රටේ ආර්ථිකය මේ වන විට යහපත් තත්ත්වයේ ඇති විෂයයකි. ඒ සඳහා වන රාමුව සැකසී ඇත්තේ මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා ප්‍රකාරවය. මීට පෙරද මේ ආකාරයට අප මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු සිදු කර තිබේ. එකක් දෙකක් නොව දහසය වතාවක්ම මූල්‍ය අරමුදල සමඟ කටයුතු සිද්ධ කළේ වුව ද අප ඒවා මඟදී අතහැර දමන ලද්දේ, බදාමය සවි වූ පසු, සැටලිම ගලවා දමන න්‍යාය ප්‍රකාරවය. මෙවර ඒ ආකාරයට කටයුතු කළ නොහැකිය. බංකොළොත් ලේබලය පිටේ අලවා ගෙන, රටකට ලෝකයා ඉදිරියට යා නොහැකිය. එවන් රටක් යනු වසා දමන ලද කඩයක් වැනිය. කිසිවෙක් ඒ පළාතට යන්නේ නැත. ආර්ථිකය කියා ශේෂ වනු ඇත්තේ, නටබුන් කන්දක් පමණය. එතැන් සිට ජන ජීවිතය අඩාළය.
ඒ ආකාරයේ දායාදයක් උරුම කර ගත් අප පසුගිය බ්‍රහස්පතින්දා ආර්ථිකයේ නව නැම්මක් ඇති කර ගත්තේය. මේ වනාහි පියවර තුනකින් යුත්, බංකොලොත්භාවයෙන් මිදීමේ අවසන් අදියරය.
දේශීය ණය, ද්වි පාර්ශ්වික ණය සහ පෞද්ගලික ණය යන ආකාර තුනකින් අපගේ ණය ගැතිභාවය සරල ආකාරයට විස්තර කළ හැකිය. රජය මේ සඳහා පළමු පියවර තබන ලද්දේ සේවක අර්ථ සාධක අරමුදල වැනි ආයතන සමඟ ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා පවත්වමිනි. ඒ මොහොතේ එක් පිරිසක් පාරට බැස, බෝඩ් අල්ලාගෙන සිටියහ. අර්ථ සාධකයෙන් කොටසක්, ආණ්ඩුව කපා දමන බව ඔවුනගේ චෝදනාව විය.
ණය උගුලේ පැටළී සිටි රටක්, එකිනෙක ප්‍රශ්න ලිහා ගැනීම සඳහා සැරසෙන විට, සමහර කණ්ඩායම් වැඩේ සංකීර්ණ කළේ ඒ ආකාරයටය. ඊළඟට විදේශීය ණය හෙවත් රටවල් අතර ගනුදෙනුය. චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය යන අංශ තුන සමඟ දීර්ඝ සාකච්ඡා සිදුවිය. රටක්, වෙනත් රටකට ණයක් ලෙස ලබා දෙන්නේ තමන්ගේ රටේ ජනතාවගේ බදු මුදල්වලිනි.
අපට ණය ගෙවිය නොහැකිය කියා, එම රට ලබා දුන් ණය මුදල එකවර, සැහැල්ලු කළ නොහැක්කේය. එසේ කර ගැනීම සදහා අප දීර්ඝ කාලයක් වෙහෙස විය. අපගේ ඉලක්ක සහ වැඩසටහන් ආදිය ලෝකයා සමඟ බෙදා ගනිමින්, සංවර්ධනයේ දිශානතිය සදහා අප යන ගමන පිළිබඳව මාර්ග සිතියම ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කළේය.
එතැනින්, රටවල් සමඟ ඇති ණය සදහා වන පහසු තත්ත්වය සඳහා අප ළඟා විය. අසීරුම කාරණය වූයේ, පුද්ගලික ණය හිමියන්ය. මේ රට නිකුත් කළ ස්වෛරී බැඳුම්කර මිලදී ගත් එක් එක් පුද්ගලයා සහ ජාත්‍යන්තර ආයතන සමඟ සාකච්ඡාව පහසු නැත. විදේශීය අධිකරණ හි, සිය ණය නොගෙවන බවට ශ්‍රී ලංකාවට එදිරිව ඔවුන් නඩු පවරා ද තිබුණි. පැවති සාකච්ඡා බ්‍රහස්පතින්දා දහවල් වන විට සාර්ථක ලෙස අවසන් විය.
ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹීම ශ්‍රී ලංකා ආර්ථිකය සඳහා සවිමත් අඩිතාලමකි.
ජාත්‍යන්තර ආයෝජකයන් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම, දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය සමඟ සිදු කළ සාකච්ඡා මාර්ගයෙන් මේ ආකාරයට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාව ඇති කර ගැනීමට රජය සමත් විය. ශ්‍රී ලංකාව නිකුත් කළ ස්වෛරීත්ව බැඳුම්කරවලින් භාගයකට වැඩි ප්‍රමාණයක් ඇත්තේ මේ කාණ්ඩය සතුවය.
11% ක වට්ටම් අනුපාතයක් මත පදනම්ව 40.3% ක වර්තමාන අගයක සඳහා සහනයක් ලබාදීමට බැඳුම්කර හිමියන් එතැනදී එකඟ වීම, ආර්ථික අතින් අප ලද වාසියක් පමණක් නොවේ. එය සහනයක් ලෙස හිමි වීම මඟින් මූල්‍ය අරමුදල සමඟ එළඹුණු එකඟතා රාමුවට ද වඩා ප්‍රශස්ත අගයක ණය සහනයක් අපට ලැබී ඇත්තේය.
නව කොන්දේසිවල ඇති පරිදි පොලී ගෙවීම් සඳහා ද අමතර අඩු කිරීමක් සිදුවන්නේය. මුදල සඳහා මෙන්ම පොලිය සඳහා ද සහනයක් ලබා ගනිමින් දැවෙන ප්‍රශ්නයක් විසඳා ගැනීමට අප සමත්වීම පාරේ කිරිබත් උයා, වෙඩි දල්වා සැමරිය යුතු මට්ටමේ ජයග්‍රහණයකි.
ශ්‍රී ලංකාව දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.3 ක පමණ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන මූල්‍ය කොන්දේසි පිළිබඳව චීන සංවර්ධන බැංකුව සමඟ ද ප්‍රතිපත්තිමය එකඟතාවකට ඒ සමඟ එළැඹියේය.
චීනයේ එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව චීන සංවර්ධන බැංකුව සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17 කට අධික ණය සේවා සහනයක් හිමි විය.
පාර්ශ්ව තුනම අදාළ කර ගනිමින් බංකොලොත්භාවයෙන් අප නිදහස්ව තිබේ. මෙතැන් සිට ශ්‍රී ලංකා ආර්ථිකය යනු ණය ගෙවා ගත නොහැකි කාණ්ඩයක් නොවේ. දැන් දිශාව පැහැදිලිය. ඡන්ද ප්‍රතිඵලය ද ලැබුණු විට, අලුත් රටක් සඳහා වන ආර්ථික මාවතේ අපේ ගමන යා හැකිය.
ගහෙන් ගෙඩි එනවා සේ මේ කටයුතු සිද්ධ වන්නේ නැත.
වත්මන් රජය සිය පරිණත අත්දැකීම් ඔස්සේ, තත්ත්වය සෑහෙන ප්‍රමාණයකට සමථයකට පත් කර අවසන්ය. මේ ආණ්ඩුව අතට ගත් ගිනි හට්ටිය වසර දෙකහමාරක් යන විට සිසිල් කර බිමින් තබා ඇත්තේය. දැන් ඇත්තේ ඒ ආකාරයේ ප්‍රශස්ත මට්ටමින්ම ඉතිරිය, ඉදිරියට ගෙන යෑමය.