Home » ගල්ගමුවේ ට්‍රැෆික් සැරයන්ගේ ජීවිතයේ අවසන් රාජකාරිය

ගල්ගමුවේ ට්‍රැෆික් සැරයන්ගේ ජීවිතයේ අවසන් රාජකාරිය

by thanushika
October 12, 2024 12:30 am 0 comment

රටක සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සාධකය වන්නේ මානව සම්පතයි. නීරෝගි මෙන්ම ශක්තිමත් මානව සම්පතකින් රටක් දියුණුවේ හිණිපෙත්තටම ගෙන යා හැකිය. නමුත් හෙට දින රටේ අනාගතය භාර ගෙන රට සංවර්ධනය කිරීමට සිටින සම්පත අකාලයේ රටට අහිමිව යන්නේ නම් එවන් රටක් කෙසේ දියුණු කරන්නද? දිනපතා සිදුවන රිය අනතුරුවලින් අහිමි වන මිනිස් ජීවිත ගණන එන්න එන්නටම වැඩිවන බවක් පෙනෙන්නට ඇත.

එවැනි රිය අනතුරක් මුලින්ම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීම සිදු කළ යුතුය. ‍එය මෙරට සම්මත නීතියකි. රිය අනතුරේ ස්වභාවය, අගතියට පත් අය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීම පොලිසියට පැවරෙන කාර්යයකි. එලෙස වාර්තා වූ රිය අනතුරක් සම්බන්ධව පරීක්ෂණයට ගිය ගල්ගමුව පොලිසියේ සැරයන්වරයෙකුට අත් වූ ශෝචනීය ඉරණමකි මේ.

ඔහු ගල්ගමුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරියේ යෙදී සිටි සැරයන් (55157) එස්. එම්. ධර්මවර්ධනයි.

ඉකුත් 30 වැනිදා රාත්‍රියේ ගල්ගමුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව ඔහු රාජකාරියේ නිරතව සිටියේය. ඒ අතරේ ගල්ගමුව නගරයේ මුස්ලිම් පල්ලිය අසලදී යතුරුපැදි අනතුරක් පිළිබඳව පොලිසියට වාර්තා විය. පොලිසිය මඟින් එය මහමඟ සිටි රථවාහන අංශයේ නිලධාරීන්ට දැනුම් දුණි. එහි සිටි නිලධාරින්ගෙන් සැරයන් ධර්මවර්ධන සහ තවත් සැරයන්වරයෙකු ගල්ගමුව නගරය බලා පිටත් වූහ. ඒ වනවිට තුවාලකරුවන් රෝහල්ගත කර තිබුණි. එහෙත් අනතුරට පත් යතුරුපැදිය මාර්ගයේ පෙරැළී තිබිණි. අනතුර සිදුවූ ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කළේ සැරයන් ධර්මවර්ධන සහ සෙසු නිලධාරියා විසිනි.

ධර්මවර්ධන පොලිස් නිල ඇඳුමෙන් සිටියේය. ඒ වන විට ඔහු ආරක්ෂිත හිස් වැස්ම පවා ගලවා සිටියේ නැත. පාරේ පෙරළී තිබුණු යතුරුපැදිය එතැනින් ඉවත් කිරීමට ඔහු සූදානම් විය. ඒ අන් අයගේ ගමනාගමනයට පෙරළුණු යතුරුපැදිය බාධාවක් වී ඇති බැවිනි. ඔහු යතුරුපැදිය කෙළින් කොට මාවතේ මැද සිට අයිනට යාමට සැරසුණා පමණි. ගල්ගමුව නගරයේ සිට පාදෙණිය දෙසට වේගයෙන් පැමිණි යතුරුපැදියක් පොලිස් සැරයන්ගේ සිරුරේ ගැටී ඉදිරියට ඇදී ගොස් පෙරළුණි.

යතුරුපැදිකරුවාට ද, පරීක්ෂණ සිදු කරමින් සිටි සැරයන් ධර්මවර්ධනට ද තුවාලය. අවට සිටි අය දෙදෙනාම ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් ක‍රන ලදි. අපරික්ෂාකාරීව යතුරුපැදිය පැද වූ අනතුර සිදුකළ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවීය. එහෙත් සැරයන් ධර්මවර්ධනගේ තත්ත්වය බරපතළය. මේ නිසා ඔහු රෝහල සතු ගිලන් රථයෙන් එසැණින් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරු පියවර ගත්හ. ඒ වනවිට වේලාව රාත්‍රී 9.00 ට ආසන්නය. එලෙස මාරු කර යැවූ සැරයන්වරයා අනුරාධපුර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔක්තෝබර් මස 01 වැනිදා අලුයම 2.45ට පමණ ජීවිතක්ෂයට පත් විය.

ඒ වනවිට ඔහු 50 වැනි වියේ පසුවිය. ඔහුට බාල වියේ පසුවන දියණියන් දෙදෙනෙකි. බිරිය ගුරුවරියකි. ඔහු ඔවුන් සමීපයේ සිට 30 වැනි දින මොරගොල්ලාගම, නිකවැව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිට ගල්ගමුව පොලිසියේ රාජකාරියට ගොස් හෝරා කිහිපයක් ගතවන්නට පෙර සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම කිසිවකුටත් ඇදහිය නොහැකිය.

‍දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ‍සැරයන් ධර්මවර්ධනයි. ඔහු නිකවැව දේවානම්පියතිස්ස මහා විද්‍යාලයෙන් මූලික සිප්සත හදාරා අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වූ සැණින් 1996 අප්‍රේල් මස 20 වැනි දා පොලිස් සේවාවට බැඳී ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ලෙසට පූනානි යුද හමුදා පුහුණු පාසලට ඇතුළත්ව මූලික පුහුණු පාඨමාලාව හදාරන ලදි.

එතැන් සිට කටුනායක, මඩකළපුව, පොල්පිතිගම, මීගමුව පොලිස් ස්ථාන අතර සේවය කොට අවසානයේ තම සේවාව කිරීම සඳහා ගල්ගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත විය. ඔහු 2020 වසරේ ජනවාරි 01 වැනිදා පොලිස් සැරයන් තනතුරට පත්විය. ගල්ගමුවේ පොලිස් නිලධාරින් මෙන්ම මහජනතාවගේ හිත් දිනා ගත් සැරයන් ධර්මවර්ධන 30 වැනිදා රාත්‍රියේ තවත් සගයෙකු සමඟින් යතුරුපැදි අනතුරක පරීක්ෂණය සඳහා යන්නේ ඒ ඔහුගේ දිවියේ අවසානය බව කිසි විටෙකත් නොසිතන්නට ඇත.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 01 වැනිදා අනුරාධපුර රෝහලේදී සිදු විය. අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස්වලට සිදු වී ඇති හානිය නිසා මෙම මරණය සිදු වී තිබෙන බවට තොරතුරු අනාවරණය වුණි. ඔහුගේ මෘතදේහය නිකවැව තමා මූලික අධ්‍යාපනය හැදැරූ දේවානම්පියතිස්ස මහා විද්‍යාලය ඉදිරිපිට නිවසේ තැන්පත් කර තිබුණි.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ නියෝග මත සැරයන් ධර්මවර්ධන උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස් කෙරිණි. නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාර, මහව සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත බණ්ඩාර, ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි ජීවක රාජපක්ෂ, නිකවැරටිය සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන ඇතුළු පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය තම සහෘදයාට අවසන් ගෞරවය දැක්වීම සඳහා එක්ව සිටියහ.

පොල්පිතිගම - නන්දන කැලේගම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division