“ළමය, ඔය පින් ගොනා ගාලෙන් එළියට පන්නල දාල කඩුල්ල වහපං. නැත්තං මිනිස්සු කියාවි මම පින් ගොනත් අයිති කරගෙන කියල.”
කඹ කෑලි ටික කරේ දමාගෙන ගෙදර යන්න හැරෙන ගමන් කළු ගම්බාරෙ, දාසට කිව්වා.
දිග රිටක් උස්සගෙන හරක් ගාල තුළ වට කීපයක් පින් ගොනා පස්සෙන් ඇවිදල, ගාලෙන් පිට කිරීමට ඔහු සමත් වුණා. ගොනාගෙ පිට මැදට වැදුණු පහරෙ වේදනාවට වලිගය උස්සාගෙන වැව් පිටිය මැදට දුවල ගිහිල්ල නැවත ගාල පැත්තට හැරිල නැවතුණේ, අඹු දරුවො එක්ක රැය ගත කිරීමට ඉඩ නොදී තමා පලවා හැරීමට හේතුව අහන්න වගේ. වතුර සිඳී යන වැව ඉස්මත්තෙ මඩ කඩිතිවල පිය මනිමින් සිටිය ලිහිණි රංචුවක් වියනක් වගේ අහසට නැඟී නොපෙනී යද්දී, දාස ඒ දෙස බලා සිටියා. රත්පැහැ ගැන්වුණු බටහිර අහසෙ වලාකුළු අතරෙ සැඟවී යන හිරු දිස් වෙන්නේ ඡායාවක් වගේ. ගාලෙ ඉඳිකඩය වහල දාල, දාස නොපෙනී ගියාට පස්සේ, පින් ගොනා හෙමින් සීරුවෙ අඳුර අතරින් ඇවිදගෙන ඇවිත් ගාලෙ වැට අයිනට හේත්තු වෙන්න ලැග්ගා.
කළු ගම්බාරෙගෙ නිවහන වැව් පිටියට යාබදව ඉදි කරගෙන තියෙන්නෙ තමන්ගේ එළ හරක් පට්ටිය නිසා. දිනපතා පාන්දරින් කිරි දොවාගෙන නගරයට ගෙන යන ඔහු, නිවසට අවශ්‍ය දෑ මෙන් ම කඹ, කිරි මුදවීම පිණිස හට්ටි ඇතුළු අනෙකුත් දේවල් අරගෙන වැව් පිටිය හරහා වැටුණු අඩිපාර දිගේ බයිසිකලය පැදගෙන නිවෙසට එන්නේ දවල් දොළහට විතර.
ගෙදර එන අතරමඟ, තණ කමින් ඉන්න තමන්ගේ හරක් රංචුව දිහා ඔහු විපරමින් බලන්නෙ ආඩම්බරයෙන්. කන් දෙක පහතට හෙළාගෙන තණ උලා කමින් සිටින පින් ගොනා ඔහුගේ නෙත ගැටුණා. ඒ එක්කම පදිමින් සිටි බයිසිකලය ඉබේට ම නතර වුණේ පය බිම තබන ගමන්. ඉලන්දාරි වයසේ ඉන්න පින් ගොනාගෙ පිටට ඉර එළිය වැටිල කළු පාට මයිල් දිළිසෙනවා. ඔහුට නිරාවරණය වෙලා තියෙන දකුණු පැත්තෙ පිට පුරාම, වස්සා කුඩා කාලයේදී අඟුරු කොක්කකින් පුච්චපු “පින්” යන අකුර, විශාල වෙලා අලුතින් වැඩීගෙන එන මයිල්වලින් වැසී තියෙන්නේ රටාවක් මවමින්. පින් ගොනා තමන්ගේ හරක් පට්ටිය බින්න බැහීම ගැන ඔහුගේ හිතේ සතුටක් ඇති වුණත්, ඉළන්දාරි වයසේ ඉන්න ජවසම්පන්න ගොන් වස්සා දැක්කම ඔහුගේ හිතේ ඇතිවන්නේ සියුම් ඉරිසියාවක්. අල්ලපු ගමේ හරක් ගම්බාරයෙක් පිනට අත හැරපු ගොන් වස්සා පැටිය කාලයේදී තමන්ගේ හරක් පට්ටියට එකතු වුණාට ඔහු ඒ ගැන එතරම් සැලකිලිමත් නොවුණත්, අනුන්ගේ පින් ගොනෙක් ඔහුගේ ගවයන් සමඟ විසීම ඔහුගෙ හිතට මදිකමක් වෙලා.
“මම පරම්පරාවෙන් ම හරක් ගම්බාරයෙක්. ඒත් මට තවම බැරි වුණා පිනට කියල ගොන් නාම්බෙක් අතහරින්න. අන්න “කළු ගම්බාරයාගේ පින් ගොනා” කියල මිනිස්සු කියන දවසක් මටත් ඇති කර ගන්න ඕන.”
යන සිතිවිල්ල තමන්ගෙ හිතේ පැලවෙද්දි බයිසිකලය පදින්න පටන් ගත්තා. ගෙදරට ළඟා වන තෙක් ම කළු ගම්බාරෙගේ හිතේ වැව්නේ “පින්” යන අකුර පිට දෙපැත්තෙ බැබළෙන, තමන්ගෙ ම කියල “පින් ගොනෙක්” වැව් පිටියෙ තණ කමින් ඉන්න ආකාරය.
“කවද්ද හාමිනේ මේ මාසෙ පසළොස්වක පෝය ? ඉස්තෝප්පුවෙ ලණු ඇඳට බර වෙන ගමන් කළු බණ්ඩෙ ඇහුවා.
“මම හිතන්නේ විසි ගණන්වල ” කියමින් ඇය බිත්තියෙ එල්ලා තිබූ කැලැන්ඩරය දෙසට පිය මැන්නා.
“පෝය තියෙන්නෙ විසි අට. ඇයි මොකක් හරි ගමනක් යන්න ද?
“නැහැ. ඊට වැඩිය වැදගත් වැඩක්.” කියමින් ඔහු නිහඬ වුණා.
වැදගත් වැඩය කුමක් ද යන්න පිළිබඳව ඇය වැඩිදුරටත් විමසන්න නොගියෙ කුමන අවස්ථාවක හෝ ඔහු විසින් ම ඇයට එය පවසන බව දැන සිටි නිසා.
“දාස, ඩිංගකට මෙහාට ඇවිල්ල පලයං.”
“ඇයි ගම්බාර මහත්තය ?” දාස ඇඳ අසලින් හිටගත්තා.
“ඔන්න හෙට ඉඳල උඹට තව රාජකාරියක් තියනව.”
“ඒ මොකක්ද ගම්බාර මහත්තය” දාස එහෙම ඇහුවෙ වැඩි කැමැත්තකින් නොවෙයි.
“උඹ හෙට ඉඳල ම අර සුදුපාට හවරිය තියෙන ගොං වස්සා සතියකට සැරයක්වත් නාවන්න ඕන. හොඳට කිණිතුල්ලු කඩල පිරිසිදු කරලා රෑට හරකුන්ගෙන් වෙන් කරලා බැඳල තියාපං. ඇට මැස්සො එල්ලෙනව නං අර මඩුවෙ තියෙන කොහොඹ තෙල් බෝතලේ ගෙනිහින් රෙදි කෑල්ලක ටිකක් පොඟවල ඇඟ පුරාම අතුල්ලපං. ඔය උස නැති පලු ගහක් බලල පලු අතු ටිකක් කපල දීපං ටිකක් වස්සගෙ ඇඟ සනීප වෙන්න.”
අලුත් රාජකාරිය ගැන ප්‍රශ්නාර්ථයන් රාශියක් දාසගෙ හිතේ ඇති වුණා.
“ඇයි ගම්බාර මහත්තයා වස්ස කාදර් මුදලාලිටවත් විකුණන්න ද?
“කාදර්ට විකුණන්න ? මම තෝ හම ගහනව බලා ගනිං. ඔය වගේ කතාවල් මේ ගෙදර හරියෙ ආයිමත් කිව්වොත්. තෝ අහල තියනවද බොල කළු බණ්ඩලගෙ පරම්පරාවෙ එකෙක්වත් මස් කඩේට හරක් විකුණලා තියනව කියලා? තොට කියපු වැඩේ කරපිය මගෙන් පාර දෙක තුනක් නොකා” කියාගෙන කළු ගම්බාරෙ හුන් තැනින් නැඟිටින විටත් දාස නිෙවස පිටුපසට දුවලා.
දහවල් ආහාරයෙන් පස්සෙ ඉස්තෝප්පුවෙ ඇඳට වැටුණ ඔහු නින්දෙන් ඇහැ ඇරුනෙ බිරියගෙන් ලැබුණු තේ කෝප්පය දෙස බලාගෙන.
“අද උඹලත් යමල්ල හැන්දෑවට පන්සලට. මට හාමුදුරුවොත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා.”
බිරිය මොහොතක් කළු ගම්බාරෙගෙ මුහුණ බලාගෙන ඉඳල ගෙට රිංගුවෙ පන්සලට යන්න සූදානම් වෙන්න.
ගිලන් පස එක්ක මුදවපු කිරි හට්ටියක් සහ මල් වට්ටියක් අරගෙන වැව් පිටිය අයිනෙන් වැටුණු අඩිපාර දිගේ තම හාම්පුතා බිරිය සමඟ යනව බලාගෙන හිටපු දාස වැව් පිටිය පැත්තට හැරුණේ හැන්දෑවේ තමන්ගේ රාජකාරිය ඉටු කරන්න.
“කළු ගම්බාරෙ ඔය පැදුර එළාගෙන වාඩි වුණා නම්”
පන්සලේ නායක හාමුදුරුවො හඬ අවදි කරද්දි බිරිය පැදුර අරගෙන හාමුදුරුවන්ගෙ ආසනයට අඩි කිහිපයක් ඉදිරියෙන් බිම එළා ගත්තා.
“ඉතිං කළු ගම්බාරෙ කොහොම ද වාස දේසෙ? හරක බානට කන්න වැව් පිටියෙ තණකොළ එහෙම තියෙනවද? පහුගිය කාලෙ පෑව්වත් නෙව.”
නායක හාමුදුරුවො කතාව ආරම්භ කළේ කළු ගම්බාරෙට අදාළ මාතෘකාවකින්.
හරක් පිළිබඳව ලොකු හාමුදුරුවො කතා කරපු එක ගැන ඔහුගේ හිතට සියුම් සතුටක් දැනුණා.
“අපේ හාමුදුරුවනේ මගේ ලොකු ආසාවක් තියනවා හරක් පට්ටියෙහි ගාලෙයි තියන අපල, ඇස් වහ කට වහ දුරු වෙන්නත් එක්ක මගේ හරක් පට්ටියෙන් ගොන් නාම්බෙක් පිනට අතාරින්න”. බුලත් වට්ටිය කනප්පුව උඩ තියද්දිම ඔහුගේ මුවින් එළියට පැන්නෙ සිත තුළ තෙරපෙමින් තිබුණ කාරණාව.
“කොච්චර හොඳද, කළු ගම්බාරෙගෙ පරම්පරාව මම නොදන්නවැයි. කවදාවත් හරකෙක් කඩේට විකුණලා නැහැ නේ. වයසට යන හරක් වුණත් ඔය වැව් පිටියෙ ම නෙව මියැදෙන්නෙ. ඉතින් හොඳ දවසක් බලල ඒ කටයුත්ත සූදානම් කරන්න.
සෙත් පිරිත් ටිකක් එහෙම කියල, මල් පහන් පූජා කරල ඒ වැඩේ කරමු.
“එහෙමයි හාමුදුරුවනේ. මේ මාසෙ පාළොස්වක පෝයට යොදා ගත්ත නම් හොඳයි කියල මට හිතෙනවා.”
“හොඳා, පෝය තියෙන්නෙ විසි අට වෙනිදා. උදේ දහයට එකොළහට වගේ අපි ඔය පින්කම තියාගමු. එදාට ගොන් වස්සත් පන්සලට දක්කගෙන ම ආවනම් තමයි හොඳ. අර දාස දරුවත් තවම ඉන්නව නෙව උදව්වට?
“එහෙමයි අපේ හාමුදුරුවනේ. මම ලබන පෝයට ම පින්කම සූදානම් කරන්නම්.”
කළු ගම්බාරෙයි බිරියයි දෙන්න ලොකු හාමුදුරුවන්ගේ දෙපා නැමැද පන්සලෙන් නික්මුණේ තීරණය කරගත් පින්කම පිළිබඳව ඉහ වහා ගිය සතුටින්. පසුව දා ඉඳලම දාසගෙ රාජකාරිය පටන් අරගෙන. කළු ගම්බාරෙ ඒ ගැන විමසිලිමත් වුණත්, දාසට උපදෙස් දෙන්න නොගියේ ඒ කටයුත්ත හරියට ම ඉටුවන නිසා.
හරක් ගාල රැක දුන්න වැටට හිටවපු, දිරා ගිය ලී කණු වෙනුවට අලුත් අරටු කණු ඇවිල්ලා. දාස ඉඳි කඩය අලුත්වැඩියා කරද්දි ගාලට අඩි දහයක් පමණ ඉදිරියෙන් පහනෙ ආලෝකය ගාලට පේන්නම ‘මංගර දෙවියන්ට’ පහනක් පත්තු කරන්න. පහන් පැලක් ඉදි වෙලා. දාසගේ සාත්තු සප්පායම්වලින් නිදහස සීමා වෙච්ච ගොං වස්සගෙ සිහිය විකල් වෙලා වගේ, දාස ළඟට එන විටත් පුප්පනවා.
“ගම්බාර මහත්තයො ‘හවරිය’ දැන් වෙනදාට වැඩිය ගණන්කාරය වෙලා. මම ළඟට එන කොටත් පිඹිනවා. දැන් වැස්ස හැඩ වෙලා වෙනදාට වැඩිය සනීපයි.
“ඔය ඉතිං උඹගෙ සාත්තුවත් එක්ක. මංගර දෙවියන්ගෙ බැල්මට දාසයො. ගොන් වස්සො පිරිසිදුවට ඉන්න කොට දෙවියන්ගෙ බැල්ම හෙළනව. ඌට වුණත් පින්කම ගැන දැනිලත් ඇති.”
තම හාම්පුතාගෙ ඇගයීම ගැන දාස සිත යටින් සතුටු වුණා.
දාසයි, කළු ගම්බාරෙයි, බිරියයි එකතු වෙලා හරක් ගාල පුරාම, විසිරී තිබුණ වියළි ගොම එකතු කර ගාලෙන් පිට, එක තැනකට එකතු කළා. පින්කමට තව දින කීපයයි. වෙනදාට වඩා තුන් දෙනාගෙම සිහිනය වෙලා තියෙන්නෙ පින් ගොනාගෙ පිංකම.
පසළොස්වක පෝය දිනයේ කළුබණ්ඩෙගෙ නිෙවස උදේ පාන්දර පටන් ම කාර්යබහුල වෙලා.
හඳුන් කිරිපැන් හට්ටියක් අරගෙන උදේ හයටත් ඉස්සරවලා ඔහු හරක් ගාලට පිය මැන්නා. පළමුවෙන්ම මංගර දෙවියන්ගෙ පහන් පැල වටේටත්, ගාල අවටත්, ගාල තුළ නින්දට වැටී සිටි හරක් අතරත්, ඇවිදිමින් හඳුන් කිරිපැන් ඉස්සා. සීතල වතුර ඇඟ මත පතිත වෙද්දී, නින්දෙ හිටපු වැස්සියො ඒ මේ අත දුවන්න ගත්තත් ගාල වටා තිබුණ ශක්තිමත් වැට එයට ඉඩ දුන්නේ නැහැ. පින්කමේ සූදානමත් එක්ක හරක් ගාල පිරිසිදු කර එකලාසයක් කර ගැනීමට හැකි වීම ගැන ඔහු යටි සිතින් සතුටු වුණා.
උදේ දහය හමාර වන විට කළු ගම්බාරෙ පෙරටු කරගත් බිරිය සහ දාස වැව් පිටිය දිගේ පන්සලට පිය මැන්නෙ මල් පහණ ගිලන්පස ඇතුළු අනෙකුත් සියලු දෑ අතැතිව. කිසිවක් නොදත් ගොං වස්සා ද තමන් බැඳ සිටින කඹය අල්ලාගෙන ගමන් කරන දාස පිටු පසින් ගමන් කළේ දින පතා ලැබුණ පලු අතු බලාපොරොත්තුවෙන්.
උදේ පාන්දර සිල් ගත්ත සිල් ඇත්තන් වෙනුවෙන් ධර්ම දේශනාව අවසන් කළ නායක හාමුදුරුවො ධර්ම ශාලාවෙන් පන්සලට වඩින විටත්, කළු ගම්බාරේ ඇතුළු කණ්ඩායම පින්කමට සූදානමින් පන්සල ඉදිරිපිට රැඳී සිටිනවා.
“ඉතින් ගම්බාරෙ, පින්කමට ලෑස්ති ද”?
“එහෙමයි අපේ හාමුදුරුවනේ.” ඔහු ලොකු හාමුදුරුවන්ගේ දෙපා නමැදිමින් කිව්වා.
ගොන් වස්සා පිනට මුදා හැරීම වෙනුවෙන් බුදු මැදුර තුළ වතාවත් අවසන් වීමෙන් පසු ලොකු හාමුදුරුවන් ඇතුළු කණ්ඩායම එළියට බැස්සා.
“කෝ ගම්බාරෙ ගොන් වස්ස? ඒ සතාටත් පිරිත් පැන් ටිකක් ඉස්ස නම් හොඳයි නේද?”
“එහෙමයි අපේ හාමුදුරුවනේ. අර වත්තෙ පොල් ගහක බැඳල ඉන්නෙ.”
“ආ ඔය ඉන්නෙ දාස ළමයත් එක්කම සූදානමින්. මොකද්ද ගම්බාරෙ අර ගිනි මැලයක් පත්තු වෙන්නෙ වස්ස ළඟ?
ලොකු හාමුදුරුවො එහෙම ඇහුවෙ කුතුහලයෙන්.
“අපේ හාමුදුරුවනේ ඔය අඟුරු කොකු දෙකක් රත් කරනව, වස්සගෙ පිට දෙපැත්තෙ ‘පින්’ කියල හං අඩයාලම තියන්න.”
ඒ වචන ටික ලොකු හාමුදුරුවන්ගේ කන් වලට එතරම් ගෝචර වුණේ නැහැ. නොදැනුවත්වම උන් වහන්සේගේ සුරත ඉහළට එසවී ඇඟිළි තුඩුවලින් සිරස පිරිමැදීමට පටන් ගත්තා. කෙටි නිහැඬියාවකට පසු ලොකු හාමුදුරුවො මුව විවර කළේ හැඟීම් බරව.
“ගම්බාරෙ ඒ ගැන තව ටිකක් හිතල බැලුවොත් හොඳයි නේද? ඒක ලොකු වේදනාවක් නෙව ඔය සතාට. සත්ව හිංසාවක්. පිනට අතෑරිය කියල ඇයි අපි මේ සතාට අපි වද දෙන්නෙ?
නායක හාමුදුරුවො කතා කළේ තරමක් නොසතුටින් සහ හැඟීම්බරව.
මඳ වේලාවක් නිහඬව සිටි ගම්බාරෙ ලොකු හාමුදුරුවන්ට පිළිතුරු දුන්නෙ නොසතුටින් වගේ.
“ඉතින් අපේ හාමුදුරුවනේ ඒක නැතුව කොහොමද මිනිස්සු දැන ගන්නෙ මේ වස්ස පිනට අතෑරපු සතෙක් කියල.”
“මිනිස්සු දැන නොදැන ගැනීම එච්චර වැදගත් නැහැ ගම්බාරෙ. ඔය සතාව අඟුරු කොකුවලින් පුච්චල වද දෙන එකට නම් මට එකඟ වෙන්න බැහැ.”
“ඉතින් අපේ හාමුදුරුවනේ ඔය ‘පින්’ ගොන්ගෙ ඔක්කොගෙම ‘පින්’ කියල පිට දෙපැත්තෙම “හං අඩයාලං’ පුච්චල තියනව නේ. ඒ විතරක් නෙමෙයි. මම දන්න කාලෙ ඉඳල මගේ පරම්පරාවෙ කවුරුත් හරකුන්ගෙ කුර ලෙඩ, දිව කටුව කන එක, පණු අමාරු, අඩප්පෙ, වලිග කටුව කෑම වගේ ලෙඩවල් ඔක්කොම සනීප කරන්නෙ ඇඟ පුරාම හං අඩයාලං, යන්තර, පුච්චල නේ. ඒව පාරම්පරික වෙදකම් නෙව අපේ හාමුදුරුවනේ.”
“ඒක හැබෑ වෙන්න ඇති ගම්බාරෙ, මේ වස්සට අසනීපයක් නැහැ නේ. මට නම් මේකට එකඟ වෙන්න බැහැ. තරහ වෙන්න එපා.” යි කියමින් උන්වහන්සේ පන්සල දෙසට හැරුණා. පොහොය දිනයේ අත්විඳීමට ලැබුණු අනපේක්ෂිත මත ගැටීම සමනය කර ගැනීමේ අදහසින් ලොකු හාමුදුරුවො පන්සලේ ආලින්දයේ හාන්සි පුටුවට බර වුණා. දීර්ඝ කලක සිට තමන්ට ඇප උපස්ථාන කරන, පන්සලේ ප්‍රධාන දායකයෙකු ද වන කළු ගම්බාරෙගෙ සිත රිදීම පිළිබඳව නායක හාමුදුරුවන්ගේ සිතට දැනුනෙ ඔහු ගැන අනුකම්පාවක්. සූත්‍ර පිටකය මෙන්ම පන්සිය පනස් ජාතකය පුරාමත් උන්වහන්සේගේ මනස දිව ගියේ කොතැනක හෝ කළු ගම්බාරෙ කෙනෙකු සිටියේ ද යන්න සොයමින්.
පියවි සිහිය එළඹ ගැනීමට මෙන් මඳ වේලාවක් නිහඬව සිටි ගම්බාරෙ ද පන්සල් වත්තෙන් පිට වී නිෙවස දෙසට පිය මනින්න පටන් ගත්තේ බිම බලාගෙනම. බලාපොරොත්තු සුන් වූ බිරියද නිහඬව ඔහු පිටුපසින් ගමන් කළා.
සිදු වු කතා බහ පිළිබඳව කිසිවක් නොදැන හිටි දාස, ගොන් වස්සා ද දක්කාගෙන පිටු පසින් ගමන් කළා. හාම්පුතා නිෙවසෙහි ඉදිකඩයෙන් ඇතුළු වීමට පෙර දාස මුව විවර කළා.
“ගම්බාර මහත්තය අදත් හවරිය නාවන්නෙයි?
ඒ වචන ටික කන වැකීමත් සමඟම කළු ගම්බාරෙ ආපසු හැරුණා. ගෙලෙහි බැඳ තිබූ කඹය සියතට ගත් ඔහු වස්සාගේ හිස කිහිප විටක් පිරිමැද කඹයෙන් මුදා හැරියා.
තමන් නිදහස් වූ බව දැනගත් වස්සා, ඈත වැව් පිටියෙහි තණ බුදිමින් සිටින තම මවුපියන් අතරට දුවන්න පටන් ගත්තේ ඉමහත් සතුටින්. ඒ දෙස බලා සිටි දාසගේ මුවගට සිනාවක් එක් වුණේ” හවරියා සැබවින්ම පින් ගොනෙක්” බව ඔහු දැන සිටියා වගේ.
සුනිල් රත්නායක – දෙවිනුවර