අප පාකිස්තානයට ගොඩ බැස්සේ අයිස් කැට වැහි වැටෙන දවසකය. අපට නවාතැන් ලැබුණු ඉස්ලාමාබාද් නුවර මැරියට් හෝටලයේ සිටි විදේශිකයන්ට මෙන්ම ස්වදේශික පාකිස්තානුවන්ට ද එය අසිරිමත් සිදුවීමකි. මෙලෙස අයිස් වැස්සක් වැටෙනුයේ වසර දහතුනකට පසුව බව එහි සිටි පාකිස්තානුවෝ පැවසූහ. සුපිරි හෝටලයේ ප්‍රවේශ මාර්ගවල අඟල් හත අටක් උසට අයිස් තට්ටුවක් හැදුණේය. මම එබන්දක් දුටුවේ ප්‍රථම වතාවටය.
ඉස්ලාමාබාද් නුවර පිහිටි තරුපහේ හෝටලයක් වූ මැරියට් හෝටලයේ දින කිහිපයක් ගත කරන්නට ලැබුණේ දොළොස් වැනි සාක් සමුළුව නිසාය. සමුළුවට පෙරාතුව පැවැත්වුණු කලාපයේ රාජ්‍ය විදත් මාධ්‍ය ප්‍රධානීන්ගේ සමුළුව මෙම හෝටලයේ පැවැත්වුණේ වසර 2003 ජනවාරි මාසයේ ය. මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කළේ එවක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුර හෙබවූ නිමල් ලක්ෂපතිආරච්චි සහ මා ය. මා ඒ වනවිට ස්වාධීන රූපවාහිනියේ ලක්හඬ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාය.
පාකිස්තානයේ ගත කළ දින කීපය, ජීවිතයටම අමතක නොවන අත්දැකීම් රැසක් එක් කළේය. මේ ඇතැම් අත්දැකීම් එදා කටුක ලෙස දැනුණත් අද වන විට ඉතා රසවත් මතකයන්ය.
සමුළුව සඳහා, සාක් රටවල් සියල්ලේම වාගේ නියෝජිතයෝ පැමිණ සිටියහ. මේ අය වෙනුවෙන් පාකිස්තානයේ ජාතික ගුවන්විදුලි ආයතනය සජීවී ප්‍රසංගයක් සංවිධාන කළේය. ගුලාම් අලී සහ ‘හිදිකි ඛහානි’ ඇතුළු ලෝ සුපතළ ගායක ගායිකාවොත් එහි ගීත ගායනා කළහ. එම ප්‍රසංග ආකෘතිය අරාබි ධන කුවේරයන්ගේ නැටුම් ගැයුම්පිරි සංගීත සාදමය ප්‍රීති උත්සවවලට සමානය. ප්‍රසංගය අතරතුර විවිධ රස කැවිලි සහ පානවර්ගවලින් නිරන්තර නරඹන්නන්ට සංග්‍රහ කෙරෙයි. මේ ප්‍රසංගයෙන් අදටත් මා ළඟ ශේෂවී ඇති මිහිරිතම මතකය “ගුලාම් අලි” විසින් ගායනා කරන ලද චුප්කෙ චුප්කෙ රාත දිල්..” නැමැති ගීතයයි. ස්වදේශික විදේශික සියල්ලන් මෝහනය කළ ඔහුගේ අසහාය ගායන විලාසය අදටත් සිතින් මවා ගත හැකිය.
පාකිස්තානයේ දී අපට ලැබුණේ VIP සැලකිලිය.
මේ නිසා අප යන යන තැන දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණේය. සාප්පු සවාරි ගිය ද මනරම් ස්ථානයක් දැක බලා ගැනීමට ගිය ද අප පිටුපසින් ආරක්ෂකයෝය. මෙතරම් ආරක්ෂාව තිබියදීත් මට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදු විය.
මේ ගමනට මා සූදානම් වූයේ ඉතාමත්ම කලබලයෙනි. ඒ දිනවල මා සේවය කළ ස්වාධීන රූපවාහිනියට කිසියම් උපදේශක අමුත්තෙක් පැමිණ සිටියේය. ඔහුගේ කාර්යය වූයේ ආයතනය සඳහා නව ‘සාමූහික සැලැස්මක්’ සැකසීමය. අමුත්තා වටා ගොනු වූ ප්‍රබලයන් පිරිසක් එකල මට භාරවී තිබුණු ලක්හඬ ගුවන්විදුලියේ නම වෙනස් කිරීමට යෝජනා කළහ. නම බේරා ගැනීම සඳහා මට තනි සටනක් කරන්නට සිදු විය.
උපදේශකවරයකු ලෙස නැවත සේවයට එක් වූ අසෝක තිලකරත්නයන් හැරුණු විට වෙනත් කිසිවකුට එකල එම ආයතනය තුළ හඬක් තිබුණේ නැත. ඒනිසා මගේ සටන අතිශය දුෂ්කර වූයේ ය. දිනපතාම මේ පිළිබඳ වාද විවාද පැවතිණ.
නම වෙනස් කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාව පැවැත්වුණේ කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේය. නමුත් එදිනම අපට පාකිස්තානය බලා පිටත් වන්නට සිදුව තිබිණ.
මගේ ඇඳුම් සූදානම් කිරීම සම්පූර්ණයෙන්ම බිරිඳ භාරගෙන තිබිණ. නමුත් ඇයගේ මැසිවිල්ල වූයේ පිටරට යන්නට තරම් සුදුසු සපත්තු දෙකක් මට නැති බවය. අනිවාර්යයෙන්ම අලුත් සපත්තු දෙකක් මිලදී ගත යුතු බව බිරිඳ දැඩිව කියා සිටියාය.
නම බේරා ගැනීම පිළිබඳ අපට ඇති සියලු තර්ක විතර්ක යළි වරක් කඩදාසියකට ගෙන ඒ වෙනුවෙන් කතා කරන ලෙස මම අසෝක තිලකරත්නයන්ට පවරා එදින දහවල් ආපසු ගෙදරට ගියෙමි. අසෝක තිලකරත්න මහතාගෙන් ඇමතුමක් ලැබුණේය.
“චන්දන පොඩ්ඩක් මේ සභාපතිතුමාට කතා කරන්න ඕනලු.”
සභාපතිවරයා මගේ පාසල් මිතුරෙකි. ඒ නිසා ඔහු කතා කළේ ‘මචං’ කියලාය. නම වෙනස් කිරීමේ ප්‍රශ්නය පිළිබඳව ඔහුට තිබුණේ උදාසීන බවකි.
“මචං නමේ ප්‍රශ්නෙට නම් දැන් කරන්න දෙයක් නෑ. ඒක තීරණය කරලා ඉවරයි. මෙතන වැඩි දෙනෙක් කැමතියි නම වෙනස් කරන්න.”
මට උන්හිටි තැන් අමතක විය.
“ඒකට ඉඩ දෙන්න බැහැ.”
“එහෙනම් ඉතින් උඹ ඇවිල්ල කතා කරපන්.”
“මං කොහොමද එන්නේ. එයාපෝට් යන්න තව පැය හතරයි.”
“එහෙනම් ඉතින් කරන්ඩ දෙයක් නෑ.”
සභාපතිවරයා දෑත් පිස දා ගත්තේය. මම වහාම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය වෙත පියඹා ගියෙමි.
මගේ පැමිණීමෙන් බොහෝ දෙනා කලබල වූ බවක් පෙණින. කෙසේ වෙතත් අසෝක තිලකරත්නයන් පසෙකට කැඳවාගත් මම ඔහුගෙන් මෙතෙක් සිදු වූ දේ පිළිබඳ සම්පින්ඩනයක් ලබා ගතිමි. අසෝක අයියා ඒ වෙලාවේ කිසියම් ජනප්‍රිය සිසිල් බීම බෝතලයක මූඩියක් මගේ අතේ තැබුවේය. එහි තිබුණේ E G B කියා ය.
“බලන්න පරණ නම වෙනස් කරේ නෑ. නමුත් අලුත් මූණක් දැම්මා. අපිටත් පුළුවන් එහෙම කරන්න. මං ඒක කිව්වට මේ මිනිස්සු පිළිගන්නේ නෑ”
ලක්හඩ වෙනුවෙන් විනාඩි දහයක් න්‍යාය පත්‍රයෙන් පිටත යළි ලබා දෙන ලෙස සභාපතිවරයා කීවේය. ඒ අනුව මට කතා කරන්නට අවස්ථාව ලැබිණි. මගේ කතාව ආවේගශීලී වූවා වෙන්නට පුළුවන. අවසානයේදී අප ‘ලක්හඬ’ සමඟ කියැවුණු ” අපේක්ෂාව යථාර්ථයක් බවට” යන්න වෙනුවට, රේඩියෝ අයි ටීඑන් යනුවෙන් යොදන්නට එකඟ වීමු. නමුත් මුල් නම වෙනස් කළ නොහැකි බව මම දැඩි ලෙස අවධාරණය කළෙමි. සියල්ලෝ නිහඬ වූහ. අවසානයේදී ආගන්තුක උපදේශකවරයා කීවේ ලක්හඬ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අතිශය මුරණ්ඩු පුද්ගලයෙක් බවය. ලක්හඬ නම බේරිණි.
මේ සිදුවීම පිළිබඳව මේ වන විට නම් ඇත්තේ කනස්සල්ලකි. අකැමැති ඉතිහාසයකින් බේරී අලුත් ජනප්‍රියතාවක් සොයා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ නම වෙනස් කිරීමය. එදා එයට ඉඩ දුන්නා නම් බොහෝ ප්‍රශ්න ඇති නොවන්නට ඉඩ තිබිණ.
මම හැකි ඉක්මනින් ආපසු නිවසට පැමිණියෙමි. බිරිය සපත්තු දෙකක් ගෙනැවිත් තිබුණාය. එය අතිශයින්ම නවීන පන්නයේ එකකි. කිසිත් නොකියා මම එය පය ලා ගෙන ගුවන්තොටුපළට ගියෙමි.
නිමල් සපත්තු කුට්ටම දුටුවේ ඩුබායි නගරයේදීය.
“මචං මේක මරුනේ කොහෙන්ද ගත්තේ? ”
“නිව් එරයිවල් කියලා අපේ නෝනා කිරිබත්ගොඩින් අරන් ආවේ. ලංකාවේ හදපු එකක්.”
විකාශන ප්‍රධානීන්ගේ සමුළුව අවසන ඉස්ලාමාබාද් නුවර වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමට අප කැටුව යනු ලැබූහ.
ඉන් එකක් වූයේ ලෝකයේ විශාලතම මුස්ලිම් දේවස්ථානයක් ලෙස සැලකෙන ෆයිසාල් දේවස්ථානයයි. එය සවුදි අරාබියේ ෆයිසාල් රජුගේ පරිත්‍යාගයකි. තුර්කි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තනා ඇති මෙම දේවස්ථානය එක දවසකින් නරඹා අවසන් කළ නොහැකිය.
මේ වන විට සාක් රටවල විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීහු ගජ මිතුරන් වී සිටියහ. අප සමඟ එක්ව සිටි පාකිස්තාන කාර්ය මණ්ඩලයද ඉතා සුහදය. අප ගමන් කළ බස් රථය සුවිසල්ය. එහි වැසිකිළියක් සහ කුඩා මුළුතැන්ගෙයක් ද තිබිණි. ඉදිරියෙන් හමුදාවේ ආරක්ෂාවය. පිටුපසින් පොලිසියය. රජයේ සම්භාවනීය අමුත්තන් පිරිසක් ලෙස අපි එම දේවස්ථානයට ඇතුළු වුණෙමු.
එදා තරමක වැසි දිනයකි. දේවස්ථානයේ එක් තැනක දී පාවහන් ගැලවිය යුතුය. පාවහන් ගලවා, මේස් යුගල ද ගලවා එය තුළට දැමුවෙමු. අනතුරුව රාක්කයේ තැන්පත් කළෙමු.
දේවස්ථානය මනරම්ය. එහි ඉතිහාස කතාව දීර්ඝය. එය ඒ 1969 දී ෆයිසාල් රජු පාකිස්තානයට පැමිණි අවස්ථාවක දෙන ලද පොරොන්දුවකි. 1986 සිට 1993 වනතෙක්ම ලෝකයේ විශාලතම මුස්ලිම් දේවස්ථානය එයයි. මේ වන විටත් අරාබි කලාපයෙන් බැහැර සහ දකුණු ආසියාවේ ද විශාලතම දේවස්ථානය එය වෙයි. දේවස්ථානය නරඹා, සතුටු සිතින් අප ආපසු ආවේ දෙපැයකට පමණ පසුවය.
මගේ පාවහන් යුගල තැබූ තැන ඇත්තේ මේස් දෙක පමණි. සියල්ලෝ පුදුම වූහ. අප භාරව සිටි පාකිස්තාන නිලධාරීන්ට පොළව පලාගෙන යන්නට හිතෙන්නට ඇත. මෙතරම් ආරක්ෂාවක් තිබියදීත් මගේ සපත්තු දෙක හොරකම් කරලාය. අනෙක් හැමෝගෙම පාවහන්වලට කිසිදු අනතුරක් සිදුවී නැත. මම මේස් දෙක සාක්කුවේ දා ගත්තෙමි. නිරුවත් දෙපයින් බස් රථය තෙක් ඇවිද ආවෙමි.
ටික වෙලාවක් ගතවන විට මගේ සපත්තු දෙක නැතිවීමේ සිද්ධිය ප්‍රබන්ධ කතා රැසකට මුල් විය. රසවත්ම කතාව නිර්මාණය කළේ ඉන්දියාවේ දූර්දර්ශන් රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය. ඔහුට අනුව, හොරා, මගේ සපත්තු දෙක හඳුනාගෙන ඇත්තේ මේස් දෙකේ දුර්ගන්ධයෙනි. අනතුරුව ඔහු වම් අතේ ඇඟිලි දෙකකින් මේස් දෙක පැත්තකින් තබා සපත්තු දෙක රැගෙන ගොස් තිබේ. ඔවුහු අභිරූපණයක් සේ එම සිද්ධි දාමය නිරූපණය කළේ සියල්ලෝ සිනහගන්වමිනි.
පැයකට පමණ පසුව, බස් රථය සපත්තු වෙෙළඳ සැල් රැසක් අතර නතර විය. “Mister Chandana, you can take what ever you like”
මා ජීවිත කාලයටම මට හරි යන කිසිම ඇඳුමක් හෝ පාවහනක් තනියම තෝරාගෙන නැත. වෙෙළඳ සැලේ සේවකයකු අමතා මට හරියන එකක් දෙන්නැයි කීවෙමි.
පාකිස්තාන රජයේ වියදමින් ලැබුණු ඒ සපත්තු දෙක නැති වූ සපත්තු දෙකට වඩා ශක්තිමත්ය. ලස්සනය. කොයි දේ වෙන්නේත් හොඳටය.