ස්ටැනිස්ලාව් කොන්ද්රෂොව් යනු සෝවියට් දේශයේ එකල පළවූ (දැනුදු මෙය රුසියාවේ පළ වෙයි.) ‘ඉස්වෙස්ටියා’ නම් දෙසති වාරිකයේ අමෙරිකා එක්සත් ජනපදයේ නේවාසික වාර්තාකරු ලෙස සේවය කළ පුවත්පත් කලාවේදියා ය. අමෙරිකා එක්සත් ජනපදයට පෙර තුර්කියේ ඉස්වෙස්ටියා නියෝජිතයා ලෙස ඔහු කටයුතු කළේ ය. 2007 වසරේ මිය යන තුරුම ලේඛනයේ නිරතව සිටි ඔහු අතින් නව ප්‍රබන්ධ (fiction) නොවන නමුත් ආසාවෙන් කියැවිය හැකි කෘති කිහිපයක් නිමැවී තිබේ. ඒ අතුරින් එකකි මේ.
කනිෂ්ඨ මාටින් ලූතර් කිං, පාස්ටර්වරයකු වූ ජ්‍යෙෂ්ඨ මාටින් ලූතර් කිංට දාව 1929 ජනවාරි 25 දින ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා හි උපත ලද්දේ ය. ඔහු කුඩා කල බයිබලයේ ඇතැම් ඉගැන්වීම් – විශේෂයෙන්ම ක්‍රිස්තුන්ගේ උත්ථානය – සැක කළේ ය. 1948 දී මොර්හවුස් වෙතින් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් ඔහු 1951දී ක්රොසර් දේවධර්ම සෙමනේරියෙන් දේවධර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද 1955 දී බොස්ටන් සරසවියෙන් ආචාර්ය උපාධියක් ද දිනා ගත්තේ ය. 1953 දී කොරෙටා ස්කොට් සමඟ විවාහ වූ ඔහුට දාව දරුවෝ සිදෙනෙක් වූහ. 1954 වසරේ එනම් වසර 25 දී හේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ටිගොමරි හි ඩෙක්ස්ටර් පටුමඟ බැප්ටිස්ට් පල්ලියේ පාස්ටර්වරයා ලෙස පත්වීම් ලද්දේ ය.
මේ සමයේ අමෙරිකාවේ වර්ණභේදය තදින් පැවැතිණි. ඒ ගැන මනා චිත්‍රයක් කොන්ද්රෂොව් මෙහි ඉදිරිපත් කරයි. නාගරික ප්‍රදේශවල සුදු මිනිසුන්ට වැඩි අවස්ථා හිමි වූ අතර කල්ලන් සැලකුණේ දෙවැනි පන්තියටත් වඩා පහළ පන්තියක අධම ගණයේ පුරවැසියන් ලෙස ය. ඔවුන් ජීවත් වූයේ ගෙටෝ නමින් හැඳින්වුණු මුඩුක්කු නිවාසවල ය. අඩුම තරමින් පොදු ප්‍රවාහන සේවාවල අසුනක්වත් කල්ලන්ට නොලැබුණි. කල්ලකු ආසනයක හිඳ සිටියේ නම් සුද්දකු එතැනට පැමිණි විගස නැඟිට අසුන පිරිනැමිය යුතු වීය. රෝසා පාර්ක්ස් නමැති කළු කතක් නැඟිටුවා අසුන සුද්දකුට ලබා දෙන්නට කොන්දොස්තරවරයකු ගත් උත්සාහයකදී එයට අකීකරු වූ එම ස්ත්‍රිය බසයෙන් ඇද දමා අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් කරන්නට සුද්දෝ පියවර ගත්තෝය. ඒ 1955 දෙසැම්බර් මාසයේ ය.
කල්ලන් මීට එරෙහිව ගත් පියවර වූයේ බස්වලින් නොගොස් පයින් සහ බයිසිකල්වලින් ගමන් පහසුව සලසා ගැනීමයි. දින 385ක් පුරා පැවැති මේ වර්ජන කාලය තුළ කල්ලෝ ශාරීරික අපහසුව විඳ ගනිමින් සුද්දන්ගේ ප්‍රවාහන සේවා වර්ජනය කොට ඔවුන්ට පාඩමක් ඉගැන්වූහ.
පොදු ජන නායකයකු ලෙස ආචාර්ය මාටින් ලූතර් කිං මතු වන්නේ මේ වර්ජනයෙනි.
මෙයින් පසු සුද්දෝ ඔහු සිය පොදු සතුරකු ලෙස සැලකූහ. ඔහුගේ නිවෙසට බෝම්බ ගසන ලද අතර කූ ක්ලක්ස් ක්ලෑන් (KKK) නමැති කළු විරෝධී සංවිධානය ඔහු මරන්ට සැලසුම් කළේය. තමාට මරණය අත වනන බව දැන දැන කිං වර්ණභ්දවාදයට එරෙහි සටන අතහැරියේ නැත. බස් වර්ජනයට නායකත්වය දීම නිසා එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔහුගේ මානසික තත්ත්වය කොන්ද්රෂොව් විස්තර කරන්නේ මෙසේ ය:
‘මේ අත්දැකීම් සහිත තරුණයා කෙතරම් නින්දා සහගත තත්ත්වයකට පත් වී ද යත්, දිවා රෑ දෙක්හිම නිරන්තර අපවාදයේ හා තර්ජනවල ඉලක්කය බවට පත්වීද යත්, වර්ජන ව්‍යාපාරය ආරම්භ කොට සති හයක් ඇතුළත ඔහු ස්නායු ශක්තිය බිඳ වැටීමේ සීමාව කරා ළං වූයේ ය. තර්ජනාත්මක දුරකතන ඇමතුමෙන් පසුව හේ මුළු රැයම නිදිවර්ජිත විය.”මට බයයි” නිසල ටෙලිෆෝනය අසල ගත කළ කාලය තුළ හේ සිතී ය. ”මිනිස්සු මගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා, මම ඔවුන් ඉදිරියේ ශක්තියක් ධෛර්යයක් නැතිව සිටියොත් ඔවුන් ද අධෛර්යයට පත් වනවා. එහෙත් මා මගේ ශක්තියේ අවසාන සීමාවට පැමිණ සිටිනවා. මා තුළ කිසිදු ශක්තියක් ඉතුරු වී නෑ.’ ඒ් රැයේ ඔහු තුළ පිළිසිඳ ගත් දුෂ්කර එහෙත් අචල විශ්වාසය පසු කලෙක ඔහු මතකයට නඟයි. ”යුක්තිය සඳහා නැඟී සිටිනු! සත්‍යය සඳහා නැඟී සිටිනු! දෙවියෝ සදාකාලිකවම ඔබ සමඟ සිටිනු ඇත.” ’
කිංගේ නායකත්වයට සුදු පාලකයින්ගේ ප්‍රතිචාර මෙලෙස ය:
‘…..1956 පෙබරවාරි 10දා රාජ්‍ය කොලිසියමේ (State Coliseum) විශාල වර්ණභේදවාදී රැස්වීමක් පවත්වන ලදී. මෙහි කථිකයන් අතර උග්‍ර වර්ණභේදවාදියකු වූ මිසිසිපි සෙනේට් සභික ජේම්ස් ඊස්ට්ලන්ඞ් ද විය. රැස්වීමේදී බෙදාහරින ලද පත්‍රිකාවක කොටසක් මෙසේ ය: ”සියලුම සුද්දන් ඇතැම් අයිතිවාසිකම් සමඟ සමානව මවනු ලැබ ඇති බවත්, එම අයිතිවාසිකම් අතර ජීවිතය පිළිබඳ නිදහස සහ නීග්‍රෝ මිනිසුන් ලුහුබැඳ යාම ඇති බවත් අපි දනිමු……මගේ මිත්‍රවරුනි අප මේ කළු යකුන්ට මෙය දැනුම් දෙන්නට හොඳම කාලයයි. උන් උන්ගෙ කළු තොල් නෙරවාගෙන අපේ පාරවල් දිගේ එහාට මෙහාට ඇවිදින තොරතෝංචියක් නැති ඝෝෂාකාරයො. මේ අප්‍රිකානු මිනී මස් කන්නන්ට උදව් කිරීම අපි නැවැත්තුවෙ නැත්නම් වැඩිකල් නොගොස් එක දවසක අපි නින්දෙන් නැඟිටින කොට රෙවරන්ඞ් කිං ධවල මන්දිරයේ ඉන්නව අපිට දකින්නට ලැබෙයි.”
1968 අප්‍රේල් මස 04 දා වෙඩි තබා ඝාතනය කරනු ලැබීමෙන් එවකට 39 හැවිරිදි වියේ වූ ආචාර්ය මාටින් ලූතර් කිංගේ විප්ලවීය ක්‍රියාකාරකම් අවසානය කරා ළඟා විය. එදා ජේම්ස් ඊස්ට්ලන්ඞ්ලාගේ පාලක පැලැන්තියට අවශ්‍ය වූයේ ඝාතනය කොට ඔහු අභිබවනය කරන්නට ය. එහෙත් අතේ ගල් කැටයක් හෝ නොමැතිව සිටි ගාන්ධි දර්ශනය අනුගමනය කළ මේ අහිංසක විප්ලවවාදියා ඝාතනයෙන් වුව එසේ කළ නොහැකි වූ බව දැන් ඔප්පු වී හමාර ය. ඉන් වසර 41කට පසු ඔහු හෙළි පෙහෙළි කොට දුන් මඟ දිගේ ආ බරක් හුසේන් ඔබාමා 2009 ජනවාරි 18දා අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කළු සම්භවයක් ඇති ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේ ය.
කොන්ද්රසොව්ගේ කෘතිිය හුදෙක් ආචාර්ය කිංගේ චරිතාපදානයම නොවේ. මාධ්‍යවේදියකු ලෙස ඔහු අභීතව සහ අපක්ෂපාතී ලෙස කරුණු රැස් කර ඒවා පාඨකයාගේ ප්‍රයෝජනය පිණිස ගොනු කරයි. එෆ්බීඅයි ඒජන්තවරුන් තමා පසු පස හඹා එද්දී කල්ලන් විසූ පෙදෙස්වලට ගොස් ඔහු කළ තොරතුරු රැස් කිරීම ආදර්ශයට ගත යුත්තකි.
The Life and Death of Martin Luther King හි සිංහල අනුවාදය වන මේ කෘතිය මොස්කව් නුවර ප්‍රගති ප්‍රකාශක මන්දිරය වෙනුවෙන් පියසේන මානිල්ගම විසින් කරන ලදුව 1987 වසරේ එම ආයතනය විසින් මුද්‍රණයෙන් නිකුත් කරනු ලැබ තිබේ. ඉහත උධෘත ගත්තේ එයිනි.