Home » හතරවටෙන් ඊශ්‍රායලය මැදි කරගෙන මැදපෙරදිග ඇවිළෙන තුන්කොන් සටන

හතරවටෙන් ඊශ්‍රායලය මැදි කරගෙන මැදපෙරදිග ඇවිළෙන තුන්කොන් සටන

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

මැදපෙරදිග යුද්ධයේ මුහුණුවර වෙනස් වී තිබේ. වසරකට ආසන්න කාලයක් ගාසා තීරයේ හමාස් සංවිධානය සමඟ සටන් කරමින් සිටින ඊශ්‍රායලයේ ප්‍රබලම සතුරා බවට දැන් පත්වී ඇත්තේ ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයයි. ගාසා තීරයේ මෙහෙයුම් අතරතුරදීම ඊශ්‍රයල හමුදාව ලෙබනනය දෙසට හැරුණු උතුරු ඊශ්‍රයලයට හෙස්බුල්ලා සංවිධානයෙන් වරින් වර රොකට් ප්‍රහාර එල්ල වීම නිසාය. මේ ප්‍රහාර නිසා උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පදිංචි වී සිටි දහස් සංඛ්‍යාත ඊශ්‍රාලය වැසියන් රට තුළට පලා ගිය අතර, එය ඊශ්‍රායල රජයේ හිසරදය තවත් වැඩි කළේය. ඔවුන් නැවත පදිංචි කිරීමට නම් දකුණු ලෙබනනයේ සිට එල්ල කරන හෙස්බුල්ලා ප්‍රහාර නැවැත්විය යුතුය. සතුරා අඩපණ කළ යුතුය. යුද්ධය නව මුහුණුවරකට හැරුණේ එලෙසිනි. ගෝලීය යුද්ධයට නව තාක්ෂණය ඉහළින්ම භාවිත කළ පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් පසුගියදා ලෙබනනයේ සිටින හෙස්බුල්ලා සාමාජිකයන් සතු පේජර් හා වෝකි ටෝකී පණිවුඩ හුවමාරු යන්ත්‍ර පුපුරුවා ජීවිත 500කට වඩා විනාශ කළ ඊශ්‍රායලය දැන් දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාරවලින් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 700 ඉක්මවා තිබේ.    

යුද ගැටුම් යනු මැදපෙරදිග රටවලටම ආවේණීක ඒවාය. කාලයක් සිරියාවේ සහ ඉරාකයේ යුද ගැටුම්වලට ජීවිත දහස් ගණනින් බිලි වූ අතර, මේ වන විට ගාසා තීරයේ හා ලෙබනනයේ සිදුවෙමින් පවතින්නේ ද එවැනි තත්ත්වයකි. සවුදි අරාබිය ඇතුළු මැදපෙරදිග සෙසු මුස්ලිම් රටවලටත් හිසරදයක් බවට පත්වී ඇති මේ තුන්කොන් යුද්ධය අවසන් වන ලකුණු පෙනෙන්නටවත් නැත. අනිත් අතට හෙස්බුල්ලා සංවිධානය කවදත් ඊශ්‍රාලයේ සතුරෙකි. දශක ගණනාවක සිට ඊශ්‍රායලයේ සතුරකු බවට පත්වී සිටි මේ සංවිධානය ගාසා තීරයේ යුද්ධයත් සමඟ යළි අවදි වී සිටී. පලස්තීන ජනතාවට එල්ල කරන ප්‍රහාර නවත්වනතුරු ඊශ්‍රායලයට පහර දෙන බව කියමින් වරින් වර උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් ඊශ්‍රායලයේ උදහසට ලක්වූ හෙස්බුල්ලා සංවිධානයට මේ වනවිට එල්ල වන්නේ ඉතිහාසයේ මෙතෙක් එල්ල වූ දරුණුතම ප්‍රහාරයයි. සතුරු කඳවුරු දෙකකට මැදිවී සිටිය ද යුද ශක්තිය අතින් කිසිවකුට නොදෙවැනි ඊශ්‍රායලය මේ තුන්කොන් සටනේ මෙතෙක් කිසිදු පසුබෑමක් ද පෙන්නුම් කර නැත. දකුණින් හා උතුරින් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළ ද ඊශ්‍රායලය මෙල්ල කිරීමට ඉස්ලාම් මූලධර්මවාදය පදනම් කරගත් හමාස් සංවිධානයටත්, හෙස්බුල්ලා සංවිධානයටත් මෙතෙක් කිසිදු ආකාරයකින් හැකියාවක් ද ලැබී නැත. අනිත් අතට ජාත්‍යන්තර බුද්ධි සේවා අතින් කිසිවකුට නොදෙවැනි මොසාඩ් සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වන බැවින් තම පොදු සතුරාට එරෙහිව සිදු කරන කිසිදු මෙහෙයුමකින් ඊශ්‍රායල බලකොටුව සෙලවීමට හෙස්බුල්ලා සංවිධානයවත්, හමාස් සංවිධානයවත් මෙතෙක් සමත්වී නැත. පෙනෙන හැටියට ඊශ්‍රායලය මෙල්ල කළ හැකි ඇත්තේ ජාත්‍යන්තරයේ මැදිහත්වීමෙන් සිදුවන සටන් විරාම ගිවිසුම්වලින් හෝ සාම සාකච්ඡාවලින් හෝ පමණි. එහෙත් එවැනි ඉල්ලීමකට අවනතවීමේ සූදානමක් හෝ පුරුද්දක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට නැත. ඔහුගේ එකම අරමුණ හමාස් සංවිධානයෙත්, හෙස්බුල්ලා සංවිධානයෙත් කොඳු නාරාටිය එහෙම පිටින්ම බිඳ දැමීමය. එය දැනටමත් සිදුවෙමින් පවතින බැවින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර සතුරාට මේ මොහොතේ අවශ්‍ය වී ඇති යුද විවේකය ලබා දීමට ඊශ්‍රායලය කිසිසේත්ම කැමැති නැත.

මේ අතරතුර යේමනයේ හවුති කැරලිකරුවන්ගෙන් ද ඊශ්‍රායලයට එල්ල වන්නේ සුලුපටු අභියෝගයක් නොවන බව මැදපෙරදිග යුද විශ්ලේෂකයෝ කියති. ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පලස්තීන ජනතාවට සහාය දෙන බව කියමින් රතු මුහුදෙන් ඊශ්‍රායලය දෙසට යාත්‍රා කළ නෞකාවලට පහර දෙමින් ද, ඇතැම් නෞකා අත්පත් කරගනිමින් ද හවුති කැරලිකරුවන් හමාස් සංවිධානයට කොන්දේසි විරහිතව සහාය දෙමින් සිටී. උතුරින් සවුදි අරාබියත්, වයඹින් ඕමානයත්, බටහිරින් රතු මුහුදත් වටකරගත් යේමනයේ දැඩි ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානයක් වන හවුති සංවිධානයත් දකුණු ලෙබනනයට ප්‍රහාර එල්ල වීමෙන් පසු ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර ඉලක්ක කරමින් මිසයිලයක් එල්ල කළද, එය මැඬ පැවැත්වීමට ඊශ්‍රායලය සමත් විය.

මැදපෙරදිග යුද විශ්ලේෂකයන්ට අනුව නම් ඊශ්‍රායලය යනු යුද්ධ කිරීමටම උපන් ජාතියකි. ඒවා ඔවුන්ගේ ජානවලින්ම පැවැත එන බව කියැවේ.

අතීතයේ සිදුවූ අරාබි- ඊශ්‍රායල යුද්ධය ඊට හොඳම නිදසුන ය.

සිරියාව, ජෝර්දානය, ඉරාකය ඇතුළු අරාබි රටවල් ඒකාබද්ධව දශක ගණනාවක් තිස්සේ යුද්ධ කළත් ඊශ්‍රායලය පරාජය කිරීමට කිසිදු අවස්ථාවක හැකියාවක් ලැබී නැත. මේ සිදුවෙමින් පවතින්නේ ද එම ඉතිහාසය නැවත අලුත් කිරීමකි. අනිත් අතට මැදපෙරදිග මුස්ලිම් රටවලට මැදිවී සිටින මේ යුදෙව් ජාතිකයන්ගේ රාජ්‍යය අමෙරිකාවේ සමීපතම මිතුරා බැවින් සතුරන් මෙල්ල කිරීමට අවශ්‍ය යුදමය හා මූල්‍යමය ශක්තිය නිතැතින්ම ලැබී තිබේ. ඊශ්‍රායලයට සහාය පළ කරමින් යුද්ධයට ආධාර සපයන යුරෝපා රටවල් ද එමටය. ඊශ්‍රායලයට එරෙහිව යුද වදිමින් සිටින හමාස් සංවිධානයටත්, හෙස්බුල්ලා සංවිධානයටත් එවැනි සහායක් ජාත්‍යන්තරයෙන් ලැබෙන්නේ නැත. හෙස්බුල්ලා යනු ඉරානයේ සහාය ලැබෙන ත්‍රස්ත සංවිධානයක් ලෙස අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් ලේබල් අලවා තිබුණ ද, ඉරානය එම චෝදනාවට ප්‍රතිචාර දැක්වීමට හෝ ප්‍රතික්ෂේප කිරිමට හෝ ඉදිරිපත් වී නැත. එහෙත් කාලයක සිට ඉරානය හා ඊශ්‍රායලය අතර සීතල යුද්ධයක් පවතින බව ප්‍රසිද්ධ රහසකි. එය දෙගුණ තෙගුණ වූයේ හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මායිල් හනියේ ටෙහ්රාන් නුවරදී අබිරහස් ලෙස ඝාතනයට ලක්වීමෙනි. එය සිදු කරනු ලැබුවේ ද මොසාඩ් ඔත්තු සේවා මෙහෙයුමකින් බවට ඉරානය චෝදනා කළ අතර, තම බලකොටුවටම පැමිණ සිදු කළ මේ ඝාතනයට ඊශ්‍රායලයෙන් පළිගන්නා බවට ඉරාන ජනාධිපතිවරයා පුන පුනා ප්‍රකාශ කර තිබිණි. ඒ වන විට ජාත්‍යන්තර රටවල් පවා අනුමාන කරනු ලැබුවේ ඊශ්‍රායල – ඉරාන යුද්ධයක් ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බවටය. එවැනි අවදානමක් මෙතෙක් පෙනෙන්නට නොතිබුණද, ලෙබනනයේ සිටින ඉරාන හිතවාදී හෙස්බුල්ලා සංවිධානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අවදානම තවත් ඉහළ ගොස් ඇතැයි යුද විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. ඊශ්‍රායලය ද ඕනෑම ඉරාන ප්‍රහාරයකට මුහුණ දීමට සූදානමින් පසුවන අතර, ඊට පෙර හෙස්බුල්ලා සංවිධානය තුරන් කර දැමීම එකම අරමුණ වී ඇත. දකුණු ලෙබනනයට ඉතා දරුණු ආකාරයෙන් ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ එබැවිනි.

මේ දින කිහිපයේදීම ලෙබනනයේ මෙන්ම උතුරු ඊශ්‍රායලයේ ජනතාව ද උදෑසන අවදි වන්නේ නොනවත්වා නැඟෙන අනතුරු ඇඟවීමේ සයිරන් හඬ මධ්‍යයේය. දිනෙන් දින අලුත් වන යුද්ධයට මැදි වූ උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව අසල පිහිටි හයිෆා නුවරට හිරු උදාවූයේ හෙස්බුල්ලා සංවිධානයෙන් එල්ල වූ අලුත්ම මිසයිල ප්‍රහාරයත් සමඟය. ජනගහනය අතින් ජෙරුසලමට හා ටෙල් අවීව් නුවරට පමණක් දෙවැනි වන හයිෆා නුවර දැන් මුළුමනින්ම ජනයාගෙන් හිස් බිමකි. පෙනෙන්නට ඇත්තේ නිවාස හා ගොඩනැඟිලි සුන්බුන් පමණි. ඊශ්‍රායලය ඊයේ උදෑසන නිවේදනය කළේ හෙස්බුල්ලා සංවිධානය දකුණු ලෙබනනයේ සිට මිසයිල ප්‍රහාර 10ක් එල්ල කළ බවය. ඉන් වැඩි ප්‍රමාණයක් අයන් ඩෝම් මිසයිල නාශක පද්ධතියෙන් විනාශ කර තිබිණි. බොහෝ මිසයිල වැටී ඇත්තේ ජනයාගෙන් හිස් වූ මුඩු බිම් තීරයට ය.

ගතවූ අවසන් විසිහතර පැයේදී දකුණු ලෙබනනය හා උතුරු ඊශ්‍රායලය අතර දේශසීමාවේ දෙපසට හුවමාරු වූ රොකට් සහ මිසයිල ප්‍රහාර දෙදහසකට අධිකය. ඉන් වැඩිම විනාශය සිදුවූයේ දකුණු ලෙබනනයට බව යුද විශ්ලේෂකයො කියති. මේ අතරතුර ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල නාශක පද්ධතියෙන් විනාශ කළ ටෙල් අවීව් නුවරට එල්ල කළ මිසයිලය අසාර්ථක වූවද, නැවත එවැනිම ප්‍රහාරයක් එල්ල කරන බවට යේමනයේ හවුති කැරලිකරුවන් ප්‍රතිඥා දී ඇත. සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් එම සංවිධානයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ හමාස් සහ හෙස්බුල්ලා සංවිධානවලට සහාය පළ කරමින් තවදුරටත් ටෙල් අවීව් නුවරට මිසයිල එල්ල කරන බවය.

ගාසා තීරයේ පලස්තීනුවන්ගේ සහායට දැන් ඉරාකයේ සිටින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් ද එක්වී සිටී. ඉස්ලාමීය ප්‍රතිවිරෝධතා හමුදාව නමින් හඳුන්වනු ලබන එම සංවිධානයෙන් ද පසුගිය දෙදින තුළ ඊශ්‍රායලයේ ගෝලන් කඳුකර පළාත ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අතර, ප්‍රහාරය අඛණ්ඩව සිදු කරන බවට අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායලය ඉලක්ක කරමින් මැදපෙරදිග ඇවිළී යන මේ යුද ගැටුම් අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් රැසක් දැඩි උත්සාහයක නිරතවූවද එය මෙතෙක් සාර්ථක වී නැත. විශේෂයෙන් දකුණු ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාරයෙන් දරුවන් හා කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් විශාල ප්‍රමාණයෙන් ජීවිතක්ෂයට පත්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානයට යොමු වී තිබේ. මේ දරුණු සටන වහාම නවත්වා සාමය සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමට පසුබිම සකස් කිරීමට දින 21ක සටන් විරාමයක් කැඳවන ලෙස අමෙරිකාව ඇතුළු රටවල් 12ක් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ ඒ අනුවය. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා හවුල, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බ්‍රිතාන්‍යය සහ කටාර් රාජ්‍යය ඒකාබද්ධව එම නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගියදා අමෙරිකාවේ නිව්යෝක් නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදීය. එහෙත් ඊශ්‍රායලයේ අගමැතිවරයා සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි උණුසුම මැකී යෑමටත් පෙර ය. සටන් විරාම ගිවිසුමකට කිසිදු එකඟතාවක් නැති බවත්, උපරිම බලය යොදා හෙස්බුල්ලා සංවිධානයට පහර දෙන ලෙසත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය හමුදාවට නියෝග කළේය. ඒ සමඟම දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ හඳුනාගත් ඉලක්ක 75කට ඊශ්‍රායල හමුදාව පහර දුන්නේය.

සටන් විරාම ගිවිසුමට පිටුපෑ ඊශ්‍රායල අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගි වීමට පෙරේදා නිව්යෝක් නුවරට පැමිණි අතර, එහිදී ඔහුට රාජ්‍ය නායකයන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වූ බව ඊයේ වාර්තා විය.

ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිතව ඇති අතර, එහිදී සෙසු රටවල නායකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කවරේදැයි දැන ගැනීමට වැඩිදෙනකු කුතුහලයෙන් යුතුව පසුවන බවත් වාර්තා විය.

ඒ වන විට පලස්තීනයේ නායක මොහොමඩ් අබ්බාස්ගේ දේශනය නිමාවට පත්වී තිබිණි.

‘පලස්තීනුවන් ගාසා තීරයෙන් යන්නේ නෑ.‘

දේශනය ආරම්භ කරමින් මොහොමඩ් අබ්බාස් එසේ ප්‍රකාශ කර ඇත්තේ දැඩි ආවේගශීලිව බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

‘පලස්තීනය කියන්නේ අපේ මාතෘභූමියයි. ඒක අපේ මුතුන් මිත්තන්ගේ භූමියයි. ඒක සදහටම අයිති අපිටයි.‘

දැන් කවුරුත් බලා සිටින්නේ ඊශ්‍රායල අගමැතිවරයා සිය දේශනයේදී ඊට දක්වන ප්‍රතිචාරය දැන ගැනීමටය. පෙනෙන හැටියට කිසිදු අයුරකින් පියවරක් පසුපසට ගැනීමට ඊශ්‍රායලය සූදානම් නැත. ගාසා තීරයට හෝ දකුණු ලෙබනනය අසල දේශසීමාවට සටන් විරාමයක් ප්‍රකාශයට පත් නොකරනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ. ඊළඟ අවදානම වී ඇත්තේ ඕනෑම මොහොතක ලෙබනනයේ බීරුට් අගනුවරට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වීමේ අනතුරු ඇඟවීමය. ලෙබනනයෙන් ඉවත් වන ලෙස දැනටමත් රටවල් රැසක් බීරුට් නුවර සිටින සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

බීරුට් නුවර සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ට දැන් එරටින් ඉවත්වීමට වේලාව පැමිණ ඇතැයි අගමැති ශ්‍රීමත් කීර් ස්ටාමර් ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍ය ජාතිකයන් දසදහසක් පමණ ලෙබනනයේ සිටින බවට තක්සේරු කර ඇති අතර, ලෙබනනයේ බීරුට් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බැවින් එරට සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් හැකි ඉක්මනින් ආසන වෙන් කරගත යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

අවදානම් තත්ත්වයක් උද්ගත වුවහොත් ලෙබනනයේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ට උපකාර කිරීමට එරට හමුදා කණ්ඩායම් කිහිපයක් මේ වන විට සයිප්‍රස් රාජ්‍යය බලා පිටත්ව ගොස් සිටී. සයිප්‍රස් රාජ්‍යය ලෙබනනයට වයඹ දෙසින් කිලෝමීටර් 300ක පමණ දුරින් පිහිටා ඇති අතර, බීරුට් ගුවන්තොටුපොළ වසා දැමීමට සිදුවුවහොත් ඔවුන් මුදා ගැනීම බ්‍රිතාන්‍ය රජයේ අරමුණ බවද වාර්තා වේ. 700කට අධික හමුදා කණ්ඩායමක් සයිප්‍රස් බලා පිටත්ව ගිය බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය. බ්‍රිතාන්‍යය පමණක් නොව ලොව පුරා රටවල් රැසක් එවැනි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, මැලේසියාව, ඉන්දියාව, බෙල්ජියම, ඉතාලිය, රුසියාව, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය ඇතුළු රටවල් රැසකින් බීරුට් නුවර සිටින ඔවුන්ගේ පුරවැසියන්ට රටින් ඉවත් වන ලෙස උපදෙස් දී තිබේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division