Home » දුන්ගාල්පිටියේ හෝටලයක උපන්දින පාටියක් මුවාවෙන් පැවැත්වුණු සාදයට වෙච්ච දේ

දුන්ගාල්පිටියේ හෝටලයක උපන්දින පාටියක් මුවාවෙන් පැවැත්වුණු සාදයට වෙච්ච දේ

by thanushika
October 5, 2024 12:30 am 0 comment

පසුගිය කාලයේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණ තරුණියන් අතර ‘ෆේස්බුක් සාද‘ නමින් ප්‍රකට වූ තරුණ තරුණියන්ගේ එක්රැස් වීම් රටපුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. එවැනි සාද ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිතය, මත්පෙති භාවිතය බහුල ලෙස තරුණ තරුණියන් අතර සිදු විය. වාද්දුව ප්‍රදේශයේ සුපිරි හෝටලයක සංවිධාන කළ එවැනි සාදයකට එක්වූ තරුණයන් තිදෙනකු ද මියයාමක් මීට වසර තුනකට පමණ පෙරදී වාර්තා විය. ඒ, එවැනි ෆේස්බුක් සාදවල ඇති භයානකත්වය පිළිබිඹු කළ අවස්ථාවකි.

මෙලෙස ෆේස්බුක් සමාජ මාධ්‍යජාලය ‘මනා ලෙස’ භාවිත කරමින් සිටි ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහු මෙම මුහුණුපොත වැඩිපුරම පරිශීලනය කළේ එමඟින් දැන හඳුන ගන්නා අයට මත්ද්‍රව්‍ය සාද පැවැත්වීම සඳහාය.

ඔහුගේ දැනුම් දීම මත පසුගිය දිනෙක මත් සාදයක් සංවිධානය කෙරිණි. ෆේස්බුක් මත් සාදය සඳහා සහභාගි වීමට රට පුරා වාසය කරන ෆේස්බුක් සමාජයේ වයස අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන් සියයකට අධික පිරිසක් පසුගිය දිනෙක සවස පැමිණෙමින් සිටියේ මීගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයටය.

එසේ පැමිණ සිටි පිරිස අතර අතිබහුතරය බස්නාහිර පළාතේ පදිංචිකරුවන් වූ අතර මීට අමතරව අනුරාධපුරය, බළන්ගොඩ, ගාල්ල වැනි දුරබැහැර ප්‍රදේශවල පදිංචි වී සිටි තරුණ පිරිසක් ද සිටියහ .

මෙම සාදය මීගමුව දුන්ගාල්පිටිය වෙරළ තීරය සමීපයේ වූ කුඩා හෝටලයක සංවිධානය කර තිබිණි. එම කුඩා හෝටලයේ ඉඩකඩ මෙම සාදය සඳහා පැමිණෙන පිරිසට ප්‍රමාණවත් නොවිණි. එම නිසා සාදය ආරම්භ කිරීමට පෙර සිටම පැමිණි බොහෝ තරුණ පිරිස මූදු වෙරළෙහි සෞන්දර්ය විඳ ගැනීමට ද පෙලඹී සිටියහ.

වෙනදා දුන්ගාල්පිටිය වෙරළ තීරයේ දක්නට නොලැබෙන විශාල තරුණ පිරිසක් විශේෂයෙන්ම මෙම මැතිවරණ සමයෙහි රැස්ව සිටීම එම වෙරළ අවට ජීවත්වන ජනතාවට ප්‍රශ්නයක් වී තිබුණි.

එම කුතුහලය නිසා මේ පිළිබඳ ආරංචිය අසුරු සැණින් ප්‍රදේශය පුරා පැතිර ගිය අතර එදින රාත්‍රී කාලය එළඹෙත්ම දුන්ගාල්පිටිය පොලිසිය වෙත ද මෙම ආරංචිය ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් වෙරළ තීරයේ වැටලීමක් කෙරිණි. ඒ අනුව මෙම තරුණ පිරිස සහභාගි වන අත්භූත වැඩසටහන කුමක්දැයි සොයා බැලීමට ද එම විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායම කටයුතු සූදානම් කළේ සැලැසුමකට අනුවය.

එම පොලිස් කණ්ඩායම මධ්‍යම රාත්‍රිය ආසන්න වත්ම ප්‍රදේශය වටලෑමට පටන්ගෙන තිබුණි. උපන් දින සාදයක් ලෙස බැලූ බැල්මට පෙනෙන ලෙස සංවිධාන කර තිබූ මේ සාදයට සහභාගි වූ පිරිසෙන් වැඩි දෙනෙක් ඒ වනවිටත් අසල වෙරළ තීරයේ ඔබමොබ ඇවිදිමින් සිටියේ විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය පානය කරමිනි.

මෙම සාදයට සහභාගි වූ වැඩි පිරිසක් ”ගංජා” මත්ද්‍රව්‍ය පානය කර සිටියහ. ඔවුහු පියවි සිහියෙන් නොසිටි අතර මෙම සාදය පිළිබඳ තොරතුරු දැනගැනීම ද පොලිසියට ඒ වෙලේ දුෂ්කර වී තිබුණි. ඒ අනුව පසුදින අලුයම හතර පමණ වනවිට මෙම සාදයට සහභාගි වී සිටි තරුණයන් 28 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබුණි.

ඒ සමඟම එම පුද්ගලයන් සන්තකයෙහි තිබී ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ද තවත් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පැකට් රාශියක් ද පොලිසිය විසින් එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගෙන තිබුණි.

දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහගේ උපදෙස් සහ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂකවරුන් වන සමරකෝන්, රූපසිංහ සැරයන් 41359 අජිත්, කොස්තාපල්වරුන් වන 25420 දසනායක, 100367 ලක්ෂාන්, 22615 ලක්මාල්, 100378 සඳරුවන් සහ 26989 යාපා යන නිලධාරීහු විසින් පරීක්ෂණ සිදු කරමින් සිටිති.

කටුනායක ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division