Home » කවුරු දිනුවත් පැරදුණත් කෝටි ගණනින් සල්ලි මාරු වන රත්නපුරේ ඡන්ද ඔට්ටු

කවුරු දිනුවත් පැරදුණත් කෝටි ගණනින් සල්ලි මාරු වන රත්නපුරේ ඡන්ද ඔට්ටු

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment
ඡන්ද ඔට්ටු­ කොළ සහ රත්න­පුරේ නිමල් මුද­ලාලි

ල් ඌරන් කැකුණ තළන විට හබන් කුකුලන්ට රජ මඟුල් යැයි කතාවකි. ඒ කතාවේ ඇත්ත නැත්ත වඩාත් පැහැදිලි වන්නේ ජනාධිපතිවරණ ඡන්ද උණුසුමත් සමඟ රත්නපුරයේ සිදු වන ඡන්ද ඔට්ටු ගැන හිතද්දීය. ජනාධිපති අපේක්ෂකයන් අන්තිම වෙර දරා ඡන්ද සටන මෙහෙයවද්දී රත්නපුරේ ඡන්ද ඔට්ටු අල්ලන අය ගජ රාමෙට වැඩට බැස ඇත.

ඡන්ද කාලෙට ඔට්ටු අල්ලන එක අලුත් දෙයක් නොවේ. එදා ඡන්ද ඔට්ටුවට ඇල්ලුවේ එක්කෝ කොණ්ඩය කපන්නටය. නැත්නම් තට්ටය ගාන්නටය. නැත්නම් පැරදුණු පක්ෂයේ පාටින් අමුඩයක් ගසා ගෙන දිනපු පක්ෂයේ පාටින් ජටාවක් බැඳගෙන ගම පුරා ඇවිදින්නටය. එහෙත් කල් යද්දී ඒ ඔට්ටු ක්‍රමය වෙනස් වී සල්ලි ඔට්ටු අල්ලන්නට පටන් ගත්තේය. ඒ රුපියල් 10, 20, 100 වගේ ගණන්වලිනි. එහෙත් අප කතා කරන්නට යන රත්නපුරේ ඡන්ද ඔට්ටු එයට සපුරා වෙනස් වෙමින් සූදුවක මුහුණුවරක් ගත්තකි.

ආසන්නම දිනය වන විට රත්නපුරේ ඇතැම් ඡන්ද ඔට්ටුවලට මිල නියම කෙරුණේ රුපියල් කෝටි ගණනනි. විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණේ මෙවර එවැනි ඡන්ද ඔට්ටුවක ඉහළම වටිනාකම රුපියල් කෝටි 6ක් පමණ වී ඇති බවය. මේ ඔට්ටු කතාවට සීමා වූ ඒවා නොවේ. ඔට්ටු අල්ලන දෙපාර්ශ්වයම වලංගු මුදල් නෝට්ටුවලින්ම ඔට්ටුවේ වටිනාකම තැන්පත් කිරීම අනිවාර්ය වේ. දෙපාර්ශ්වයෙන්ම ලබා ගන්නා එම මුදල් විශ්වාසවන්ත එක් අයකු ළඟ තැන්පත් කළ යුතුය. එසේ මුදල් සුරක්ෂිතව තබාගන්නා අයට දිනුමෙන් සියයට 5ක කොමිස් මුදලක් හිමිවේ.

රත්නපුරේ ඡන්ද ඔට්ටුවල සරල ඡන්ද ඔට්ටුව එසේ වුවත් මෙයට වඩා සංකීර්ණ ඡන්ද ඔට්ටු ද ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා සංවිධානය වූ පිරිස් රේස් කොළයකට සමාන තරග පත්‍රිකා සකස් කර ගෙන එක් එක් මිල ගණන්වලට තරග පත්‍රිකා විකුණනු ලබයි. රත්නපුරේ නිමල් මුදලාලි ඡන්ද ඔට්ටු ගැන තොරතුරු කියන්නට හපනෙකි. ඒ, වසර ගණනාවක සිට රත්නපුර අඹ ගහ යට සිදු වන ඡන්ද ඔට්ටු ගැන දැන ඉගෙන ගෙන ඇති තොරතුරුවලින් පමණක් නොව මැතිවරණ ඉතිහාසය ගැන ද ඔහු එකතු කර ගෙන ඇති වාර්තා ද නිසාය. රත්නපුරේ ඡන්ද ඔට්ටු ගැන හොඳින් දන්නා නිමල් මුදලාලි හමු වූයේ අඹ ගහ යට මැණික් කොටුව අසලදීය.

“මම නම් මේ වැඩේට සම්බන්ධ නැහැ. ඒ වුණත් මට හොඳට දැනෙනවා රත්නපුරේ ඡන්ද ඔට්ටු වැඩේ මෙදා වෙනදටත් වඩා සරුවට කෙරෙන බව. මොකද ඡන්දයක් ආවේ හුඟ කාලෙකින්නෙ. ඒ වගේම මිනිස්සුන්ගෙත් උනන්දුව වැඩිනේ. ඒ හින්දා ඔට්ටු අල්ලන එකත් වැඩී. අද උදේ කෝටි 6ක ඔට්ටුවක් ආවා කියලා කිව්වා. ඒ වගේම තව ඇලහැරෙනුත් කෝටියක ඔට්ටුවක් ඇවිත්. හුඟක් ඔට්ටු ලක්ෂ 10ට වැඩී. ඡන්ද ඔට්ටු ගැන හැමෝගෙම තියෙන්නෙ ලොකු උනන්දුවක්.”

“ඔය වගේ ලොකු ඔට්ටු විතරක් නෙමෙයි තව පොඩි පොඩි ඔට්ටුත් තියනවා නේද? ගන්න ඡන්ද ගාණ වැඩි ඡන්ද ගාණ, දිනන අපේක්ෂකයා නම් කරන කොටු ලකුණු කරන තරඟකුත් තියෙනවා නේද..?” නිමල් මුදලාලිගේ කතාව වෙනත් මඟකට යොමු කරමින් මම ඇසුවෙමි.

“ඔව් ඔව්, එහෙම ඔට්ටු අල්ලන විධි ගොඩක් තියනවා. මම ඒ වගේ කොළයක් පෙන්වන්නම්,

බලන්න මෙන්න මේ කොළේ, මේකෙ මේ A B C D කියලා නම් සංකේතවත් කරලා තියනවා. පළවැනි වගුවෙ තියෙන්න A කියන අපේක්ෂකයා ආසන මට්ටමින් ලබාගන්න බවට අනුමාන කරන ඡන්ද ගණන, එක කොටුවක රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන ගණන පෙන්වනවා. තව වගුවක තියෙන්නෙ පොදුවේ දිස්ත්‍රික්කවලින් තෝරා ගත්තු ආසන. ඒවායේ එක එක අපේක්ෂකයා ලබා ගන්න ඡන්ද ප්‍රමාණ ලකුණු කරන්න පුළුවන් ඒවා නිවැරදිවම හෝ ආසන්න ලෙස ලකුණු කරන අයට තෑගි ලැබෙනවා. ඒ තෑගි පත්‍රවල හිමි වන තෑගි මුදල ලකුණු කරනවා. එහෙම ලකුණු කරන එක්කෙනා ඒ තරග පත්‍රිකාවේ ලකුණු කරලා තියන වටිනාකම ගෙවිය යුතුයි.

අලෙවි වන තරග පත්‍රිකාවල වටිනාකම අනුව තෑගි මුදල තීරණය වෙන්නේ. තරග පත්‍රිකාවේ වටිනාකම රුපියල් 2,000ක් 5,000ක් වුණත් ලැබෙන තෑග්ග සමහරවිට රුපියල් ලක්ෂය ඉක්ම වන්න පුළුවන්. මේ වගේ තරග පත්‍රිකා ගොඩක් මේ වෙද්දි බෙදා හැරෙනවා. ඒවා එකතු කරන අයත් හුඟක් ඉන්නවා. ඒ වගේ තරග පත්‍රිකාවක් පුරවන්නත් හොඳ දැනුමක් තියෙන්න ඕනි. බලන්න මේ කොළේ කිලිනොච්චි දිස්ත්‍රික්කෙ, ඒ වගේම ත්‍රිකුණාමලය, මාතර, හම්බන්තොට වගේම නුවරඑළියත් තියෙනවා. මේක පුරවන එක්කෙනාට පහුගිය මැතිවරණවල ප්‍රතිඵල ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. ඒ වගේ මහන්සියක් අරගෙන තමයි මේ කොළේ පුරවන්න ඕන. නැතිව රුපියල් හාර පන් දාහක් ගෙවලා හිතුමතේට ඔට්ටුවක් දාන්නෙ නෑනෙ. මේකත් හරියට ඕලෝන් දාන්නා වගේ ඉහළටයි පහළටයි ඔළුවටයි අල්ලන ඔට්ටුවක්. මම මේ පෙන්නුවෙ එකක් විතරයි. මේ වගේ කොළ ගාණක් මේ වෙද්දි ටවුමෙ සංසරණය වෙනවා. සිකුරාදා හවස් වෙනකොට ඔට්ටු ඇල්ලිල්ල නිමා කරලා මේ කොළ භාරකාරයන්ගෙ අතට දෙන්නෙ සල්ලිත් එක්ක.”

නිමල් මුදලාලිට සමු දී ඊළඟට මම ගියේ අඹ ගහ යටින් දෙමුවාවත පාරටය. දෙමුවාවත පාර මැණික් වෙළෙඳ වීදියක් වුවත් මේ දවස්වල වැඩියෙන් එහි කතාබහ වන්නේ ඡන්ද ඔට්ටු ගැනය. නිමල් මුදලාලි පැවසූ ආකාරයේ ඡන්ද ඔට්ටු කොළ බෙදන කිහිප දෙනකුම එහිදී හමු විය. බොහෝ පෙරැත්ත කර ලකුණු කරන ලද කොළ කිහිපයක් එහෙන් මෙහෙන් බැලීමට මට අවසර ලැබුණේ කොන්දේසි ගණනකට යටත් වීමෙන් අනතුරුවය.

ඇතැම් කොළ පුරවා තිබූ ආකාරය බැලූ විට සිතුණේ ඒ අය නිකම්ම නිකම් ඔට්ටුකාරයො පමණක් නොව ඡන්ද පිළිබඳ විචාරකයන්ට නොදෙවැනි බවය. පසුගිය ජනාධිපතිවරණවලදී අපේක්ෂකයන් ලබා ගෙන තිබූ ඡන්දවලට සමානව මෙවර ජනාධිපතිවරණෙදී ඒ ඒ පක්ෂයේ අපේක්ෂකයා ලැබිය හැකි ඡන්ද ලකුණු කර තිබෙන ආකාරය දුටු විට පුදුම සිතේ. මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂකයකුටවත් බැරි ආකාරයට ඒ අනාවැකි පළ කර තිබේ. සමහර කොට්ඨාසවල ඉදිරියෙන් සිටින අපේක්ෂකයා නොවේ තවත් දිස්ත්‍රික්කයක ඉදිරියෙන් සිටිනුයේ. තවත් ඡන්ද ලකුණු කර ඇත්තේ දුප්පත්කම, සරුසාරකම වැනි පදනම්වල සිටිමිනි. තවත් සමහරක් ජාති, ආගම් ගැන සිතා ලකුණු කර ඇති බව පෙනේ. මේ විස්තර බැලූ විට පෙනෙන්නේ රත්නපුරේ ඡන්ද ඔට්ටු අල්ලන පුද්ගලයන් නිකම්ම නිකම් ඔට්ටුකාරයො නොවන වගය. මේ ඔට්ටු කොළ තුන හතරක් විමසිල්ලෙන් බැලූ විට දිනන්නේ කවුද? පළවැනියා වෙන්නේ කවුද? යන්න අනුමානයට නොව හොඳින්ම තේරුම්ගත හැකිය. රත්නපුරේ ඡන්ද ඔට්ටු නිකම්ම නිකම් ඔට්ටු නොව එයින් හොඳ දේශපාලන විග්‍රහයක් ද පෙන්නුම් කරන බව පැහැදිලිය.

එපමණක් නොව ඡන්ද ඔට්ටු නිසා මේ දවස්වල සැඟවුණු මුදල් ද එළියට එන බවක් පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් 22 වැනිදා දහවල් වන විට මේ ඔට්ටුවල දිනුම්, පැරදුම් තීන්දු වේ. ගෙවල් දොරවල්, හරකාබාන ඔට්ටු ඇල්ලුවේ නැතුවට රුපියල් ලක්ෂ ගණනින් පරාද වන අය මෙන්ම රුපියල් ලක්ෂ සහ කෝටි ගණනින් මුදල් දිනන අයත් සිටිය හැකිය.

ධර්මප්‍රිය ලියනආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division