අපේ රටේ විභාගයත් අවසන් වීමත් සමඟ සමාජය කැලඹෙන්නේ ප්‍රශ්න පත්‍රය පිට වී ඇතැයි ප්‍රශ්නාර්ථය මුල් කරගෙනය. එකී චෝදනාව සමාජයේ කතා බහකට ලක්නොවූ විභාගයක් මෑත ඉතිහාසයේ නැති තරම්ය. ඒ තරමට විභාග සම්බන්ධයෙන් සමාජය තුළ ගොඩනැඟී ඇත්තේ සැකසංකාය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගියදා නිමාවට පත්වීමත් සමඟ ප්‍රශ්න පත්‍රය මෙන්ම එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇති බවට චෝදනාවක් එල්ලවන්නට වූයේ රට පුරාම ඒ සම්බන්ධයෙන් මාපියන්ගෙන් විරෝධතා ගොඩනැඟෙමිනි. මෙවර ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දුන් දරුවන්ගේ දෙමාපියන් මෙතෙක් ඉතිහාසයේ නොවූ විරූ ලෙස මහ පාරට බැස උද්ඝෝෂණයන්වල පවා නිරත වන්නට වූයේ ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියමින් සිය දරුවන්ට සාධාරණයක් ඉල්ලමිනි. පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුව අභියස පවා මාපියන් රැස්වී උද්ඝෝෂණ කරන්නට වූයේ සිය දරුවන්ට සාධාරණය ඉල්ලාය. ඒ පොලිසියේ කැරලි මර්දන හා ජල ප්‍රහාරක රථ පවා එතැනට ගෙනවිත් තිබෙන මොහොතකය.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීමේ අවුල විසඳීමේ කටයුත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට අධ්‍යාපන බලධාරීන්ට සිදු වන්නේ මෙවන් සමාජ නැඟිටීමක් රට පුරා සිදු වෙමින් පැවතියදීය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ ආරවුල මුලින්ම පැන නැගෙන්නේ අනුරාධපුරයේ විභාග මධ්‍යස්ථානයකින් ප්‍රශ්න පත්‍රය දරුවන්ගේ අතට පත් කිරීමට පෙර එම ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ඡායාරූපයක් ගෙන එය වට්ස් ඇප් ඔස්සේ හුවමාරු කිරීමක් මුල්කර ගෙනය. ඊට සම්බන්ධ අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර ඇතත් එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර දරුවන් අතට ගියේයැයි මෙතෙක් පැහැදිලිවම අනාවරණ වීමක් සිදුව නැත.
ඒත් එක්කම මෙවර ශිෂ්‍යත්ව විභාගයට අලව්ව පැත්තෙන් මුහුණ දුන් දරුවන්ගේ මාපියන් පිරිසක් ද විභාගය අවසන්වීමෙන් අනතුරුව නොසන්සුන් වන්නේ විභාගයට පෙර උපකාරක පන්ති ගුරුවරයෙක් විසින් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න 03ක් ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගි වන දරුවන්ට ආදර්ශ ප්‍රශ්නපත්‍රයක් ඔස්සේ පිළිතුරු සමඟ ලබාදී තිබීමක් මුල්කරගෙනය. අනුරාධපුරයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් කිරීමට වඩා සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩුදෙන්නේ අලව්වේ ප්‍රශ්න 03 ගැනය. රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය වන්නේ ද එය මුල්කරගෙනය. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පවා මේ ගැටළුව නිරාකරණය කර ගන්නා තුරු නතර කිරීමට පවා අධ්‍යාපන බලධාරීන්ට සිදු වන්නේ ඒ නිසාම ය.
මෙම ප්‍රශ්න තුන සම්බන්ධයෙන් වූ ගැටලුවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සුළුවෙන් තැකුවේ නැත. ඔහු විභාග ප්‍රශ්න පත්‍ර සකස් කළ කමිටුවේ සාමාජිකයන් පවා කැඳවා මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එහිදී එම කමිටුවේ සාමාජිකයන්ගේ අදහස වූයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න තුනක් අලව්වේ උපකාරක පන්ති ගුරුවරයා විසින් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ඔස්සේ දරුවන්ට ලබාදී ඇති බවය. එම ප්‍රශ්න 03 විභාගයට ලබාදුන් ප්‍රශ්න තුනම යැයි පිළිගන්නට අකමැති අයද ඒ අතර වූවත් විභාගයට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න තුන හා සැසදීමේදී සුළු වෙනස්කම් තිබුණත් මුළුමනින්ම ප්‍රශ්න තුන එකිනෙකට සමානකමක් ඇති බව බොහෝ අයගේ අදහස විය.
අවසානයේදී විභාග කොමසරිස්වරයා තීරණයක් ගනු ලබන්නේ ප්‍රශ්න 40කින් සමන්විත එම පළමු ප්‍රශ්න පත්‍රෙය් ප්‍රශ්නගත එම ප්‍රශ්න තුන අතහැර දරුවන්ට සෙසු ප්‍රශ්න 37ට ලකුණු දෙමින් අවසාන ලකුණ සියයට ගැළැපීමට ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධ විමර්ශන භාර කෙරෙන්නේ දෙමාපියන්ගෙන් විභාග දෙපාර්තමේන්තුවේ එම තීන්දුවටද විරෝධතා ගොඩනැඟෙමින් පැවති පසුබිමකදීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන පැවරී පැය 48ක් යන්නට මත්තෙන් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් එළියට ගිය හැටි පමණක් නොව, ඒ පිටුපස සිටි අය ගැනද බොහෝ තොරතුරු හෙළි කර ගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ iv නිලධාරීන් දීර්ඝ ලෙස කළ විමර්ශනයකින් අනතුරුව මෙම ප්‍රශ්න පත්‍ර සිදුවීම සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂක ඒ.ජී.එස්. ප්රේමතිලකවය. පනස් හත්වැනි වියේ පසුවූ ප්‍රේමතිලක ජාතික අධ්‍යාපන ආයතනයේ වසර 15ක පමණ කාලයක් සේවයේ නිරත වූවෙකි. විභාග දෙපාර්තමේන්තුවේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න සකස් කිරීමේ කමිටුවේ ඒ වන විටත් ඔහු සාමාජිකයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් තිබුණේ විභාගයට පෙර අලව්වේ උපකාරක පන්ති ගුරුවරයා විසින් සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ සඳහන් ආන්දෝලනයට තුඩුදුන් ප්‍රශ්න තුනම මෙම අධ්යක්ෂවරයා විසින් විභාගය වෙනුවෙන් සකස් කළ ඒවා බවය. ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එයම හේතුවක් කර ගත්තේ නැත. විද්‍යාත්මක මෙන්ම පරියේෂණාත්මක සාක්ෂි ගොන්නක් ම රැස්කර අවසානයේදී අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය 22 වෙනිදාය. ඒ ඔහු පදිංචිව සිටින කුරුණෑගල තිත්වැල්ලේ පිහිටි නිවසට ගොසිනි.
ඒ වන විටත් උපකාරක පන්ති ගුරුවරයා සිටින්නේ සිය ගේ දොර අතහැර පලාගොසිනි. අලව්ව තුල්හිරිය අරලිය උයනේ පදිංචිකරුවෙක් වන ඉලංගසේකර සැලසුම් අධ්යක්ෂ ප්‍රේමතිලක අතර සම්බන්ධයක් ඇති බව අනාවරණ කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු ආ ගිය තැන් සොයන්නට ගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පසුගිය 24 වෙනිදා ඔහු පැමිණ භාරවන්නේ දැන් තමාට ගැලවිල්ලක් නොමැති බව වටහා ගැනීමෙන් අනතුරුවය. ඒ වන විටත් ඔහු සිය ජංගම දුරකතනයේ ඇති සියලුම දත්ත තිබෙන්නේ මකාදමාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික පරිගණක අපරාධ විමර්ශන අංශයට මකා දැමූ ඒ දත්ත නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට හැකි බව නොදැන ඔහු එසේ දත්ත මකා දමා තිබෙන්නට ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් එම දත්ත මතු කරමින් සිටින්නේ ඉදිරි විමර්ශන සඳහාය.
මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් මේ ගැටලුව හමාර වන්නේ නැත. තවදුරටත් විමර්ශන පැවැත්වෙන්නේ තවත් පිරිසක් මේ පිටුපස සිටීවි දැයි සොයාය. ඒ හැරුණු කොට තවත් මෙවැනි සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇත. ඒ හැම තොරතුරක්ම සැබෑ නොවූවත් ඒ හැම තොරතුරක් ගැනම සොයා බලමින් සිටින්නේ මෙවර පහ ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සම්බන්ධයෙන් ඉක්මනින්ම තීන්දුවක් ගැනීමේ අපේක්ෂාවෙන් විභාග දෙපාර්තමේන්තුව සිටින බැවිනි.
මෙරට ඉතිහාසය පිරිස්සීමේදී විභාග ප්‍රශ්න පත්‍ර සහ විභාගයට ලබාදුන් ප්‍රශ්න පිටවීමේ සිදුවීම් කිහිපයක්ම ගැනම තොරතුරු සොයා ගැනීමට ඇත. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙර මෙවැනි සිදුවීමක් වාර්තා වන ආසන්නතම සිදුවීම වන්නේ මෙම වසරේ ජනවාරියේ පැවති අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස සම්බන්ධයෙනි. විභාගයට පෙර පිටවී තිබුණු එම ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විමර්ශන පැවරී තිබුණේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.
කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවී ඇතැයි හෙළි වන්නේ එම ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න මුළුමනින්ම පිටින්ම අතින් පිටපත් කළ කොළයක් විභාගයට පෙර මුහුණු පොත ඔස්සේ හුවමාරුවීම හේතුවෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ ඔස්සේ කළ විමර්ශනයකින් අනතුරුව අම්පාරේදී අත්අඩංගුවට ගන්නේ උපකාරක පංති ගුරුවරයෙකි. අම්පාරේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් වන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සහ විමර්ශනයේදී හෙළි වන්නේ මොරටුවේ විභාග මධ්‍යස්ථානයකින් එම ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවය. සිසුන් පිරිසක් විසින් ශාලාධිපතිවරයාගේ කාර්ය සහයකයාට අල්ලසක් දී විභාගයට පෙර ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් ලබාගෙන මෙම වංචාව සිදු කර ඇති බව අවසාන විමර්ශනයේදී හෙළි විය. අම්පාරට ගොස් තිබුණේ මොරටුවේ සිසුන්ගේ අතින් අත හුවමාරුවූ එම ප්‍රශ්න පත්රයයි. දෙවැනි ප්‍රශ්න පත්‍රය පමණක් නොව, පළමු ප්‍රශ්න පත්‍රයත් එසේ විභාගයට පෙර පිටවී ඇතැයි හෙළි වන්නේ එහිදීය. ඒ අනුව එවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය අවලංගු කරමින් නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙර විභාගයට පෙර ප්‍රශ්න පත්‍රයක් පිටවූ බව තහවුරු වූයේ නම් ඒ 2012 වසරේදී පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා පළමු ප්‍රශ්න පත්රයයි. එම ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමට එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ නිරත්නතරයෙන් ආන්දෝලනයට තුඩුදෙන චරිතයක් වන සම්පත් අත්තටගේ නැමැති උපකාරක පන්ති ගුරුවරයා ඇතුළු පිරිසකි. ඒ අතර විභාග දෙපාර්තමේන්තුවේ ලිතෝ යන්ත්‍රයේ ක්‍රියාකරුවෙකු ද සිටියේය. විභාග දෙපාර්තමේන්තුව තුළ පිහිටි මුද්‍රණාලයේ දී විභාග ප්‍රශ්න පත්‍ර මුදුණය කරමින් තිබියදී එක් ප්‍රශ්න පත්‍රයක් යන්ත්‍රයේ සිරවී ඇති බවත් එම සිරවූ ප්‍රශ්න පත්‍රය යන්ත්‍ර ක්‍රියාකරු සඟවාගෙන විභාග දෙපාර්තමේන්තුවෙන් පන්නා තිබුණු බවත් විමර්ශනයේදී හෙළිවී තිබුණි. එම ප්‍රශ්න පත්‍රය යන්ත්‍රයෙන් පිටතට ගැනීමේදී ඉරීයාම හේතුවෙන් එහි ඉතිරි වන්නේ ප්‍රශ්න 19ක් පමණි. එම ප්‍රශ්න 19 ඇතුළත් එම ප්‍රශ්න පත්‍රය සම්පත් අත්තටගේ අතට පත්වී තිබුණේ විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු මඟිනි. එම සෙබළා විසින් එම ප්‍රශ්න පත්‍රය සම්පත් අත්තටගේට ලබාදී තිබුණේ රුපියල් ලක්ෂයක මුදලකටය. ඒ මුදලින් 25,000ක් සහ චෙක්පතකින් 75,000ක් වශයෙනි. විමර්ශනයේදී පෙනී ගිය කරුණක් වූයේ සම්පත් අත්තටගේ මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට එන සැබෑ ප්‍රශ්න පත්‍රය බව නොදැන එය මුදලට ලබාගෙන ඇති බවය. ප්‍රශ්න 19ට තවත් එක් ප්‍රශ්නයක් එක්කර ප්‍රශ්න 20ක අනුමාන බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ලෙසය. මෙම ප්‍රශ්න පත්‍රය ඔහු සිය උපකාරක පන්තියට එන සිසුන්ට පවා ලබාදෙමින් ප්‍රශ්න වලට පිළිතුරු පවා ලියන්නට උගන්වනු ලැබීය. හැබැයි එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී හෙළි වන්නේ ඔහු දරුවන්ට කියාදුන් ඇතැම් පිළිතුරු පවා නිවැරදි නොවන ඒවා බවය.
කෙසේ වෙතත් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය මෙන් එදා අපොස සාමාන්‍ය පොළ විද්‍යා ප්‍රශ්න පත්‍රය නම් නැවත පැවැත්වීමක් නම් සිදු වූයේ නැත. ඒ බහුතරයක් සිසුන්ට ඒ තුළින් බලපෑමක් නොවූ බව පෙනී යන්නට වූ බැවිනි.
ඊට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීමක් ගැන සමාජයේ දැඩි කතාබහක් ඇති වන්නේ 2003 වසරේ පැවැති අපොස උසස් පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන්නේ එකල ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙක් වූ උපුල් ශාන්ත සන්නස්ගලය. විභාගයට පෙර ඔහු විසින් සිය උපකාරක පන්තිවලට පැමිණෙන දරුවන්ට ලබාදී කියා දුන් රචනා ප්‍රශ්න කිහිපයක් එහෙම් පිටින්ම විභාගයට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේද තිබීම ගැන එකල දැඩි ආන්දෝලනයටද තුඩුදුන් කරුණක් බවට පත්ව තිබුණි. ඒ නිසාම එකල සිටි විභාග කොමසාරිස්වරයා මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන දීර්ඝ විමර්ශනයක නිරත වෙමින් අවසානයේදී එකවරම විමර්ශන හමාර කරනු ලබන්නේ එම ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අවසාන නිගමනයකට එළඹීමකින් තොරවය. එකල එම විමර්ශනයට සක්‍රීයව දායක වූ නිලධාරියෙක් අද සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරකය. එදා එම නිලධාරියා ලියුම්කරුට සඳහන් කරනු ලැබුවේ ඔවුන්ගේ අවසාන නිගමනය වූයේ උපුල් ශාන්ත සන්නස්ගල විසින් විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස්කළ උදවියගෙන් හෝ වෙනයම ආකාරයකට ප්‍රශ්න ටික පන්නගෙන නැති උසස් පෙළ විභාගයේ එම සිංහල ප්‍රශ්න පත්‍රය සකස්කළ උදවිය උපුල් ශාන්ත සන්නස්ගලයන් ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගිවූ දරුවන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සොරාගෙන ප්‍රශ්න පත්‍රයට දමා ඇති බවය. 2023 වසරේ උසස් පෙළ සිංහල; ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනය නිමාවක් නොමැතිව එදා අවසන් වන්නේ එසේය. එදා එම විභාගයේ ප්‍රතිඵල නිකුත්වන විටත් පවතින්නේ අවසානයක් නොමැති විමර්ශනයකි. එබැවින් එම විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් නැවත විභාගයක් පැවැත්වීමට පවා බලධාරීන්ගේ කිසිදු උනන්දුවක් නොවීය.
ඊට එහා ඉතිහාසය පිරිස්සීමේදී 83 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය පිටවීමක් ගැන තොරතුරු දැනගන්නට ඇත. එකල ජනප්‍රිය ගණිත උපකාරක පන්ති ගුරුවරයෙක් වූ සනත් ලෙනොරා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එදා එම ගණිත ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තිබුණේ සිසිර මෙන්ඩිස් නැමැති නිලධාරියාය. අද ඔහු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. වත්මන් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ 80 දශකයේය. විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ සිදුවීමක් එකලත් සිදුවී තිබුණි. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට අවස්ථා දෙකකදී මුහුණ දීමට පවා අමිත් ජයසුන්දර මහතාට පවා සිදුවී ඇත්තේ එබැවිනි.
ඒ අනුව පෙනී යන්නේ විභාග ප්‍රශ්න පත්‍ර හෝ විභාග ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න විභාගයට කලින් පිටවීම අරුම පුදුම දේවල් නොවන බවය. මේ තුළින් පිරිහෙන්නේ සහ විශ්වාසය පළුදු වන්නේ රජයේ විභාගයන් සම්බන්ධයෙනි. එබැවින් විභාගයක් අවසානයේදී නිතර ඇසෙන ප්‍රශ්න පත්‍ර පිටවීමේ හෝ ප්‍රශ්න පිටවීමේ ආන්දෝලනයන්ට නැවතීමේ තිත තැබෙන හැටියට වැඩ කිරීම සියලු බලධාරීන්ගේ වගකීමක් වනු ඇත.
ගයාන් කුමාර වීරසිංහ