මෙරට වෙහෙර විහාර තුළ මෙන්ම ඉන් බැහැරව සමහර නගර, කඩවීදී, මංසන්ධි ආශ්රිතවද බුද්ධ ප්රතිමා වඩා හිඳුවා ඇති අන්දම දැකගත හැකිය. ඒ අනාධිමත් කාලයක පටන් මෙරට සමාජ, සංස්කෘතික හර පද්ධතීන්හි පිළිබිඹුවක් ලෙසිනි. ඉන් නොනැවතී මේ මුර්ති නිර්මාණ කලාවේ නියුතු ශිල්පීන් වෙත සිය ජීවනෝපාය සරි කිරීමට යම් මාවතක් ද පාදා දී ඇත. ඒ නිර්මාණකරුවන්ගේ අප්රමාණ කුසලතාවට පණ දෙන කිහිපදෙනකු හෝ වර්තමානයේ ද රටේ විවිධ දිශාවන්හි ශේෂව සිටිති.
මෙරට සාම්ප්රදායික කලා කර්මාන්තයේ මුදුන් මල්කඩ සේ අද ද පැසසුම් ලබන අනුරාධපුරය එක් පසකින් සත් කෝරළයටත්, තවත් පසකින් සතර කෝරළයටත් ඉන් ඔබ්බට වන්නි හත් පත්තුවටත් මායිම්ව තිබේ. මේ හැමට මැදිව පිහිටි අනුරාධපුරයේ, නුවර කලාවියේ ගම්වල සාම්ප්රදායික මුර්ති හා චිත්ර කලාව සමග දිවි ගෙන යන යොවුන් කලාකරුවන් කිහිපදෙනෙකු පිළිබඳ තතු මෙසේය.
අනුරාධපුරයේ, තලාව ගමේ, සුනාමි හන්දියට වී සිය නිර්මාණ කලාවෙහි නියැළෙන රසිකා දමයන්ති බුද්ධ ප්රතිමා නිර්මාණය, විසිතුරු කැටයම්, මන බඳින සිතුවම් ඇඳීම, දේව ප්රතිමා නෙළීම ආදියෙහි නියැළෙමින් සිය සැමියාගේ ජීවනෝපායට සහාය වන මවකි. සිය ලලනා සුකොමල බව සායම්, පින්සල්, සිමෙන්ති, වැලි, ගඩොල්, ගල් කුඩු, කොන්ක්රීට් සමඟ මුසු කරමින් ජීවන අරගලයේ යෙදෙන ඇය නූතන සමාජ හා ආර්ථික අර්බුදය තුළ සිය කලා කර්මාන්තයේ ඉරණම පිළිබඳ මෙසේ කීවාය.
“මං පිළිම නෙළන කලාව ඉගෙන ගත්තේ මගෙ මහත්තයාගෙන්. ඉස්කෝලේ යන කාලේ උසස් පෙළට චිත්ර ඉගෙන ගත්තට එයින් ඉස්සරහට යන්න බැරි වුණා. ඒත් මේ වැඩවලට සම්බන්ධ වෙච්ච හින්දා ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගන්ඩ පුළුවන් වෙලා තියෙනවා. මේක තමයි අපේ පවුලේ ආදායම. මහත්තයා කාලයක් තිස්සේ මේ කර්මාන්තය කරනවා. මහත්තයා ගොඩක් වෙලාවට පිට පන්සල්වලට ගිහින් වැඩ කරනවා. මෙතැන වැඩපොළේ වැඩ ටික කරගෙන යන්නේ මම. මට මහත්තයාගේ අක්කත් උදව් කරනවා. එයාටත් මේ කලා හැකියාව හොඳට පිහිටලා තියෙනවා. කාන්තාවක් වුණා කියලා මේ රස්සාව කරගෙන යන්ඩ අපිට බාධාවක් නෑ. හැම දවසකම වගේ අපිට වැඩ තියෙනවා. පහුගිය කාලේ නම් ගොඩක් වැඩ අඩු වෙලා තිබ්බා. දැන් අඩුවක් නැතිව වැඩ එනවා.”
දෙදරු මවක වන අනෝමා ප්රියදර්ශනී ඒකනායක ද විහාර කර්මාන්තයට අදාළව විවිධ තේමාවන් ඔස්සේ දැකුම්කලු සිතුවම්කරණයේ සහ මූර්තිකරණයේ නියැළෙමින් සිය පවුල ජීවත් කරවන්නීය. මේ ඇය දැක්වූ අදහස්ය.
“මං කාගෙන්වත් විශේෂයෙන් කියලා මේ කර්මාන්තය ඉගෙනගත්තේ නෑ. දැන් අවුරුදු කීපයක් තිස්සේ මෙතැන වැඩ කරගෙන යනවා. මම හිතන්නෙ මේ කලා හැකියාව අපේ පවුලේ දායාදයක් කියලා. අපේ දරුවොත් දැන් මේ වැඩේට එකතු වෙලා ඉන්නේ. පන්සල්වලට, දේවාලවලට ඕන කරන චිත්ර, මූර්ති, කැටයම් වගේ හැම නිර්මාණයක්ම අපි කරනවා. මේ රස්සාව කරන ගැහැනු අය ගොඩක් අඩු නිසා අපි දෙන්නා එකතු වෙලා මේ කර්මාන්තය පවත්වගෙන යන එක ගැන සමහරුන්ට පුදුමයි. මේ රස්සාව නිදහස්. අපේ හැකියාවෙන් අපි ආදායමක් හොයාගෙන එදිනෙදා වියදම් පියවගෙන සතුටින් ජීවත් වෙනවා. හොයන මුදල මදි කියලා හිතුවොත් හැමදාම මදි තමයි. අපිට කාගෙන්වත් කියලා විශේෂ උදව්වක් නෑ. අපේ පාඩුවේ රස්සාව කරගෙන ජීවත් වෙනවා.”
මෙරට බුද්ධ ප්රතිමා නිර්මාණ කලාව ක්රි.පූ 207 – 247 කාල සමයෙහි රජ පැමිණි දේවානම්පියතිස්ස රජ දවස දක්වා දිව යන්නක් බව කියැවේ. එමඟින් හෙළ කලා ශිල්පින් ජන හදවත්හි බුද්ධාලම්බන ප්රීතිය සහ පහන් සංවේගය ජනිත කරනු සදහා සිය මාහැඟි ප්රතිභාව උපයෝගි කොටගෙන ඇති අන්දම විස්මය දනවන්නකි. මේ විසල් සංස්කෘතික උරුමය වර්තමානය තුළ එලෙසම ආරක්ෂා කිරීම අභියෝගයක් බව ද නොරහසකි. මෙවැනි සහජ කුසලතාවයෙන් යුතු කලාකරුවන් සොයා ඔවුන්ට අත දීමේ වැඩපිළිවෙළක් පෙනෙන තෙක් මානයක නැති තරම්ය. එවැනි පසුබිමක රශ්මික විභීෂ යනු මේ කර්මාන්තයෙන් හෙටක් සොයන යොවුන් කලාකරුවෙකි.
“මට දැන් වයස අවුරුදු විසිඑකයි. මං ඉස්කෝලේ යන කාලේ ඉඳලම බාප්පගේ මේ වැඩවලට උදව් වුණා. මේ වැඩේ ගැන ඒ කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබුණා. මට හිතෙන්නේ මොකක් හරි දෑතේ කර්මාන්තයක් දන්න කෙනෙකුට වරදින්න හේතුවක් නෑ කියලා. මෙච්චර අමාරු කාලෙත් අපිට වැඩ එනවා. ඉස්සර තරම්ම නැති වුණත් සමහර වෙලාවට නුවර, ගම්පහ වගේ දුර පළාත්වලින් පවා අපිව හොයාගෙන ඇවිල්ලා පිළිම හදව ගන්නවා. අපි ගොඩක් වෙලාවට අතින් සම්පූර්ණයෙන්ම පිළිමේ නෙළනවා. තවත් වෙලාවකට අපිම හදාගත්ත අච්චුවකට දාලා පිළිමේ හදාගන්නවා. සමහර පිළිම අපි වැඩපොළේ ඉඳගෙන නෙළලා, තීන්ත ගාලා වැඩ ඉවර කරලා දෙනවා. ටිකක් ලොකුවට හදන පිළිම ඒ පන්සලට හරි දේවාලෙට ගිහිල්ලා නෙළලා වැඩ ඉවර කරලා දෙනවා. සමහර වෙලාවට ඉස්කෝලවල පවා පිළිම නෙළන්න අපි යනවා.”
ග්රාමීයව සිටින මෙම ශිල්පීන් රැකගැනීම උදෙසා නිසි වැඩපිළිවෙළක් නැතිවීමේ කටුක යථාර්ථය හේතුවෙන් ඇතැම් කලාකරුවන් මේ කර්මාන්තයෙන් ඈත්වී යෑම වැළක්විය නොහැකිය.එනිසාම තරුණ පිරිස මෙම කර්මාන්තයට යොමු කරගැනීම අසීරු වී ඇත.
තඹුත්තේගම, සමන්එළිය ගම්මැද්දේ ආනන්ද බණ්ඩාර ද විහාර කර්මාන්තය හා බැඳී පවතින දැකුම්කලු සිතුවම්කරණයේ සහ මූර්තිකරණයේ නියැළෙන තවත් නිර්මාණකරුවෙකි. සමන්එළිය ගම්මැද්දට වී නිහඬව ජීවත් වීමේ අරගලයක නිරත වී සිටින ඔහුගේ සිහිනවල මඟ ඇහිරී ඇත.
“ මේ කරන වැඩවලින් අපට ආදායමක් තියෙනවා. ඉස්සර වෙසක්, පොසොන් මාසවල ඉවර කරගන්ඩ බැරි තරම් වැඩ එනවා. පහුගිය අවුරුදුවල එහෙම වුණේ නෑ. ඒකට හේතුව හැමෝම දන්නවා. මිනිස්සු හැමෝම ජීවත් වෙන අරගලයක ඉන්නේ. අපිට පුළුවන් කාලයක් අපෙන් වැඩ ගන්න මිනිස්සු ඉඳියි. ඒත් අපෙන් පස්සේ මේ කර්මාන්තය රැකගන්ඩ අත දෙන්ඩ කවුරුවත් නෑ. මොනවා වුණත් අපි වගේ සාම්ප්රදායික නිර්මාණ කරන අයට තියෙන තැන නැතිවෙන්නේ නෑ. ඩිජිටල් ප්රින්ටින් තිබුණ කියලා බුදු මැදුරුවල චිත්ර අඳින්න ඒ තාක්ෂණයට බෑනේ. විහාර කර්මාන්තවලට දායක වෙන ශිල්පියෝ ටික දෙනා රැකගන්න කොතනකවත් වැඩපිළිවෙළක් නෑ. අවුරුද්දකට සැරයක් තියෙන නිර්මාණ තරගෙකින් ඒක කරන්න බෑ.”
ඈත ගම්මැදිවලටවී වැලි, ගල්, සිමෙන්ති, සායම්, පින්සල් සමඟ හැපෙන මේ ශිල්පීන් කෙරෙහි ඇති සමාජ පිළිගැනීම සහ ගරුත්වය පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තැනකය. සියලු නොසලකා හැරීම් මැද මේ ශිල්පීන් සම මෙත් කරුණාව ඔප දැමීමට වෙහෙස වන ඔවුන්ගේ වෑයම දුක්බර ගී රාවයකට සමානය.
තඹුත්තේගම විශේෂ - ඩබ්ලිව්. ප්රදීප්