වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,500කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර, එයින් 125ක් පමණ පිරිමි පුද්ගලයන් බවත් ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව මෙරට පියයුරු පිළිකා හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන අනාවරණය කරයි.
ලාංකේය කාන්තාවන් අතර පියයුරු පිළිකාව බහුල බවත් කාන්තාවක වීම ඊට ගොදුරු වීමේ මූලික සාධකයක් වුවත් පිරිමි පුද්ගලයන් පියයුරු පිළිකාවලට ගොදුරු වුවහොත් එය මරණයෙන් කෙළවර වීමේ අවදානම වැඩි බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය. මේ වන විට පියයුරු පිළිකා ඇති රටවල් 187 අතුරින් ශ්‍රී ලංකාව 155 වැනි ස්ථානයේ පසුවන බව ද හෙතෙම සඳහන් කළේය.
පිරිමින් හා සැසඳීමේදී කාන්තාවන්ට පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ අවදානම සියයට 50කින් වැඩි අතර, පවුලේ ඉතිහාසය, තරබාරුකම, මත්පැන් සහ දුම්පානය රෝග අවදානම වැඩි කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පැවැසුවාය.
කල්තියා හඳුනා ගැනීමෙන් එමඟින් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කර ගත හැකි බව පැවසූ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, වයස අවුරුදු විස්සට වැඩි කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වයම මසකට වරක්වත් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගැනීම වැදගත් බව ද අවධාරණය කළේය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්