Home » නවවැනි විධායක ජනාධිපති ධූරය දක්වා මාලිමාව ආ ගමන් මඟ

නවවැනි විධායක ජනාධිපති ධූරය දක්වා මාලිමාව ආ ගමන් මඟ

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි

by gayan
September 28, 2024 12:30 am 0 comment

මෙරට පැවැත් වූ 2019 මහ මැතිවරණය අභිමුඛ වීම කර ගනිමින් ජාතික විද්වත් සංවිධානය විසින් ජාතික ජන බලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචි කළේය. එහිදි පළමුවන පියවරේ සිට ප්‍රධාන කාර්ය භාරය ඉෂ්ට කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ නම් වන වාමාංශික දේශපාලන පක්ෂය විසිනි.

ගාලු මුවදොර පිටියේදී 2019 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායකෙ කල එළි බසිනු ලැබූ අතර අති දැවැන්ත ජන සන්නිපාතයක් එම රැලියට සහභාගි වූහ. එවර පැවැති මැතිවරණයේදී අනුර කුමාර දිසානායකට සියයට 3.1 ඡන්ද අනුපාතයක් ලබා ගැනීමට හැකිවිය.

මේ 3% ජන අනුපාතයක සිට වසර පහක කාලයක් තුළ 53% දක්වා ගොඩනැඟුණේ කෙසේද සහ එහිදී ජාජබ අනුගමනය කළ ක්‍රියාමාර්ග කුමක්ද යන්න ජවිපෙ ඇතුළු ජාජබ වටා ඒකරාශි වූ බලවේග ඒ වෙනුවෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කළ යුතුය.

ඒ අවස්ථාව වන විට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ලෙස ටිල්වින් සිල්වා කටයුතු කරනු ලැබිණි. නව ජාතික ජන බලවේගය පක්ෂයේ පක්ෂ ලේකම්වරයා ලෙස 80 දශකයේ ජවිපෙ සමඟ කටයුතු කළ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබන නිහාල් අබේසිංහ තෝරාපත් කරගැනිණි. කෙසේ වුවත් 2019 දී මැතිවරණයට මුහුණ දෙන අවස්ථාව විට මේ පක්ෂයට නායකයෙකු සිටියේ නැත. විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ අනුර කුමාර දිසානායක මූලිකත්වයෙන් එම කටයුතු සිදු කළ අතර ජවිපෙ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ටිල්වින් සිල්වාගේ නායකත්වය ද නොඅඩුව ලැබිණි.

2020 මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය සහ විජිත හේරත් මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් විය. ඉන් පසුව 2021 දෙසැම්බර් 20 වැනි දින ජාතික ජන බලවේගය පක්ෂයට නායකත්වයක් අවශ්‍ය බව සියලු දෙනාගේ අදහස වූ අතර ඒ අනුව කොළඹ දී පැවැත්වූ ප්‍රථම ජාතික මහ සම්මේලනයේදී පක්ෂයේ නායකත්වයට අනුර කුමාර දිසානායක පක්ෂයේ සියලු පාර්ශ්වයන්ගේ එකඟතවයෙන් පත් කරගනු ලැබිණි.

ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීම දක්වා වූ දිගු ගමන ඇරඹීම සඳහා ජාතික විධායක සභාව එහිදි පත් විය. එහිදී පත් වූ මේ විධායක සභාව සහ සංවිධායකයන් ජනාධිපති සටන දක්වා සංවිධානාත්මකව ගොඩනැගුණ ආකාරය පියවර වශයෙන් කිහිපයකි. ජාජබ පිහිටු වූ දා සිට මාසිකව විධිමත්ව කරන රැස්වීම් ප්‍රමාණයක් තිබුණි. එහිදි ජාතික ජන බලවේගය සකස් වූයේ කෙසේ ද එහි පාර්ශ්වකරුවන් කවුරුන්ද යන්න පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. එහි සාමාජික පාර්ශ්වකරුවන් 28ක් පමණ විය. සාමාජික ආයතන 28ක් එකතු වී ජාජබ සකස් විය. එහි ප්‍රමුඛකාර්ය සකස් කළේ ජාතික විද්වත් සභාව විසිනි. එහි සභාපතිවරයා වූයේ මහචාර්ය චන්දන අබේරත්නය. එසේම ජන නියමු කලාකරුවෝ, ලංකා ගුරු සේවා සංගමය, ජාතික භික්ෂු පෙරමුණ, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අලුත් පියාපත් ඩා බිඳු සාමූහිකය සංවිධාන රැස් වී ඡන්ද ව්‍යාපාරය සඳහා සහය දෙනු ලැබිණී. මේ සෑම සංවිධානයකින්ම සාමාජිකයන් දෙදෙනෙකු ගෙන ජාතික මෙහෙයුම් කමිටුව සකස් කරන ලදී.

එය ජාතික ජන බලවේගයේ ඉහළින්ම පවතින කමිටුවයි. ඉන් අනතුරුව ජාතික විධායක සභාව ද ප්‍රමුඛ වෙයි. එහි සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ග නියෝජනය කරයි. එහි සාමාජිකයන් 73 දෙනෙකුගෙන් යුතු සාමාජිකයන් වෙයි. එසේම ඒ අතර විශේෂඥ වෛද්‍යවරු, ජනාධිපති නීතිඥවරුන්, විශ්වවිද්‍යාල මහචාර්යවරුන්, අනුර කුමාර දිසාන­ායක ඇතුළු දේශපාලනඥයන්, ව්‍යවසායකයන්, බැංකුකරුවන් වැනි රටකට අවශ්‍ය සියලුම සමාජ ස්තර වූහ. එසේම මේ පත්වූ 73 දෙනාට දිස්ත්‍රික් නායකත්වය ගෙන කටයුතු කිරීම පවරන ලදී. දිස්ත්‍රික් විධායක සභාව පිහිටු වීම සඳහා ජාතික සභාවෙන් දෙදෙනකු බැඟින් යොමු කෙරිණි. ඉන් අනතුරුව පවතින්නේ ආසන විධායක සභාවයි. ආසන විධායක සභාවට පහළින් පවතින්නේ කොට්ඨාස සභාවයි. මේ ජාලය ජාජබ ප්‍රාණ වායුව ලෙස හඳුන්වනු ලබයි.

අඛණ්ඩව රැස් වෙන මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයක් දරන මේ සංවිධාන ජාලය ජයග්‍රහණය දක්වා රැගෙන ගිය අතර අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ සිට කොට්ඨාස සභාව දක්වා අඛණ්ඩව මේ ව්‍යුහය ක්‍රියාත්මක කරනු ලැබිණි. මේ වසර පහ තුළ මේ ක්‍රියාදාමය රැගෙන යමින් මෙතෙක් ලංකාවේ බිහිවුණ විශිෂ්ටතම මහජන ව්‍යාපාරය සකස් කරන ලදි. මේ ව්‍යාපාර හුදු පක්ෂයක් ඉක්මවා යන එකමුතුකමේ සහ සහජීවනයේ ව්‍යාපාරයක් ලෙස ගොඩ නඟන ලදී.

මෙතෙක් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයකට සංවිධානය කර ගැනීමට නොහැකි වූ ජන තීරු සම්භාරයක් ඒකරාශි කරගැනීමට මෙහිදී සමත් විය. විශාල ජන තීරු ප්‍රමාණයක් එකතු කිරීමට හැකිවිය. නීතිවේදීන් ව්‍යාපාරිකයන් සංවිධානය මුදල් හා බැංකුකරුවන් ගුරුවරුන් හෙද හෙදි විශ්‍රාමික සියලු ක්ෂේත්‍ර නියෝජන ඒකරාශි කර ගැනීමට සමත් විය. එය සංවිධානය කර එක් තැනකට ගෙන ඒමට කටයුතු කරන ලදී. ජාතික ජන බලවේගය ජයග්‍රහණය පසුපස පවතින තවත් කරුණක් නම් මෙතෙක් මෙරට දේශපාලන පක්ෂයකට කළ නොහැකි විශේෂිත සංවිධාන තුනක් පැවතීමය.

පරිගණක අන්තර් ජාලය ආශ්‍රිත බොහෝ රැකියා නව සමාජ පර්යාය නියෝජනය කරන සමාජ තීරු නිර්මාණය වී ඇති අතර, ඒ සෑම සමාජ තීරුවක්ම ජය ගැනීමට සහ ඔවුන් ජාතික තලයට ගෙන ඒමට හැකියාව ලැබිණි. මෙතෙක් ලංකාවේ දේශපාලන පක්ෂයකට කළ නොහැකි 50,000ක ආසන්න සක්‍රීය සාමාජිකයන් කණ්ඩායමක් මේ වටා ඒකරාශී විය. විශේෂිතවම දකුණු ආසියාතික රටක මෙතරම් සංවිධානයක් පුළුල් කිරීම සුවිශේෂ කරුණකි.

සෑම බල ව්‍යුහයක් ම සංවිධානය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ තිබූ සංවිධාන ශක්තිය විශාල ලෙස මෙහිදී උපයෝගි කොට ගන්නා ලදී. ජාතික ප්‍රතිපත්ති සැකසීමේදීත් ප්‍රවීණයන් සහ දේශපාලන අත්දැකීම්වලින් පරිපූර්ණත්වයට පත්වූවන් ප්‍රවීණයන් ඒකරාශි කර ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නා ලදී.

ජාතික ජන බලවේගය පළමුවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශනය දේශයේ අපේක්ෂාව නමින් එහිදි ක්ෂේත්‍ර අටක් යටතේ කුඩා පොත් අටක් ලෙස ඉදිරිපත් කරනු ලැබිණි. මේ ක්ෂේත්‍ර අට ඉදිරියට ගෙන ජාතික ප්‍රතිපත්ති කෘතියක් ලෙස වඩා පුළුල් ලෙස ඉදිරිපත් කරනු ලැබිණි. විශේෂයෙන් බිම් මට්ටමේ සිට සියලුම දිස්ත්‍රික් සම්මේලනයක් පැවැත්විණි. සංවිධාන මට්ටම්වලින් අවශ්‍ය දේශපාලන සාක්ෂරතාව ඇති කරන ලදී. ඒ සඳහා වැඩමුළු සම්මන්ත්‍රණ ඇති කරන ලදී. පාර්ලිමේන්තුව තුළ අපේ සුළුතරය වුවත් ප්‍රජා පීඩනයට එරෙහිව අපේ කාර්යභාරය සිදුකරනු ලැබිණි.

දේශපාලන පක්ෂ, තරුණ සංවිධාන, කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 21කින් සමන්විත දේශපාලන ව්‍යාපාරයක් ලෙස 2019 දී ඇරඹුණු ජාතික ජන බලවේගය වඩාත් ප්‍රගතිශීලී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ සාමූහික දැක්මක් මඟින් මෙහෙයවනු ලබයි. සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම, නිෂ්පාදන ආර්ථිකයක ප්‍රවර්ධනය කිරීම, වගවීම සහ විනිවිදභාවය තහවුරු කිරීම, සාධාරණව සම්පත් බෙදී යෑමට, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම යනාදිය ඇතුළත්, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීම අරමුණයි. එමි සංවිධාන ව්‍යුහය, මෙහෙයුම් කමිටුවේ සිට දිස්ත්‍රික් විධායක සභා කොට්ඨාස සභා දක්වා, සෑම තරාතිරමකම පුද්ගලයන් බලගන්වන අතර, ජාතියේ ධනාත්මක වෙනසක් සඳහා බලවේගයක් ලෙස නැඟී සිටින සමඟ දීප්තිමත් හෙට දිනක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ සැබෑ වී ඇත.

මේ අනුව පාර්ලිමේන්තුවේ 222ක් එකම පාර්ශ්වයක සිටිය දී පාර්ලිමේන්තුවේ 3%ක සංයුතියක් සභාගර්භ සටන නිවැරදිව සිදුකරමින් ජනතා හිතවාදි ගමනක ජාජබ ගමන් කරනු ලැබිණි. වීදියේ සටන මහ මඟ උද්ඝෝෂණය ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා අවශ්‍යතාව වෙනුවෙන් නායකත්වය දීම අඛණ්ඩව සිදුවිය. දිනාගත නොහැකිව තිබූ ජන තීරු සංවිධානය කර ඒවායේ ආකර්ෂණය දිනාගැනීමට හැකිවිය.

මේ සියලු අවශ්‍යතාවයන් සමඟ ඉලක්කයකට නාභිගත කිරීම එක මිටකට ගෙන ජාතික පුනරුදයක් කරා ලංකාව මෙහෙය වීමේ දිර්ඝ මෙහෙයුමක් දියත් කරමින් අනුර කුමාර දිසානායක නම් වන ඔහු ජනතා අභිලාෂය ජයග්‍රහණය කරමින් මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් කරගෙන තිබෙන්නේ ජාතික පුනරුදය කරා යන ගමනට අවශ්‍ය කරන නායකයෙක් වශයෙනි.

සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් තුන එකට එකතු වී ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස පෙළ ගැසී ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම විශාල ජයග්‍රහණයකි. ජාතික පුනරුදය කරා යන ගමනට දැන් ජාජබය සූදානම්ය. තුනෙන් දෙකකට එහා ගිය ජනතා නියෝජනයක් සහිත බලයක් සහිත ආණ්ඩුවක් නුදුරේම බිහි කිරීම ජාතික ජන බලවේගයේ ඊළඟ අරමුණයි; පාර්ලිමේන්තු දේශපාලනය පවිත්‍ර කරමින් කිළිටි වී ඇති තිබූ පාර්ලිමේන්තුව පවිත්‍ර කර දේශපාලනික පරිඥානයක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගැනීම ඔවුන්ගේ ඊළඟ අරමුණයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division