හෙළ සිනමා වංශකථාවේ පිටු එකින් එක පෙරළා බලන විට ප්‍රේමනීය නළුවන් අතර කාගේත් සිත් සොරාගත් ප්‍රේමවන්තයා ඔහුය. ප්‍රේක්ෂිකාවන් අතර පමණක් නොව නිළියන් තුළද එම අදහස මුල් බැස තිබූ බව වරක් මා හෙළ සිනමා රාජිනිය මාලනී ෆොන්සේකා සමඟ කළ පිළිසඳරකදී හොඳින්ම තහවුරු විය. ඕ ටෝනි රණසිංහයන් පිළිබඳ මතකය අවදි කළේ මෙලෙසිනි
හෙළ සිනමා රැජන මාලිනියගේ මතකය
“මම ටෝනි අයියව මුලින්ම දැක්කේ අපේ අයියා ගෙනාපු සිනමා පත්තරවලින්. මම එයාගෙ පින්තුර පත්තරෙන් කපාගෙන එකතු කළා. මගේ පොත් කවර ඇතුළෙත් එයාගෙ ෆොටෝ තිබුණ බව කාලෙකට පසුව මුණගැසුණු පාසල් මිතුරියක් මට කිව්වා. කොටින්ම මම වැඩිවියට පත් වුණු කාලෙ ඉඳලම ටෝනි අයියට ආසාවෙන් හිටියා කියලා එයා කියනවා. ඇත්තටම ටෝනි රණසිංහ කියන්නේ මම හරිම ආස නළුවෙක්. එයාට තිබුණේ හරිම අහිංසක පෙනුමක්. ඒ අහිංසක පෙනුමට වගේම එයාගෙ මුහුණටත් මම ආස කළා. ඒ වගේම ඔහුගේ රංගනයටත් මම ආස කළා. මම සිනමාවේ ආසම කරපු පෙම්වතා ටෝනි අයියා. ඒ මම චිත්‍රපටයක රඟපාන්න හීනෙන්වත් හිතපු නැති කාලයක. මම වගේම අපේ ඉස්කෝලේ ගොඩක් ගැහැනු ළමයින්ගේ සිහින පෙම්වතා වුණේ ටෝනි අයියා” ඕ පවසන්නීය.
සිරිල් හා ලිලියන් ප්‍රනාන්දු යුවළට දාව පවුලේ දෙවැනි දරුවා ලෙස වර්ෂ 1937 ජූලි 31වැනිදා ටෝනි රණසිංහ මෝදර දී මෙලොව එළිය දුටුවේය. රණසිංහ හෙට්ටිආරච්චිලාගේ ඉග්නේෂස් ඇන්තනී ද සිල්වා යැයි නම් ලැබූ මේ දරුවා නිසි වයස පැමිණීමත් සමඟ මූලික අධ්‍යාපනය සඳහා යොමු වූයේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයටය. පසුව හෙතෙම සාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ මෝදර ද ලාසාල් විද්‍යාලයෙ අධ්‍යාපනය ලැබීය.
ඉංග්‍රීසි ලිපි පිටපත්කරුවකු ලෙස තම වෘත්තීමය ජීවිතය ඇරඹූ ඔහු එකී වෘත්තියට සමු දෙන්නේ කුඩා කල පටන්ම දුටු සිහිනය සැබෑ කරගැනීමේ අරමුණ ඇතිවය. වර්ෂ 1962දී තම සුපෙම්වතිය වූ ඉන්ද්‍රානි වික්‍රමසූරිය සමඟ විවාහ දිවියට පිවිසි ඇන්තනී රණසිංහ සිය වෘත්තීය ජීවිතයට සමු දෙන්නේ කුඩා වියේ පටන් දුටු නළුවකු වීමේ සිහිනය මුදුන්පත් කරගැනීමේ අටියෙනි. ඒ 1962 වසරේදී සුගතපාල ද සිල්වාගේ අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායම විසින් වේදිකාගත කළ ‘බෝඩිංකාරයෝ’ නාට්‍යයට සම්බන්ධ වෙමිනි. ඉග්නේෂස් රණසිංහ අපේ කට්ටියට හඳුන්වා දුන්නේ ඔහුගේ සහෝදරයා වූ රැලෙක්ස් රණසිංහය. සුප්‍රකට ඡායාරූප ශිල්පියකු වූ රැලෙක්ස් රණසිංහ ඒ වනවිට “අපේ කට්ටියේ” සමාජිකයකුව සිටියේය.
මෙම නාට්‍යයට ඇන්තනී ඉග්නේෂස් රණසිංහ තෝරා ගැනීමත් සමඟ ඔහුගේ නම උච්චාරණය කිරීම ඉංග්‍රීසි බස භාවිත නොකරන අයට අපහසු බව වටහා ගත් රැලෙක්ස් රණසිංහ ඒ වෙනුවට ටෝනි රණසිංහ නම යොදන ලෙස සුගතපාල ද සිල්වාට යෝජනා කළේය. එදා සිට ඇන්තනී ඉග්නේෂස් රණසිංහ ටෝනි රණසිංහ නමින් කලා ලොව බෞතිස්ම විය. ‘බෝඩිංකාරයෝ’වලින් අනතුරුව ‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’ ,‘වගුරුබිම’, ‘විරූපී මුහුණ’, ‘ජුලියස් සීසර්’ හා ‘වැනීසියේ වෙළෙන්දා’ යන නාට්‍ය සඳහා ද ඔහු රංගනයෙන් දායක විය.
වේදිකාවේ රංගන අභිෂේකය
මෙම සියලු නිර්මාණ අපේ කට්ටියේ වැඩක් විය. මෙම කණ්ඩායම නියෝජනය කළ සෙසු උදවිය වූයේ සිරිල් බී. පෙරේරා, ධර්මසිරි වික්‍රමරත්න, ඔගස්ටස් විනයාගරත්නම්, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, නාමෙල් වීරමුණි, ඩබ්ලිව්. ජයසිරි වැනි මෙරට කලා කෙත පෝෂණය කළ කලාකරුවන්ය.
ඔහුගේ වේදිකා රංගන දිවියේ සුවිශේෂී මං සලකුණුක් වූයේ ධර්මසිරි වික්‍රමරත්න විසින් නිෂ්පාදනය කළ “රන් තෝඩු” නම් වේදිකා නාට්‍යය. එවක ධර්මසිරි වික්‍රමරත්න සේවය කළේ ‘දැන්වීම්කරණ’ ඒජන්සියකය. ඔහු “රන් තෝඩු” නාට්‍ය සඳහා ටෝනි රණසිංහ තෝරා ගත්තේය. 1963දී වේදිකා ගතවූ “රන් තෝඩු”නාට්‍යයේ රංගනය වෙනුවෙන් එම වසරේ වේදිකාගත වූ නාට්‍ය අතරින් හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය ආණ්ඩුකාරවරයා අතින් ලබා ගැනීමට ටෝනි රණසිංහ සමත් විය. එය ඔහුගේ දිවියේ අමතක නොවන සලකුණකි.
එලෙසින් සිය ප්‍රතිභාව මොනවට ප්‍රදර්ශනය කළ මේ තරුණයා දෙස සිරිසේන විමලවීරයන්ගේ දෑස යොමු වී තිබිණි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘පුංචි අම්මා’ සිනමාපටය සඳහා ටෝනි තෝරා ගැනීමට ඔහු දෙවරක් නොසිතුවේය. නමුත් කිසියම් හේතුවක් නිසා එම සිනමාපටය තිරගත වූයේ නැත.
අනතුරුව මේ තරුණයා වෙත අවධානය යොමු කළේ හෙළ සිනමාවේ ස්වර්ණමය සලකුණ ලෙස පිළිගැනෙන ‘රේඛාව’ නිර්මාණය කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය. හෙතෙම සුගතපාල ද සිල්වාගේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍යය නරඹා ටෝනි තම සිනමා නිර්මාණයකට යොදා ගැනීමේ අපේක්ෂාවෙන් පසු විය. ඒ අනුව 1964දී ඔහු විසින් නිෂ්පාදනය කළ ‘ගම්පෙරළිය’ සිනමාපටයේ ප්‍රධාන චරිතයක් වන බලදාසගේ චරිතය සඳහා ටෝනි තෝරා ගත්තේය. ඉන්පසු ඔහුගේ විශිෂ්ට සිනමා නිර්මාණය වූ ‘දෙලොවක් අතර’ සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා ද ටෝනි රණසිංහ නම් අග්‍රගණ්‍ය සිනමා රංගවේදියා තෝරා ගැනුණි. රිය අනතුරක් සිදු කොට පලා ගොස් මානසිකව පීඩා විඳින තරුණයකුගේ චරිතය ඒ තුළින් නිරූපණය විය.
රිදී තිරය බැබළු රංගන ප්‍රතිභාව
ටෝනි රණසිංහගේ කඩවසම් පෙනුමත් සතතාභ්‍යාසයෙන් ගොඩනඟාගත් රංග කුසලතාවත් නිසා සිනමාවේ බොහෝ අවස්ථා ඔහුට හිමි විය. බොහෝ සිනමාපටවල අහිංසක කඩවසම් ප්‍රේමවන්තයා බවට පත්වීමේ ප්‍රධාන වරම හිමි වූයේ ටෝනි රණසිංහටය. මෙනිසා ආරම්භයේ පටන්ම ඔහු බොහෝ විට ප්‍රේක්ෂකයන්ට සමීප වූයේ තිරයේ වීරයා හෙවත් ප්‍රේමවන්තයා ලෙසිනි. නමුත් පසුව ඔහුට විවිධ චරිත නිරූපණය කිරීමට අවස්ථාව උදා විය. විවිධ චරිත තුළින් මතු වූ මහා රංගන පෞරුෂය
විශේෂයෙන්ම සුගතපාල සෙනරත් යාපා විසින් අධ්‍යක්ෂණය කළ ‘හන්තානේ කතාව’ සිනමාපටයේ සරසවි දිවියේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන දක්ෂ සරසවි ශිෂ්‍යයකුගේ චරිතයත්, ගාමිණි ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘පරසතු මල්’ හි තමා නොකළ වරදකට හසුවන තරුණයකුගේ චරිතයත්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘බැද්දේගම’ සිනමාපටයේ සිලිඳු (ජෝ. අබේවික්‍රම) අතින් වෙඩි කන ආරච්චිල ලෙසත්, පී. වික්ටර් පෙරේරා සහ ටියුලින් පනාපිටිය සම නිෂ්පාදයක් වූ ‘හුලවාලී’ හී නගරයේ සිට ගමට පැමිණ රැහේ නායකයා වූ ධාරාගෙන් සම් මිලට ගැනීමෙන් නොනැවතී ඔහුට අයිතිව තිබූ වටිනාම වස්තුව වූ ඔහුගේ බිරිය රැගෙන යන කුලවත් වෙළෙන්දෙකුගේ චරිතයත්, විජය ධර්මශ්‍රී ගේ ‘දුහුළු මලක්’ හි මානසික වශයෙන් දැඩි ලෙස කම්පනයට පත්, තම පවුලට අසීමිත ව ආදරය කරන කාර්යබහුල ගණකාධිකාරවරයකුගේ චරිතයත්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අහසින් පොළොවට’ චිත්රපටයෙහි තම බිරියට අසීමිත ව සෙනෙහස දැක්වූ නමුත් ඇයට සිරගත දිවියක් උරුම කළ සුළු හෝ සතුටක් නිදහසක් ලබා නොදුන් ආත්මාර්ථකාමී සැමියෙකු මෙන්ම බිරිය තමා ඉදිරියේම මිය යන විට කිසිත් සිදු කර ගත නොහැකිව අසරණ වන හා ඇගේ මරණයෙන් පසු තමා ඇයට සැලකූ ආකාරය ගැන සිතමින් දැඩි ලෙස පශ්චාත්තාප වෙමින් තමා තුළටම යොමූ වූ මනෝභාවයකින් කටයුතු කරන වෛද්‍යවරයකු ලෙසත්, ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ කුල හා වලව් මාන්නයෙන් හිස උදුම්වාගෙන තම එකම දියණියගේ සතුට ඇගේ දිවියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් පශ්චාත්තාප වන පියෙකුගේ චරිතයත්, ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු’ හි රඟ දැක්වූ වියපත් ප්‍රේමවන්තයාගේ චරිතයත් මෙරට ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන තාත්වික රංගනය මොනවට ප්‍රදර්ශනය කළ චරිතය.
‘අහසින් පොළොවට’ චිත්‍රපටයේ චරිත නිරූපණය ඉතාම තාත්වික අන්දමින් නිරූපණය කිරීම නිසා එම වසරේ හොඳම නළුවාට හිමි ජනාධිපති සම්මානය දිනා ගැනීමට ද ටෝනි රණසිංහ සමත් විය. රණසිංහයන්ගේ රංගන දිවියේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ රංගන දිවියේ හිණිපෙතේ සිටියදී පවා ඇතැම් කුඩා චරිතවලට සහාය නළුවෙකු ලෙස පණ පෙවීමට තරම් නිහතමානී අයකු වීමය. ඊට උදාහරණ ලෙස ‘එක්ටැම්ගේ’ හා ‘හිත හොඳ මිනිහෙක්’ චිත්‍රපට පෙන්වා දිය හැකිය. ‘එක්ටැම්ගේ’ චිත්‍රපටයේදී නගරයෙන් ගමට ආ ඉංජිනේරු කණ්ඩායමක සාමාජිකයකු ලෙස මුළු තිර කාලය විනාඩි තුනක් හෝ හතරක් තරම් වූ ඉතා කුඩා කාල පරාසයකි. පෙර වැරදි නිසා බිරිය අත්හැර ගොස් කලකට පසු තමා කළ වැරදි වැටහී බිරියත් දරුවාත් සොයන පුද්ගලයෙකුගේ සුළු චරිතයක් ‘හිත හොඳ මිනිහෙක්’ චිත්‍රපටයේදී ඔහු නිරූපණය කළේය. මෙහි ප්‍රධාන චරිතය රඟ දැක්වූයේ අග්‍රගණ්‍ය නළු ගාමිණී ෆොන්සේකා ය. ඔහු මෙතෙක් රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව සියයකට අධිකය.
පුංචි තිරයට දුන් දායකත්වය
වේදිකාවෙන් සිනමාවට පිවිසියද ටෝනි රණසිංහ කිසිදා වේදිකාව අමතක කළ අයකු නොවේ. පසුකාලීනව රූපවාහිනී නාට්‍ය සඳහා හෙතෙම රංගනයෙන් දායක විය. ඒ අතර ආවර්ජනා, සුවඳ කැකුළු, රයිගම් යාළුවෝ, එකට ගැටුම, හතේවසම හා මනෝකාය ආදී ටෙලිනාට්‍ය සුවිශේෂී ස්ථානයක් ගනී.
ටෝනි රණසිංහයන් යනු රංගනය පමණක් මිට මොළවා පැමිණි අයෙකු නොවේ. ඔහු ද්වි භාෂා ප්‍රවීණයකු විය. එනිසාම චිත්‍රපට තිර රචනයට ඔහු පිවිසෙන්නේ නිරායාසයෙනි. ඔහු තිර කතා ලියූ චිත්‍රපට අතරින් ‘කොටි වලිගය’, ‘අවරගිර’, ‘කෙළිමඬල’ හා ‘පවුරු වළලු’ විශේෂ තැනක් ගනී. චිත්‍රපටයන්හි තිර රචනය සඳහා ඔහු හොඳම තිර රචනයට හිමි සරසවි, ජනාධිපති ආදී වූ සම්මාන රාශියකින් පිදුම් ලැබීය.
පොත්පත් රචනයට හා පරිවර්තනයට හේ දස්කම් දැක්වූ අතර, ටෝනිගේ කෘති ලෙස ජෝගි හමාරයි, දොළොස්වන රාත්‍රිය, හැමදාම ඔබ මගේ හා මට කවුරුත් ආදරේ නෑ ආදී කෘති දැක්විය හැකිය. ‘ආදරණීය අයිරා’ ඔහු විසින් සඟරාවකට කොටස් වශයෙන් ලියන ලද එකම නවකතාවය.
ලංකාවේ එතෙක් මෙතෙක් සිටි විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය පරිවර්තකයන් අතරින් විශිෂ්ට තැනක් හිමි වන්නේ ටෝනි රණසිංහටය. හැම්ලට්, ජුලියස් සීසර්, ඔතෙලෝ ඔහු අතින් සිංහලයට නැඟුණු අතර, මීට අමතරව ඔහු විසින් පරිවර්තනය කළ දිලිප් කුමාර්ගේ චරිතාපදානය ද සුවිශේෂීය.
රසික කොටුදුරගේ