අප්‍රතිහත ධෛර්යයත් දැඩි කැපවීමත් උපතින්ම දායාද කරගත් ශ්‍රී ලාංකිකයෝ අපමණ වෙති. එවැනි දිරිය සම්පන්න පුද්ගලයන් ලොව කොතැන ගියත් මවුබිමේ අභිමානය ඔසවා තබන අතර, ජයග්‍රහණයකින් මිස ආපසු හැරෙන්නේ ද නැත. එවැනි අභිමානවත් ශ්‍රී ලාංකීය පුත්‍රයකු ඔස්ට්‍රේලියාවේ සිටී. දශක දෙකකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචිවී සිටින මේ ශ්‍රී ලාංකිකයා වසර 2022දී ඔස්ට්‍රේලියාවේ සවි එසැවීමේ ජාතික ශූරයා බවට පත්වී 2023 වසරේ ඉතාලියේ පැවැති සවි එසැවීමේ ලෝක ශූරතාවලියට ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමේ ගෞරවය දිනා ගත්තේය. හෙතෙම විවෘත කාණ්ඩයේ ලෝක ශූරයා බවට පත්වූ අතර, ඉන් නොනැවතී ප්රවීණයන්ගේ කාණ්ඩයේ ලෝක ශූරතාවට ද හිමිකම් කීවේ ඔස්ට්‍රේලියාවට පමණක් නොව ශ්‍රී ලංකාවට ද ඉහළම ගෞරවය අත්කර දෙමිනි. මේ වන විට ඔහු ඔස්ට්‍රේලියාවේ නම රැන්දූ ක්‍රීඩකයකු පමණක් නොව එරට ඉහළම තලයේ ව්‍යාපාරිකයෙකි.
මෙල්බර්න් නුවර පදිංචි වී සිටින 55 හැවිරිදි මේ ශ්‍රී ලාංකිකයා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. එංගලන්තයේ හල් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් ද ඔහු සතුය. වසර කිහිපයකට පෙර ඔහු විසින් ආරම්භ කරනු ලැබූ Fresh Feel පවිත්‍රතා සේවා ආයතනය දැන් දෙසියයකට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විත ප්‍රකට ආයතනයකි. ඒ හැරුණු විට තවත් ව්‍යාපාර රැසක හිමිකරුවෙකි. මෙල්බර්න් නුවර සිංහ සමාජයේ සභාපතිවරයා ලෙසත් සමාජයීය සුබසාධන වැඩසටහන් රැසක නිර්මාතෘ ලෙසත් එරට අතිශය කීර්තියට පත්වූවෙකි. ඔහු ආචාර්ය රුවන් පෝල් ය.
ඔහු මෙරට ත්‍රස්තවාදී යුද සමයේදී ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටි නාවික හමුදා නිලධාරියකු බව ඔස්ට්‍රේලියාවේ දන්නේ අතලොස්සකි. හෙතෙම අනූව දශකයේ මැද භාගයේදි රිවිරැස මෙහෙයුමට ද එක්වූ ආචාර්ය රුවන් පෝල් නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර්වරයෙකි. එවකට අරාලි තුඩුවේදී ත්‍රස්ත ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා මාස අටකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි අතර, ඔහුගේ නාවික හමුදා සේවා කාලය වසර 14කින් නිමාවට පත් විය.
ලෝක සවි එසැවීමේ සම්මේලනය විසින් සන්නාම තානාපතිවරයකු ලෙස පත් කරනු ලැබූ ආචාර්ය රුවන් පෝල් ශ්‍රී ලංකාවේ සවි එසැවීමේ ක්‍රීඩකයන් ජාත්‍යන්තරයට ඔසවා තැබීමට අඩිතාලම දමමින් ‘වර්ල්ඩ් පවර් ලිෆ්ටින් ශ්‍රී ලංකා සංගමය ආරම්භ කළ අතර, එහි සභාපතිවරයා ද වේ. ක්ෂේත්‍ර රැසකින් ජීවිතය ජයගත් විස්මිත කතාව ආචාර්ය රුවන් පෝල් මෙල්බර්න් නුවර සිට ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක් වූයේ මෙසේය.
“මම ඉපදුණේ කොළඹ. ඒත් හැදුණේ වැඩුණේ ජාඇල. තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහලෙන් තමයි මූලික අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලයේ ඉඳලම මම ක්‍රීඩාවට දක්ෂයි. විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාවට. මගේ තාත්තා (පෝල් නිකුලස්) දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක් නිසා මම කරාටේ ක්‍රීඩාවටත් යොමු වුණා. ඔය අතරතුර මගේ පාපන්දු දස්කම් නිසාම මට මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ අනුව මම 1984දී මාරිස්ටෙලා විදුහලට ඇතුළත් වුණා” ආචාර්ය රුවන් පෝල් කතාබහට එක්වූයේ එසේ කියමිනි.
වසර 1985 ජාතික පාසල් ක්‍රීඩා උලෙළේ පාපන්දු තරගාවලියේ ශූරතාව හිමිවුයේ මාරිස්ටෙලා විදුහලටය. අවසන් තරග 4දීම රුවන් පෝල් රැස් කළ ගෝල් සංඛ්‍යාව 17කි. සමස්ත තරගාවලියේදීම ඔහු ගෝල් 56ක් ලබා තිබිණි.
“ඒක ශ්‍රී ලංකා පාසල් වාර්තාවක්. අපි චැම්පියන්ස්ලා වුණා. එතැනින් පස්සේ තමයි මට පාපන්දු ක්‍රීඩා කරන්න නාවික හමුදාවට බැඳෙන්න ඉල්ලීමක් ආවේ. යුනිෆෝම් එකටයි පාපන්දු ක්‍රීඩාවටයි තිබුණු කැමැත්ත නිසා මම 1987දී නාවික හමුදාවට බැඳුණා. ඒත් රාජකාරි අතරතුර පාපන්දු ක්‍රීඩාවේ යෙදීම දුෂ්කර වුණා. අනිත් එක නාවික හමුදාවේ ක්‍රීඩාවත් නැවතිලයි තිබුණේ. ඒ එක්කම රටේ ත්‍රස්තවාදී ගැටුම් නිසා දරුණු විදිහට යුද්ධය පැතිරුණු පළාත්වල රාජකාරි කරන්නත් සිද්ධ වුණා. එහේදි මට තුන්පාරක් වෙඩි වැදුණා. අරාලි, අක්කරපත්තුව, ත්‍රිකුණාමලයේ කුච්චිවේලි කියන පළාත්වලදි. බරපතළ තුවාල ලැබුවේ අරාලිවලදී. මාස අටක් විතර රෝහලේ හිටියා. ” ඔහු අතීතය සිහිපත් කළේ එලෙසිනි.
අනතුරුව නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය මේ නාවික හමුදා නිලධාරියාට පසුව 1996දී ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට එක්වීමේ අවස්ථාව උදා වී තිබිණි. වසර කිහිපයකට පසු ඔහුට රැකියාව අහිමිවීමත් සමඟ විවිධ ගැටලු හා දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවූ අතර, ඒ වනවිට ඔහු විවාහ වී සිටි දරුවන් ද සිටි බැවින් ජීවිතය යළි ගොඩනඟා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්වී තිබිණි.
“ජීවිතයේ විඳින්න තියෙන හැම දුකක්ම වින්ද කාලයක්. අන්තිම අසරණ තත්ත්වයටයි මම වැටිලා හිටියේ. නාවික හමුදාවේ ඉන්න කොට ලුතිනන් කමාන්ඩර් නිලධාරියෙක් විදිහට මම ලොකු අභිමානයකින් හිටපු කෙනෙක්. ඒ නිසා ජීවිතය කඩාගෙන වැටෙද්දී මට ගොඩක් දුක හිතුණා. මගේ ජීවිතයේ කඩා වැටීමත් එක්ක බිරියගෙනුත් ප්‍රශ්න ආවා. මේ ඔක්කොම ප්‍රශ්න එක්ක ඇතිවුණු කලකිරීමත් එක්ක 2002දී ජීවිතයට අරමුණක් හොයාගෙන හිස් අතින් මම ඔස්ට්‍රේලියාවට ආවා.” ඔහු එසේ කීවේ සංවේදී අයුරිනි.
ජීවිතය ගැට ගසා ගැනීමට ඔස්ට්‍රේලියාවට ගිය මුල් කාලයේදී ඔහු රැකියා ගණනාවකම නිරතව සිටියේය.
“ආපු මුල් කාලයේ මම ෆැක්ට්‍රියක වැඩ කළා. ඒත් ඒක මගේ හිතට ඇල්ලුවේ නෑ. ඊට පස්සේ ආරක්ෂක නිලධාරියෙක් විදිහට රැකියාව කළා. ඒක මම ආසා ජොබ් එකනේ. මම ඔස්ට්‍රේලියාවේ අවිආයුධ පාවිච්චි කිරීමේ බලපත්‍ර එහෙම අරන් මාස 6ක් විතර ඒ රස්සාව කළා. නයිට් ක්ලබ්වල ‘බවුන්සර්‘ කෙනෙක් විදිහටත් වැඩ කළා. ඒක ලොකු අභියෝගයක් වුණත් මම කරාටේ ක්‍රීඩකයෙක්නේ. ඒ නිසා නයිට් ක්ලබ් එකේ ගැටුම්වලටත් මැදිහත් වුණා. ඒකනේ රස්සාව. ගහගන්නවා. මරාගන්නවා. ඇත්තටම මම ඔස්ට්‍රේලියාවට ආවේ ගහමරාගන්න නෙවෙයි. මම යුද්ධ කරලා වෙඩි කාලාත් හිටපු කෙනෙක්. මට දරුවොත් ඉන්නවා. ජීවිතය ගොඩනගා ගන්නනේ මම මෙහෙ ආවේ. ශාන්ත ස්ටීවන් කියලා මගේ යාළුවෙක් මෙහේ ඉන්නවා. මම එයාට මේ ගැන කිව්වා. එයා තමයි කිව්වේ මට ක්ලීනින් ජොබ් එක පටන් ගන්න කියලා. මම කිව්වා පිස්සුද මචං…මම හමුදාවේ තුන්හාරදාහක් පාලනය කරගෙන හිටපු නිලධාරියෙක්. මම කොහොමද ඒ වගේ රස්සාවක් කරන්නේ කියලා. එතකොට මගේ යාළුවා කිව්වා ඔය මහන්තත්වෙයි අහංකාර කමයි පැත්තකට දාලා සල්ලි හම්බ කරන්න ඕනේ නම් ක්ලීනින් රස්සාවට යන්න කියලා.” ඔහු කීවේ ඔස්ට්‍රේලියාවේ ගත කළ පළමු වසර කිහිපයේ කටුක අත්දැකීම් ගැන ය.
අනතුරුව ඔහු කළේ පවිත්‍රතා අංශයට සම්බන්ධ ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු යටතේ සේවයට බැඳීමය. අලුත් රැකියාවේ පළමු දින කිහිපයේදී වැසිකිළි පවිත්‍ර කිරිම් ආදි කටයුතු ඔහුට ඉතා නීරස වුවද, පසුව ඔහු ඊට හුරු විය.
“ජීවිතේ දිනන්න නම් දුක් විඳින්න ඕනා. සල්ලිනේ අපිට ඕන. ඒ නිසා මම ඒ රස්සාව දිගටම කරගෙන ගියා. ඔහොම යද්දි මම හැමදෙයක්ම ඉගෙන ගත්තා. කාපට් පිරිසුදු කරන්න වගේ දේවලුත් හුරු වුණා. වැඩේ ටිකින් ටික අල්ල ගත්තා. ඔන්න දැන් මට ලොකු වැඩත් එනවා. ගෝලයෝ එහෙමත් අරන් ඊට පස්සේ මම මගේම කියලා ක්ලීනින් සර්විස් එකක් පටන් ගත්තා මෙල්බර්න්වල. ඒක දිගටම කරගෙන යද්දී තමයි ශ්‍රී ලංකාවේ ඉන්න මගේ වයිෆ් ඩිවෝස් එක ඉල්ලලා තිබුණේ. ඒකටත් මුහුණ දීලා වයිෆ්ගෙන් නීත්‍යනුකූලව අයින් වුණා. ඔය අතරතුර මගේ මනස සැහැල්ලු කරගන්න ජිම් යන්න පටන් ගත්තා. සින්දු කියන්න පටන් ගත්තා. ” ඔහු කීවේය.
ඔහුට ගීත ගායනයට ද තිබුණේ උපන් හපන්කමකි. මේ වනවිටත් ඔහු ගීත 4ක් පමණ එළි දක්වා තිබේ. ශෂිකා නිසංසලා සමඟ ගායනා කරනු ලැබූ ‘වසන්තේ උදාවේ‘ ඒ අතුරින් ජනප්‍රිය ගීතයකි.
“ඒ එක්කම චැරිටි වැඩත් කරනවා. ඔය අතරෙදි තමයි මට මගේ ඔස්ට්‍රේලියානු බිරිය මුණ ගැහුණේ 2004දි. එයාගේ නම ලිඩියා. ඒ කාලේ එයා ගුරුවරියක් විදිහට රැකියාවක් කරමින් හිටියේ. මගේ ව්‍යාපාර කටයුතුවලට ලිඩියා ගොඩාක් උදව් කළා. මගේ ව්‍යාපාරවල වැඩි බරක් දරන්නේ එයා. ඒ කාලේ මගේ ක්ලිනින් සර්විස් එකේ ස්ටාෆ් එකත් වැඩි වුණා. වැඩ කරන අය 50ක් වුණා. ඊළඟට 100ක් වුණා. දැන් 200කට වඩා ඉන්නවා. ඔය අතරතුර මම මෙල්බර්න් නුවර සිංහ සමාජයට බැඳුණා. ”
සිංහ සමාජයේ උපසභාපතිවරයා ලෙසත්, පසුව සභාපතිවරයා ලෙසත් කටයුතු කළ ආචාර්ය රුවන් පෝල් එවකට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගයට ගොදුරු වූ දරුවන් වෙනුවෙන් සුබසාධන කටයුතු රැසක් ආරම්භ කර තිබිණි.
“ඒ අතරතුර මට ලංකාවේ ඉන්න මගේ දරුවෝ බලන්න නැතිව ඉන්න බැරිවුණා. ඒ නිසා අවුරුදු 5කට පස්සේ පළමු වතාවට මම 2007දී ලංකාවට ආවා. ඒ ඇවිත් මගේ පුතාලා හතරදෙනා අරගෙන ආපහු ඔස්ට්‍රේලියාවට ගියා. එයාලා එහේ ඉස්කෝලවලට දාලා ඉගැන්නුවා” ඔහු සවි එසැවීමේ ක්‍රීඩාවට යොමු වූයේ ද ඒ කාලයේදිය.
“ඒ කාලේ අරාලිවලදී වෙඩි වැදිලා රෝහල්ගත වෙලා ඉන්නකොට බීපු බෙහෙත් නිසා වගේම එක තැන හිටපු නිසා මම ගොඩාක් මහත්වෙලයි හිටියේ. ජිම් එකට යන්න පටන්ගත්තට පස්සේ මම මගේ සිරුරේ බර ප්‍රමාණයට හරියන විදිහටයි පවර් ලිෆ්ටින් ක්‍රීඩාව තෝරාගත්තේ. කිලෝ 200ක්, 300ක් වගේ උස්සන එක මට හරි ලේසි වැඩක් වුණා. එතකොට ඒ ජිම් එකේ හිටපු කෙනෙක් මට කිව්වා රුවන් ඔයා හොඳට බර උස්සනවා, පවර් ලිෆ්ටින්වලට යන්න කියලා. එහෙමයි පවර් ලිෆ්ටින් ක්‍රීඩාව ප්‍රගුණ කළේ. “ඔහු පැවැසීය.
එසේ පුහුණුව ලැබූ ඔහු වසර 2019දී පළමුවරට ඔස්ට්‍රේලියානු සවි එසැවීමේ ශූරතාවලියට සහභාගි වෙමින් පළමු තරගාවලියේදිම ඔස්ට්‍රේලියානු වාර්තාවක් බිඳ දැමීමට ද සමත් විය. ඒ වනවිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබී තිබූ ඔහුට එරට සවි එසැවීමේ ක්‍රීඩක සංචිතයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණේ එලෙසිනි.
“ඊට පස්සේ දිගටම ඔස්ට්‍රේලියාව නියෝජනය කරලා තරගවලට ගියා. ඔස්ට්‍රේලියාන් මාස්ටර්ස් විවෘත තරග, ඒෂියා පැසිෆික් ශුරතාවලිය, ඔස්ට්‍රේලියානු සවි එසැවිමේ ශූරතාවලිය, මෙල්බර්න් විවෘත සවි එසැවීමේ ශූරතාවලිය, ඕෂනියා ශූරතාවලිය වගේ හැම තරගාවලියකදීම මම සාර්ථක වුණා. පදක්කම් දිනාගත්තා. ඕෂනියා කියන්නේ ඔස්ට්‍රේලියාව අවට දූපත්වල ක්‍රීඩකයන් සහභාගි වන තරගාවලියක්. යෝධයෝ වගේ මිනිස්සු ඉන්නේ. මම ඕෂනියාවල රන් පදක්කම් තුනක් දිනාගත්තා. ඔස්ට්‍රේලියානු වාර්තා වගේම මගේම වාර්තා පවා අලුත් කළා.” ඔහු සිය ක්‍රීඩා දස්කම් ගැන කීවේය. පසුගිය වසරේ පළමුවරට ලෝක සවි එසැවිමේ ශුරතාවලියට ඔහු සහභාගි වූයේ ඉන් පසුවය.
ඔස්ට්‍රේලියාවේ දස්කම් පාමින් සිටි ඔහුට ශ්‍රී ලංකාවේ සවි එසැවීමට දක්ෂතා ඇති දරුවන් හඳුනා ගෙන ඔවුන් ජාත්‍යන්තරයට රැගෙන යෑම සිහිනය බවට පත්විය.
“මම මගේම සංකල්පයක් හැදුවා ‘යෝධයන් සොයා යන ගමන‘ කියලා. ඇත්තටම අපේ රටේ මුතුන් මිත්තන් දස මහ යෝදයන්ගෙන් පැවත එන පරම්පරාවක් තියෙනවා. ඒ පරපුරේ අය තවම ඉන්නවා ගම්වල. නගරේ නෙවෙයි. අම්පාර, මොනරාගල, පොළොන්නරුව, අනුරාධපුරය, වවුනියාව වගේ පළාත්වල තවම ඉන්නවා. මේ සංකල්පය හදලා වැඩ කරද්දී මට ලෝක සවි එසැවිමේ සම්මේලනයෙන් සන්නාම තානාපතිවරයෙක් විදිහට පත්වීමක් ලැබුණා. ඒක විශාල ගෞරවයක් අපේ රටටත්. ඒ එක්කම මම වර්ල්ඩ් පවර් ලිෆ්ටින් ශ්‍රී ලංකා සංගමයත් බිහි කළා.”ඔහු සඳහන් කළේය.
පසුකාලිනව නීතිය හැදෑරූ ආචාර්ය රුවන් පෝල්ගේ බිරිය ලිඩියා මේ වන විට එරට රජයේ ආගමන විගමන නීතිඥවරියකි. ආචාර්ය උපාධිධාරිනියකි. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඇය ද සවි එසැවිමේ ක්‍රීඩාවට යොමුවූ අතර, පසුගිය වසරේ ඉතාලියේ පැවැති ලෝක ශුරතාවලියේදී රන් පදක්කමක් ද දිනා ගත්තාය.
“දැන් මගේ ළමයි ලොකුයි. ලොකු පුතාලා දෙන්නා විවාහ වෙලා එයාලටත් දරුවෝ ඉන්නවා. මම දැන් මුනු පුරු මිනිබිරියන් පස්දෙනකුට සීයා කෙනෙක්.” ඔහු එසේ කීවේ සිනාසෙමිනි.
ආචාර්ය රුවන් පෝල්ගේ පවුලේ වැඩිමලා ග්‍රෙහැම් පෝල් ඉන්ජිනේරුවරයකු ලෙස රැකියාවේ නිරතව සිටින අතර, දෙවැන්නා එරල් පෝල් ප්‍රවීණ සූපවේදියෙකි. තුන්වැන්නා ඇන්සලම් පෝල් ඉංජිනේරු උපාධිය හදාරමින් සිටින අතර, පවුලේ බාලයා කෙයානු පෝල් දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ රැකියාවක නිරතව සිටී.
මේ වසරේ සවි එසැවීමේ ලෝක ශුරතාවලිය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේදීය. ලබන මාසයේ පැවැත්වෙන එම ශුරතාවලියට ඔහු මේ වනවිට පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටී.
“මෙදා සැරේ මම ලෝක ශුරතාවලිය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවෙන්. මේ පාර ලංකාවට පදක්කමක් දිනා දීමයි මගේ බලාපොරොත්තුව. මට ඒකට අවසර ලැබිලයි තියෙන්නේ. වර්ල්ඩ් පවර් ලිෆ්ටින් ශ්‍රී ලංකා ශාඛාව හදලනේ තියෙන්නේ. අනික මේ පාර මගේ බිරියත් ශ්‍රී ලංකාව නියෝජනය කරලයි ශුරතාවලියට සහභාගි වෙන්නේ.” රටවල් 8ක සංචාරය කරමින් ඔස්ට්‍රේලියාට පදක්කම් පිට පදක්කම් දිනා දුන් ආචාර්යවරයා එසේ සඳහන් කළේය.
“මනුස්සයන්ට උදවු කරනවා නම්, තමන් හරියට ජීවත්වෙනවා නම් වරදින්නේ නෑ. මම හැමදාම සුබසාධන වැඩවලට දායක වුණු කෙනෙක්. එදා දුක්බර ජීවිතයක් ගත කරපු මට අද වෙද්දී මේ තත්ත්වයට එන්න ඒවාත් බලපාන්න ඇති. මගේ දැන් අරමුණ ජීවිතය ජයගන්න, ලෝකය ජයගන්න අපේ රටේ තවත් දරුවන් රැසකට අත දෙන්නයි. “ඔහු කියා සිටියේය.
ෆවුස් මොහොමඩ්