සරාගී ආත්ම අතරේ…
සෙවණැල්ලක
මං සොයනා නුඹෙ රූපය
සිහිනෙන් වාගේ මතකයි මට
හිත අස්සට තුරුලු වෙච්ච
පුදමෙකුත් නෑ හැබැයි
සුඹ එදවසත් හරිම දඟයි
එක බැල්මෙන් මා වශී කෙරුව
නාරිලතා මලක් වගෙයි
අඳුර මැදින් හමා ඇදෙන
ප්‍රේමයේ දිය පිපාසයට
වැටෙන වැස්ස වගේ හැඩයි
නුඹ සැරිසරනා මේ පාළු පාර
සචිත්‍රා හේමමාලි – කුරුණෑගල
පියකුගෙන් ඔවදනක්
තම හිස මතට තම අත සෙවණැල්ල සැපක්
සැනෙකින් මියයාම සැපතක් නොවිඳ දුකක්
පිසගනු පිණිස එකමුතු වී ගෙදර බතක්
බුදුබණ නිතර පවසයි එහි නොමැත දොසක්
සුදුසුම තැනැත්තා හට හිමි තැන දෙන්න
අතහිත දෙමින් කලගුණයට සලකන්න
මාපිය ගුරුදෙගුරු වැඩිහිටි පුද දෙන්න
මවුබිම උපාධිය මට ඇත දැනගන්න
සැමියෙකු වෙමින් හොඳ බිරිඳක් ලැබුම පිනක්
බිරිඳ වෙමින් මවුපදවිය ලැබුම පිනක්
මවුපිය වෙමින් හොඳ දරුවන් ලැබුම පිනක්
පියෙකුට පුතෙක් ලැබුණොත් ඒ පිනට පිනක්
ඒ. වී. කස්තුරිරත්න
සැඳෑවියේ මගේ හීනය
එක රොත්තට එක පොදියට කොඳු නාරටි වකුටු කරන්
සීතල බිම පෙරළි, පෙරළි එකිනෙකාට තුරුලු වෙමින්
එකට හැදුණා එකට වැඩුණා එක අත්තක මල් විලසින්
අද තැන තැන පිපී දිලෙයි පැතූ පැතුම් ඉටු කරමින්
ඇළේ දොළේ පැන නැටුවා රණ්ඩු වෙවී යාළු වෙමින්
කවි සී පද වැල් ගෙතුවා රෑ යාමේ එකතු කරන්
මැටි කෝප්පෙ බත් අනලා පුංචි මුවඟ තැබුවා මන්
පැටවු පහයි අපි දෙන්නයි සිටියා නිතරම සතුටින්
අටලෝ දම කැරකෙනවා සංසාරේ තවත් දුරය
පාළු සංකා දැනෙනා හිත පිනට දමට තවත් ළැදිය
ඒ වුණාට ළෙන්ගතුකම් පසුපස හිත දුවනවා ය
අත්හරින්න අත්හරින්න කීවට ලොබ බඳිනවාය
කැකුළු බතුයි, සම්බෝලෙයි, මාළු ඇඔුල් තියල් හදන්
උණු උණුවෙන් කටක් කන්න සිංහල උළු හෙවනේ ඉඳන්
සැඳෑ වියේ මන් දකිනා එකම හීනේ හැබෑ කරන්
මහ ගෙදරට එකතු වෙමුද මැරෙන්න ඩිංගකට කලින්
නන්දිකා හේමාලි ලියනගමගේ, කුරුණෑගල
ගෑනු ඉන්නව ඒ විදියටම ගෙදර ආපු
බඩවල් නෙරපු
බුරිවලට පහළින්
කැපුම් ඉරි ලකුණු
සාරි පටවල්වලින් වහපු
සොඳුරු කතා
මියුරු කොට දොඩපු
අඳුරු කතා මිටිකොට
සාරි ගැටවලින් හංගපු
හොටු කඹ හූරපු
මූණු ලතුවලින්
කැටයම් කරපු
හිනා තවරපු
තොල් සායම් උළපු
පට කඩපු
පට මිටිකොට
මල් හාරිච්චිවලින්
තදකරපු
පිටේ හැපුම් හීරුම් ලකුණු
හැටේ මෝස්තරවලින් වහපු
තිහ පැනපු – හතළිහ ළඟදි
නෝටි ෆෝටි කියල
පිරිමි ඇස් ඉඟිවලට
වචනයක්වත් පිටනොකරපු
මල් සාරි ඇදපු
ඒත්
සමනලුන්ට වහන්නට
ඉඩ නොදීපු
ගෑනු ඉන්නව
උදේ ගෙදරින් ගිහින්
හවසට ඒ විදියටම
ගෙදරට ආපු!!!
රසිකා මුහන්දිරම්ගේ
මධු සඳ
එකෝමත් එක දවසක
හමුවුණා නොසිතුව විලසක
සිහිනයක් වගේ මතකයක
ගොළු වුණා මොහොතකට හදවත….!
ජීවිතේ සුන්දර ම සමයක
දකින්නට ආවෙමි එදවස
නොදැක හමු නොවී පයමුදු
ළෙන්ගතු වුණා නුඹ ලේ නෑයො මා වෙත….
දින සති මාස අවුරුදු
ගත වුණු කාලය කොපමණ ද?
නුඹ ලේ නෑයා; මගෙ හිතවතිය
සැතපුනා මිහි මවගෙ ඇකයෙ නිහඬව ම….!
ඉතිං ඊට පස්සේ දවසක
කාලය කොපමණ ද අපව පසුකර,
ආවෙමි, දිනෙක නුඹ මහගෙට…
රාජකාරිමය වුවමනාවකට….!
“අද නම් ඔන්න ලොකු මල්ලිත්
ඇවිදින් ඉන්නවනෙ ගෙදර….”
හඳුන්වා දුනි නුඹව සොයුරිය
ඒ දින අදත් මතකය….!
අඩි සෙමෙන් තබමින්
පැමිණි’යුරු මා අබියසට
“අලුත් පරපුර නම් ඉතිං….
අඳුනන්නෙ නැහැනෙ අපව…”
කියා හිනැහුණු අයුරු නුඹ
අදත් ගිලිහුණෙ නැහැනෙ ඒ දසුන….!
ආ ගිය තොරතුරු ද විමසා,
පතිකුලයට නොගොස් ඉන්නේ ඇයි ද කියා
ඉක්මනින් යා යුතුයි, ඒ ගමන,
පැවසුවා නුඹ හිනැහෙමින් එදවස…
පිළිවදන් නොදී නුඹහට,
සිනාසුවෙමි, මා ද එබසට
ඉතිං ඊට පස්සේ….
මගෙන් සමුගෙන නුඹ…
ගිය’යුරු අදත් මට මතකය…!
යළිත් එළඹෙන දිනයක…
හමුවනු ඇතැයි යන සිතුවිල්ලක…
එනමුදු, කිසිම කිසි දවසක
හමුවන්නෙ අප කෙලෙස ද?
නොදොඩා; නිහඬව ම; සමුගෙන ගිහිං නුඹ…
මේ අත්භවෙ කිසි දින, යළි හමු නොවන ලෙස…
‘සරත් සඳ’ බැස ගොස් ය.
මධු රස තෙළි තුඩග සිරකොට…
හිස් වුණු කැන්වසය මත…
තබා උණු කඳුළක කැළල…!
සුනිල් ගුණවර්ධන