්.ටී.එෆ්. කණ්ඩායම් පසුගියදා සාර්ථක වැටලීම් කීපයක් සිදු කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් අල්ලා ගැනීම සඳහාය. ඉන් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට එස්.ටී.එෆ්. නිලධරයන්ට හැකි විය.
එස්.ටී.එෆ්. නිලධාරීන් එලෙස පසුගියදා සිදු කරන ලද සාර්ථක වැටලීම් කීපයකින් ටී.56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් පිස්තෝලයක් ජීව උණ්ඩ 8ක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 61 සමඟ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකුගේ ඥාති දියණියක් ඇතුළු සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වීමද සුවිශේෂීය.
‘සේදවත්තේ කසුන්’ දැනට විදේශගතව සිටින එසේම මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. එසේම ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු ලෙසද ප්‍රකටය. ඔහු විදේශගතව සිටියද අනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙසින්ම මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන බව ප්‍රදේශවාසින් අතර රහසක් නොවේ. ඔහු ඒ සඳහා යොදාගෙන ඇත්තේ තමන්ට හිතවත් සහ විශ්වාසම ගෝලබාලයෝය. ඒ ඔවුන් ඒ වැඩේ ඉතා සාර්ථකව සිදු කරගෙන යන බැවිනි.
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදෙස් රටවලට පලාගොස් එහි සිට මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා සිදු කරවන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා ඇස ගසාගෙන සිටින එස්.ටී.එෆ්. නිලධාරීන්ට සේදවත්තේ කසුන් නමැති ජාවරම්කරු මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා සිදු කරවන මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු හෙළිවන්නේ ලැබුණ බුද්ධි තොරතුරුවලට අනුවය.
සේදවත්තේ කසුන්ගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදාහරින ප්‍රධානම ගෝලයන් දෙදෙනා පිළිබඳ එලෙස ලැබුණු තොරතුරු අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා එස්.ටී.එෆ්. විමර්ශන ආරම්භ කැරෙන්නේ ඒ අනුවය. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ගම්මඩු විහාරය සහ සේදවත්ත කළු පාලම අසලදී සිදු කරන ලද වැටලීම් දෙකකදී සේදවත්තේ කසුන්ගේ ගෝලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ්. නිලධරයන්ට හැකි විය. සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රිවෝල්වරවලට යොදන උණ්ඩ 4ක්, ජංගම දුරකතන 02ක්, මුදලින් රුපියල් 6500ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 38යි මිලි ග්‍රෑම් 500ක් සොයා ගැනිණි.
මේ දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ සේදවත්තේ කසුන්ගේ මත්ද්‍රව්‍ය අලෙවිකර ඇති බවද විමර්ශනවලදී හෙළි විය.
කොලොන්නාවේ ‘පාන් අනුර’ ද සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රසිද්ධය. ඔහුගේ ඥාති දියණියකද කාලයක් තිස්සේ පාන් අනුරගේ අඩි පාරේම යමින් සිදු කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමයි.
මේ කාන්තාව ගැන ලැබුණු තොරතුරුවලට අනුව විමර්ශන සිදු කරන ලද එස්.ටී.එෆ්. නිලධාරීන් ඇය අත්අඩංගුවට ගන්නේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 250ක් සමඟය.
පාන් අනුරගේ ඥාති දියණිය අයිස් මත්ද්‍රව්‍ය සමඟ එලෙස කොටුවෙද්දී දකුණු පළාතේ ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේද සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකි විය. ඇල්පිටිය, වතුරවිල, තල්ගස්වැට ප්‍රදේශයේදී සිදු කරන ලද මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු එස්.ටී.එෆ්. නිලධාරීන්ට කොටුවන්නේ හෙරොයින් ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 200ක් සමඟය.
එලෙස අල්ලා ගන්නා ලද පුද්ගලයාගෙන් එස්. ටී. එෆ්. නිලධාරින් ප්‍රශ්න කරන්නේ ඔහුගෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් තොරතුරු හෙළිකර ගැනීම සඳහාය.
සැකකරු එස්.ටී.එෆ්. නිලධාරීන්ට එහිදි හෙළි කරන්නේ වැදගත් තොරතුරකි. ඒ පිස්තෝලයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධවය. විශේෂ කාර්ය බළකා නිලධාරීන් මේ ජාවාරම්කරුගෙන් ලද තොරතුරු අනුව ඇල්පිටිය, කහදුව, ගිනිමඩුකන්ද ප්‍රදේශයේ සෝදිසියක් සිදු කරන්නේ ඒ අනුවය. ටී. 56 ස්වයංක්‍රීය තුවක්කුවලට යොදන ජීව උණ්ඩ යෙදිය හැකි ගල්කටස් පිස්තෝලයක් ටී.56 ජීව උණ්ඩ 4ක් සහ හෙරොයින් ග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 100ක් සොයා ගැනීමට එස්. ටී.එෆ්. නිලධාරීන්ට මෙහිදී හැකි විය.
මේ සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී එස්.ටී.එෆ්. නිලධාරීන් හෙළිකර ගන්නේ ඔහු ඇල්පිටියේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ සුද්දාගේ‘ ළඟම හිතවතකු ආධාරකරුවකු මෙන්ම ගෝලයකු බවය.
මේ වසරේ මාර්තු මාසයේ 11 දා පිටිගල ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් මේ පුද්ගලයා මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින අයකු බවද විමර්ශනවලදී හෙළි විය. එම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාළ ද්විත්ව ඝාතනයට ආධාර සහ අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙනි.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එලෙස සිදු කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය, ගිනිඅවි, පතරොම්, ජංගම දුරකතන අදාළ පොලිස් ස්ථාන වන ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය සහ ඇල්පිටිය පොලිස් ස්ථානවලට භාරදී ඇත්තේ වැඩිදුර විමර්ශන සඳහාය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත එහි බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්.කේ. විජේසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර යන නිලධරයන්ගේ මෙහෙයවීම මත බුද්ධි තොරතුරු විශේෂ මෙහෙයුම් මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන කටයුතු භාර සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර, සහකාර පොලිස් අධිකාරී ආර්.කේ. ඕ.යූ. ජයවර්ධන යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ගෝනහේන එස්.ටී.එෆ්. කඳවුරේ පොලිස් පරීක්ෂකවරුන් වන වීරක්කොඩි නිශ්ශංක, බුද්ධි කොට්ඨාසයේ උප පරීක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු කණ්ඩායම් මේ වැටලීම් සිදු කරන ලදි.
කොට්ටාව – ශාන්ත ප්‍රදිප්
දීපාල් සමරසේකර