චන්දික නානායක්කාර කියන්නේ පුංචි තිරය තුළින් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය වඩාත් ඉහළින් ලබන්නට වාසනාවන්ත වූ අයෙක්. එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන චන්දික කාලයක් තිස්සේ දැක්කේ නම් නපුරු චරිත තුළින්. නමුත් අද වෙද්දී නම් එකිනෙකට වෙනස් වූ චරිත දෙකකින් ප්‍රේක්ෂකයන් අතරට එන ඔහු සමඟයි මේ කතාබහ.
මේ දිනවල විකාශය වන ‘පාරාදිසයේ‘ සහ ‘සංසාරේ‘ ටෙලි නාට්‍යවල එකිනෙකට වෙනස් චරිතනේ කරන්නේ, ඒ ගැන කතා කළොත්?.
ඔව්. පැහැදිලිවම එකිනෙකට වෙනස් චරිත. පසුගිය කාලෙම මට ලැබුණේ නපුරු චරිත සහ දුෂ්ට චරිත. ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘පාරාදීසයේ‘ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ හසුන් සමීර. එ් ටෙලි නාට්‍යයේ දාබරේගේ චරිතය කරන්නේ මම. චරිතය ගැන කියනවා නම් වගීෂ කියන රංගන ශිල්පියාගේ කළමනාකරු විදියට චරිතය දිග හැරෙන්නේ. ලංකාවේ අපිට ඒ වෘත්තීය එතරම් හුරුපුරුදු නොවුණට ගොඩක් අය දන්නවා හොලිවුඩ් බොලිවුඩ් ශිල්පීන්ට නම් කළමනාකරුවන් ඉන්න බව. දාබරේ කියන්නේ එවන් චරිතයක්. ඒ චරිතය විකට චරිතයක් නෙවෙයි. නමුත් ඒ චරිතය හැසිරෙන විදිය සහ ඔහුට තියෙන වගකීම ඉටු කරන විදිය එක්ක බලන් ඉන්න අයට හාස්‍යය මතුවෙනවා. ඒ නිසා ටෙලි නාට්‍යයේ තියෙන අනිත් චරිත එක්ක බැලුවම ඒ චරිතය මේ වෙද්දී කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා තියෙනවා.
‘සංසාරේ‘ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ලක්ෂ්මන් පුෂ්පකුමාර. ඒ තුළ මම කරන්නේ මැණික් ව්‍යාපාරික කෙවින් කියන චරිතය. ඔහුත් තාත්තා කෙනෙක් තමයි. නමුත් එහි කළු සුදු කියන දෙපැත්තම තියෙනවා. ඒ තාත්තා තමන්ගේ දුව වෙනුවෙන් කෙනෙක් මරන්න හරි සූදානම් කෙනෙක්. ඒ එයාගේ ජීවිතේ එකම දේ තමන්ගේ දුව නිසා, ඒ දුවට හොඳ අනාගතයක් හදලා දෙන්න ඕනේ නිසා දුව යාළු වෙනකෙනා නොගැළපෙන කෙනෙක් නම් එයාව මරලා හරි දුවගෙන් ඈත් කරනවා. බැලුබැල්මට දරුණු චරිතයක්. නමුත් දරුවාගේ පැත්තෙන් බැලුවම වෙනස් විදියට බලන්න පුළුවන්. ඒ නිසා බලන ඕනෑම කෙනෙක්ට තමන්ගේ පැත්තෙන් බලන්න පුළුවන්. හැම අතින්ම වෙනස් චරිතයක්.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
අද අපට සිටින ප්‍රවීණ පිටපත් රචකයෙක් වන ගයාන් හෙට්ටිආරච්චිගේ මුල්ම අධ්‍යක්ෂණය ලෙස කළ “දෑස මත මොහොතක්” ටෙලි නාට්‍යය ලබන මාසේ ඉඳලා ස්වාධීන රූපවාහිනියෙන් නරඹන්න පුළුවන්. ඒ එක්කම මේ වෙද්දී රූගත කරන ජගත් බෙනරගම අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යය ඉදිරියට එන්න තියෙනවා.
“දෑස මත මොහොතක්” හි චරිතය ගැනත් කියමු ද?
ව්‍යාපාරිකයකුගේ චරිතයක්. යාළුවෝ තුන්දෙනෙක් එක්ක එකතුවෙලා කරපු ව්‍යාපාරයක, මේ වෙද්දී තමන්ගේ දරුවෙක්ව, ධනවත් ව්‍යාපරිකයාගේ දුවට විවාහ කර දීලා අපේ ප්‍රශ්න විසඳා ගන්න හදන වෙනස්ම විදියේ චරිතයක්.
මේ වන විට ක්ෂේත්‍රයට පිවිස අවුරුදු විසි එකක්. මේ කාලය තුළ ලැබුණු චරිත ගැන තෘප්තිමත් ද?
ඔව්. ටෙලි නාට්‍ය ගත්තම මුල් කාලයේ ඉඳන් අද වෙනකම්ම කිසිදු අඩුවකින් තොරව මට වැඩ තිබුණා. මේ වෙද්දී මම සියලුම චරිත වගේ රඟපාලා තියෙනවා. අද වුණත් එකම කාලයක නාළිකා දෙකක දුෂ්ට චරිතයක් සහ ප්‍රේක්ෂකයාට යම් හාස්‍යයක් එකතු කරන චරිතයක් කරන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මාව විශ්වාස කරලා මට ඒ චරිත දෙකටම අධ්‍යක්ෂවරු කතා කළ නිසානේ. පසුගිය කාලේ මම කරපු චරිත ගැන කතා කළොත් මට අවස්ථාව ලැබුණා ලංකාවේ පළවෙනි සඟ රජු විදියට සලකන තිබ්බටුවාවේ බුද්ධ රක්ඛිත කියන හාමුදුරුවන්ගේ චරිතය ‘භවතරණය‘ ටෙලි නාට්‍යයේ සහ සිනමාපටයේ මට කරන්න. ඒ චරිතය මෙරට ජීවමානව සිටි චරිතයක්. ඒ එක්කම ලංකාවට ක්‍රිස්තු දහම ගේන, ලංකාවේ ජීවමාන ජේසුස් වහන්සේ විදියට සලකන ගොන්සාල්වෙස් පියතුමා. එතුමාගේ චරිතය මට කරන්න ලැබෙනවා ජැක්සන් ඇන්තනී නම් විශිෂ්ට නිර්මාණවේදියාගේ ‘දස්කොන්‘ නාට්‍යයේ. එතැනින් එහාට ගියාම සියලුම වපසරියේ චරිත ලැබුණා. 2006-2008 කාලවලදී ලංකාවේ පරමාදර්ශි පෙම්වතා වෙනවා. ඒ අවුරුදුවල ලංකාවේ ජනප්‍රියම නළුවාට හිමි සම්මාන ගන්නවා. මේ එකක්වත් මම ඉල්ල ගෙන ගිහින් ලබා ගත් චරිත නොවෙයි. මට ලබා දුන් චරිත. මම කොහොමත් සර්ව සුබවාදී විදියට හිතන කෙනෙක්. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් නැහැ මෙහෙමනේ කියලා. මම හිතන විදිය සහ මම ජීවත් වෙන රටාව එක්ක මම තෘප්තිමත්.
ඔබ ටෙලි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළා. ඒ වගේම අධ්‍යක්ෂණය කරන්න අදහසක් නද්ද?
මම මේ අවුරුදු 21ක කාලය තුළ බොහෝ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරලා තියෙනවා. නමුත් මම දැකපු දේ තමයි අධ්‍යක්ෂවරයා සතු ඉවසීම වගේ දේවල් තාම මගේ ගාව නැහැ. මට ඒක කර ගන්න බැහැ කියන දේ මානසිකව දැනෙනවා. ඒ හැර ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම, නළු නිළියන් හැසිරවීම නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තම අධ්‍යක්ෂවරයා කියන්නේ පුටුවක් මත ඉඳගෙන සිටීම නෙවෙයි. තව කුසලතා බොහොමයක් තියෙන්න ඕනේ. ටෙලි නාට්‍ය දෙක තුනක් රඟපාලා අධ්‍යක්ෂණය කරන එක ගැන නෙවෙයි මම කියන්නේ. හොඳ අධ්‍යක්ෂවරු එක්ක සංසන්දනය කරද්දී මට බයකුත් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නැහැ කවදාවත් අධ්‍යක්ෂණය කරයි කියලා. මගේ අනාගත සැලසුමේවත් මම අධ්‍යක්ෂණය කරනවා කියන එක නැහැ. හැමෝටම හැමදේම බැහැනේ. අධ්‍යක්ෂණය කියන දේ මම දකින්නේ බොහොම බැරෑරුම් කාරණයක් විදියට. ඒ නිසා අධ්‍යක්ෂවරයෙක් වීමේ හීනයක් මට නැහැ.
ජිවිතේ දිහා සර්වසුබවාදීව බලන කෙනෙක් කිව්වා, ජිවිතේ එදා මෙදාතුර ආ මඟත් එක්ක අද ජිවිතේ දකින්නේ කොහොමද?
ජිවිතේ කියන දේ තුළ මම හැමදාම මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා. ඒක මේ මිනිසුන්ට කියන්න හෝ සමාජ මාධ්‍යය තුළ ප්‍රචාරය කරන්න නෙවෙයි. උදාහරණයක් විදියට මම කොරෝනා එන්න කලින් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයෙක් විදියට බෞද්ධ මනෝ විද්‍යා උපදේශනය කියන ඩිප්ලෝමාව සම්පූර්ණ කළා. ඒක මම කළේ අවසාන දිනයේ ලෝගුව දාලා ෆොටෝ එක ගන්න නෙවෙයි. මම ඒ ෆොටෝ එක ගන්න ගියෙත් නැහැ. මට ඒ දේවල් වැඩක් නැහැ. මට ඕනේ වුණේ මගේ ජීවිතේට දෙයක් ඉගෙන ගන්න. ඊට පස්සේ මම එහි උසස් ඩිප්ලෝමාව කරන්න පාලි සහ සංස්කෘතික විශ්වවිද්‍යාලයට ගිහින් බැලුවා. ඒ වගේම මම පොතපත කියවන කෙනෙක්. ඒ දේවල් එක්ක ජිවිතේ ගැන පසුතැවීමක්, කලකිරීමක් නැහැ. මේක ජිවිතේ ගැන ගැඹුරින් කතා කරන්න ඕනේ දෙයක්. එක පාරට ලිපියක පුංචි ජේදයකින් කිව්වොත් අපි කියන දේම තේරුම් යයි ද කියලා හිතෙනවා. මොකද ඔබ අහන්නේ ජිවිතේ දකින්නේ කොහොමද කියලා. ජිවිතේ ගැන නිර්වචනය කරන්න ගියොත් ඒක ලොකු කතාවක්. මම මේ කියන්නේ මම ජිවිතේ දිහා සර්වසුබවාදීව බලන නිසා මට පේන කෝණයෙන්. තව කෙනෙක් තව විදියට මේක දකින්න පුළුවන්. මම මේ හැමදේම හදාරන්නේ රස්සාවක් ගන්න නෙවෙයි. මම හැමවෙලේම ජිවිතේ ගැන ඉගෙන ගන්නවා. පත්තරේ යන ලිපියකින් වුණත් ජීවිතේට ගන්න දේවල් තියෙනවා. ඒ නිසා මම පොත පත කියවනවා, ලිපි කියවනවා. ජිවිතේ ගැන හදාරන්න තැනක් තියෙනවා නම් මම ඒ දේ ඉගෙන ගන්නවා. හොඳම උදාහරණය පසුගිය දවස්වල මට ආව නිර්මාණ තුනකටම මම බැහැ කිව්වා. මට අවශ්‍ය විවේකය, නිදහස සහ තියෙන වැඩ ටික කළමනාකරණය කර ගන්න අවශ්‍ය නිසා බොහොම ආදරණීයව ප්‍රතික්ෂේප කළා.බොහෝ දේවල් අල්ලා ගැනීම තුළ නෙවෙයි සැනසීම තියෙන්නේ, බොහෝ දේවල් අතහැරීම තුළයි සැනසීම තියෙන්නේ. ඒ නිසා මම මනසින් පිරිලා කියලා හිතලා ජිවත් වෙනවා.
අනුෂා රණසිංහ