නිසියාකාරයෙන් නිල ඡන්ද ප්‍රතිඵල කඩිනමින් දෙනවා
ජනාධිපතිවරණය පැවැත්වීමේ ප්‍රධාන නියමුවකු වන මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායකට පැවරී ඇත්තේ භාරධූර කාර්යයකි. දින කිහිපයක්ම නොනිදා සිදු කළ යුතු ජාතික වගකීමකි. ජනාධිපතිවරණ සමයේ තත්ත්වය කෙසේද එමෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පසුව සිදු වන්නේ කුමක්ද? යන්න ගැන ඔහු සිළුමිණට සිදු කළ අනාවරණයකි මේ.
වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණය ලෙස මෙය ඉතිහාසගත වනවා. මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් අපේක්ෂකයන්ගේ ප්‍රතිචාර කොහොමද ?
ඉතා හොඳයි, අපි දීපු නිර්ණායක අනුව ඒ අය කටයුතු කර තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. යම් යම් අකටයුතුකම් සිදුවීම් වාර්තා වනවා. එවැනි සිදුවීම් මැතිවරණයකදී පමණක් නෙමෙයි ඕනෑම කාර්යයකදී වන්නට පුළුවන්.
අපේක්ෂකයන්ගෙන් කොමිෂන් සභාවට දෝෂාරෝපණ එල්ල වුණේ නැද්ද?
නැහැ, එවැනි දෝෂාරෝපණයක් එල්ල කිරීමේ කිසිදු හේතුවක් නැහැ.
නමුත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරපු වාර්තාවන්වල දැක්වෙනවා ජූලි මාසයේ 13 දා සිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 5,214ක් වාර්තා වූ බව. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?
ඒ සිදුවීම් ඒ තරම් බරපතළ සිදුවීම් නෙමෙයි. අනෙක් එක තමයි එකම සිදුවීම පොලිසි කිහිපයකට වාර්තා කිරීම හා එකම සිදුවීම කිහිප දෙනෙකු විසින් වාර්තා කිරීම් වගේ දේවල් තමයි වැඩියෙන් පේන්න තියෙන්නෙ. හොඳම උදාහරණයක් තමයි එක්තරා ඇඟලුම් කර්මාන්තශාලාවක තිබුණු කටවුට් එකක් ගැන පොලිසි කිහිපයකට පැමිණිලි දමා තිබුණා. ඒ ලෙසින් එකම සිද්ධිය වටේ කැරකෙන තත්ත්වයකුත් තිබුණා. ඇත්තෙන්ම මෙතනදි අපි සලකා බැලිය යුත්තේ පැමිණිලි සංඛ්‍යාවම නෙමෙයි. එම පැමිණිලිවල ගුණාත්මක භාවයයි. පැමිණිල්ලේ ස්වභාවයයි. ඇත්තෙන්ම මෙවර මැතිවරණයේ ප්රචණ්ඩ සිදුවීම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉතාම අවම මට්ටමක තිබුණා කිව්වොත් එය නිවැරැදියි.
ඒ කියන්නේ බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා වෙලා නැද්ද?
නැහැ, කිසිම බරපතළ සිදුවීමක් වාර්තා වෙලා නැහැ.
ඇතැම් අපේක්ෂකයන්ගේ අනුගාමිකයන් විසින් තම අත්පත්‍රිකා නොගත් අයට පහරදීම් කර තිබෙනවා, පොලිසියට පවා බලපෑම් කර තියෙනවා, එවැනි නීති රීති කඩන අයට එරෙහිව මැදිහත්වීමක් වෙනවාද?
අපිට වාර්තා වන වාර්තා කරන සියලු සිදුවීම් කෙරෙහි අනිවාර්යෙන්ම පියවර ගන්නවා. ඒ සම්බන්ධව අපි ක්‍රියාමාර්ග දැඩි කර තිබෙනවා. අපි අනිවාර්යෙන්ම පොලිසියට පැමිණිලි කරනවා. පොලිසිය අනිවාර්යෙන්ම කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතුයි. ඒ වගේම පොලිසිය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ප්‍රවණතාව හොඳයි.
පහරදීම්, බැණ තර්ජනය කිරීම් ආදිය ගැන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවාද?
නඩු පැවරීමේ බලය ඇත්තේ පොලිසියටයි. ඔවුන් ඒ කටයුතු කරගෙන යනවා. කිසිවකුටත් නීතියෙන් ගැලවෙන්නට බැහැ. කොමිෂන් සභාව කල් ඇතිවම මැතිවරණ නීති උපමාන නිකුත් කර තියෙනවා. ඒ කිසිදු නීතියක් උල්ලංඝනය කරන්න කිසිවකුට බැහැ.
යම් අපේක්ෂකයකුට 50%කට වැඩියෙන් ගන්න බැරි වුණොත් දෙවැනි මනාපයකට යන්න වෙනවා. මේ වන විට සමාජයේ ඇතැම් අය අතර මතයක් තියෙනවා එවන් තත්ත්වයක් වෙන්න පුළුවන් කියල. කොමිෂන් සභාව මේ වන විට තේරීම්භාර නිලධාරීන් ඇතුළු මැතිවරණ රාජකාරීන් නිරත නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙනවාද?
අපි ඒ ගැන දැනුම්වත් කරල තියෙන්නෙ අද ඊයෙ නෙමෙයි, 1982 පළමු ජනාධිපතිවරණයේ සිට අදාළ නිලධාරීන් අප දැනුම්වත් කර තිබෙනවා. ඇතැම් අයට එය අද ඊයේ ඇතිවූ අලුත් තත්ත්වයක් වගේ පෙනුණට මැතිවරණයට සම්බන්ධ නිලධාරීන්ට මනාපය කියන එක අලුත් දෙයක් නෙමේ. ඇතැම් අයට එය අමුතු හිතලුවක් වගේ. ඒ වගේම බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ එය බැරෑරුම් කාර්යක් කියල.
1982 සිට මේ දක්වා තිබුණු සෑම ජනාධිපතිවරණයකදීම අපි නිලධාරීන් පුරුදු පුහුණු කරල තියෙනවා. ඒ අය දන්නවා නිසි පරිදි කටයුතු කළ යුතු ආකාරය ගැන. ජනාධිපතිවරණය වේවා වෙනත් ඕනෑම මැතිවරණයක් හෝ වේවා අවශ්‍ය සියලු කටයුතුවලින් සමන්විතවයි නිලධාරීන් සමඟ අප ඊට සම්බන්ධ වෙන්නෙ.
අපේක්ෂකයන් කිසිවකුටවත් 50%ක් ගන්න බැරි වුණොත් දෙවැනි මනාපයට යන්න වෙනවනේ. ඒ අවස්ථාවේදී තුන්වැනි ස්ථානය ගත් අපේක්ෂකයාට ඡන්දය දැමූ අය මනාප ලකුණු කර නොතිබුණොත් මොකද වෙන්නේ?
මනාප ලකුණු කරල නොතිබුණොත් ඉතින් ගණන් කරන්න දෙයක් නෑනෙ.
වැඩියෙන් මනාප ලබාගත් අපේක්ෂකයන් දෙදෙනාට හැර සෙසු අපේක්ෂකයන්ගේ මනාප ලකුණු කරල නොතිබුණොත් ප්‍රතිඵල ලබා දෙන්නෙ කොහොමද?
පනතේ ඒ සම්බන්ධයෙන් පැහැදිලිව දක්වා තියෙනවා, 50%ක් අපේක්ෂකයන් කිසිවකුටවත් ලබා ගත නොහැකි වුණොත් ඔවුන් දෙදෙනාගේ හැර තුන්වැනි ස්ථානය ලැබූ අපේක්ෂකයාගේ දෙවැනි මනාප ගණන් කිරීමත් එසේ මනාප ලකුණු කර නොතිබුණොත් ඊළඟට කළ යුතු දේත් පනතේ පැහැදිලියි.
අනිවාර්යෙන්ම ප්‍රතිඵල ලබා දිය යුතු ආකාරය පියවරෙන් පියවර සඳහන් වෙනවා. පෙර කිව්වා වගේ සෑම ජනාධිපතිවරණයකටම පෙර ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරී ඇතුළු මැතිවරණයට සම්බන්ධ සියලු නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දෙනවා. ඔවුන් දන්නවා කළ යුතු කාර්යයන් සම්බන්ධව. පනතට අනුවයි අප කටයුතු කරන්නේ.
මෙවර ජනාධිපතිවරණයට රාජ්‍ය සේවකයන් කොපමණ සංඛ්‍යාවක් යොදා ගැනුණාද?
රාජ්‍ය සේවකයන් ලක්ෂ දෙකත් දෙලක්ෂ විසිපන්දාහත් අතර සංඛ්‍යාවක් අපි යොදා ගෙන තියෙනවා.
පොලිසිය හා ආරක්ෂක අංශවල නිලධාරීන් කොමපණ යොදා ගත්තාද?
පොලිසියේ 65,000කට අධික සංඛ්‍යාවක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12,000ක් 13000ක් පමණ යොදා ගෙන තියෙනවා, අවශ්‍ය වුණොත් හමුදාවත් යොදා ගැනීමට අප කටයුතු කර තියෙනවා.
සෑම මැතිවරණයකදීම ජනාධිපතිවරණයකදීම තිබෙන ප්‍රධාන ගැටලුව තමයි අපේක්ෂකයන්ගේ පෝස්ටර් කටවුට් ඉවත් කිරීම. මේ සඳහා අතිවිශාල මුදලක් වැය වනවා. ඒ සඳහා වැය වූ හා වැය වන මුදල සම්බන්ධයෙන් ඇස්තමේන්තු කර තිබෙනවාද?
හැමදාම අපට තමයි පෝස්ටර් ඉවත් කිරීම කරන්න වෙන්නෙ. අපි ඒ වෙනුවෙන් පොලිසියට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා, පොලිසියෙන් තමයි ඒ ඉවත් කිරීම් සිදු කරන්නේ.
ඇත්තෙන්ම ඒක අපේම කාර්යයක් නෙමෙයි නගර සභාවන් අදාළ පළාත් පාලන ආයතන ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමයි කළ යුත්තේ. ක්‍රිකට් තරගයක් ගැන නැත්නම් නාට්‍යයක් ගැන පූර්ව ප්රචාරක දැන්වීම් කටවුට් ඉවත් කිරීමට එම ආයතන කටයුතු කළත් ඡන්ද පෝස්ටර් කටවුට් ඉවත් කිරීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරෙනවා. ඒක අපේ පොදු කාරණයක් වගේ වෙලා තියෙන්නෙ.
විදුලිබල මණ්ඩලය ඒ කණුවල තියෙන පෝස්ටර් ඉවත් කරනවා නම් ටෙලිකොම් ආයතනය ඇතුළු අදාළ ආයතන එම කටයුතු සිදු කරනවා නම් මෙය ඇත්තෙන්ම ගැටලුවක් නෙමෙයි. නමුත් මේක දැන් අපිටම භාර ගෙන අපේ වියදමින් කරන්න වෙන තත්ත්වයක් තියෙන්නෙ.
ඒ සඳහා කොපමණ වියදමක් වෙන් කර තිබෙනවාද?
පොලිසියේ රාජකාරි කටයුතු වෙනුවෙන් අපි මිලියන 1900ක් වෙන් කළා. පෝස්ටර් ගැලවීමට යන මුදලුත් ඒකට අන්තර්ගතයි.
ඇතැම් පෞද්ගලික ආයතන සේවකයන්ට ප්‍රමාණවත් නිවාඩු ලබා දී නැහැ. ඒ සම්බන්ධයෙන් කොමිසමට ගත හැකි පියවර කුමක්ද?
අපට වාර්තා කළ සියලු සේවකයන් අදාළ ආයතනවලට නිවාඩු ලබා දිය යුතු බව දැනුම් දී අදාළ පියවර ගත්තා. ඇත්තෙන්ම අපි අවශ්‍ය නිර්ණායක ලබා දීලා තියෙන්නෙ. ඒ අනුව කම්කරු කොමසාරිස්වරයාට වගේම වතු සමාගම් අයිති වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු ආයතන දෙපාර්තමේන්තු අමාත්‍යාංශ දැනුම්වත් කරන්න පුළුවන්. ඒ ආයතන ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. කොහොම වුණත් ඡන්දදායකයකුට ඔහුට නියමිත ඡන්ද පොළට තිබෙන දුර ප්‍රමාණය අනුව යාමට ප්‍රමාණවත් නිවාඩු ලබා නොදීම බරපතළ වරදක්.
එක් අපේක්ෂකයෙක් මිය ගියා, ඔහුගේ ප්‍රතිඵල අවලංගු වනවා නම් ඊළඟ පියවර කුමක්ද?
මිය ගිය අපේක්ෂකයාට ආදේශයක් නැත්නම් අවලංගු වනවා, එපමණයි.
ඔහු පක්ෂයකින් ඉදිරිපත් වූවෙක් නම් ඔහුගේ ඇප මුදල් ආපසු ලබා දීමක් සිදු වෙනවාද?
නැහැ, එහෙම ලබා දීමක් සිදු වන්නෙ නැහැ. ඒ වගේම ඇප මුදල් සම්පූර්ණයෙන්ම ලබාගෙනත් නැහැ. රුපියල් 15,000ක් පමණයි ලබා දීලා තියෙන්නෙ.
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන්න බලාපොරොත්තු වන වෙලාව ගැන සඳහන් කළොත්?
කාර්ය මණ්ඩලය ගණන් කරල දුන්නහම තමයි අපිට ප්‍රතිඵල ලබා දෙන්න වෙන්නෙ. අපිට කිසිදු නිලධාරියකුට බලපෑම් කිරීමක් කරන්න බැහැ. අපේ බලාපොරොත්තුව නිවැරැදි ප්‍රතිඵල කඩිනමින් ලබාදීමයි. මාධ්‍ය තරගයට ඡන්ද ප්‍රතිඵල දෙන්න අපට හැකියාවක් නැහැ. මාධ්‍ය තරගයට අපට දුවන්න බැහැ. නිසි ආකාරයෙන් නිල ඡන්ද ප්‍රතිඵල අපි කඩිනමින් ලබා දෙනවා. පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්රියේදී ලබා දීමට හැකි වෙතැයි සිතනවා.
ජනාධිපතිවරණයෙන් පසු අපේක්ෂකයන් කටයුතු කළ යුතු ආකාරය ගැන ඔබ ලබා දෙන පණිවුඩය කුමක්ද?
ජයග්‍රාහකයා විසින් ජයග්‍රහණය භුක්ති විඳියි. පරාජිතයා පරාජය භුක්ති විඳියි. ඒක සාමාන්‍ය දෙයක්නෙ. දෙතුන් දෙනෙකුට දිනන්න පුළුවන්කමක් නෑනෙ. ඒ තත්ත්වය දරා ගැනීමට නොහැකි අය තරගයට ඉදිරිපත් නොවී ඉන්න ඕන. තමන්ගේ ජය හෝ පරාජය වෙනත් අය පිටින් යා යුතු දෙයක් නෙමේ. ඒකයි වැදගත්ම පණිවුඩය වන්නේ.
ඒ වගේම ජනතාවට ලබා දෙන පණිවුඩය කුමක්ද?
ඔබේ මනාපය ලැබූ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්නත් පුළුවන් පරාජය වෙන්නත් පුළුවන්. අපි ජය පරාජය එක සේ විඳ ගත යුතුයි. මේ රට වසර 2500කට වැඩි කාලයක් නිර්මල බුදු දහම පවතින රටක්නෙ. බුදු දහමේ උගන්වා තියෙන්නෙත් ජය පරාජය සමව විඳ ගන්න කියලනේ. ඒ අනුව අනෙක් අයට කිසිදු ආකාරයක කරදරයක් බාධාවක් නොවන විදිහට කටයුතු කළ යුතුයි කියලයි මට කියන්න තියෙන්නෙ.
තාරක වික්‍රමසේකර