Home » රන් ආලේපිත ආභරණ බැංකුවලට උකස් කරන ‘ලෙච්චමීට’ වැරදුණු තැන

රන් ආලේපිත ආභරණ බැංකුවලට උකස් කරන ‘ලෙච්චමීට’ වැරදුණු තැන

by thanushika
October 12, 2024 12:30 am 0 comment

අපරාධ සිදු කරන පුද්ගලයන් සහ කණ්ඩායම් අතර සමහර අවස්ථාවල කාන්තාවන්ද සිටින බව පොලිසිය හෙළි කරගෙන ඇත්තේ අද ඊයේක නොවේ. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් වංචනික ක්‍රියා සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් සැලකිය යුතු පිරිසක් මේ වන විට බන්ධනාගාරගතව සිටින බවද රහසක් නොවේ.

ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශයක ක්‍රියාත්මක වුණ කොල්ල කල්ලියක සාමාජිකයන් පොලිස් අත්අඩංගුවට පසුගියදා පත්වූ අවස්ථාවේදී හෙළි වූයේ එම කල්ලියට නායකත්වය දී ඇත්තේ කතුන් දෙදෙනෙකු බවය. එම කතුන් දෙදෙනා එකම පවුලේ ඥාතින් බවට තොරතුරු හෙළි වුණේද පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදීය.

එලෙසම විදේශ රැකියා ලබා දෙනවා කියා අසරණ අහිංසක පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කාන්තාවන් රැසක් ගැන ද පොලිසියට පසුගිය කාලයේ පැමිණිලි ලැබී තිබුණි.

පිරිමින් රවටා නවාතැන්පොළවලට ගෙන ගොස් ඔවුන් සතු මිල මුදල් රන් ආභරණ කොල්ලකා පලා යන මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ ද හරි හරියට නිරතවී අත්අඩංගුවට ගැනුණ කතුන් ගැනත් පොලිස් පොත්වල සටහන් වී ඇත.

මේ අතර ඉතා සංවිධානාත්මකව බස් රථවලට ගොඩවී මඟින් සතු මිල මුදල් අඩංගු පසුම්බි ජංගම දුරකතන, ගමන් බෑග් සොරකම් කර පලායන ‘කාන්තා කණ්ඩායම්’ ගැනද පසුගිය කාලයේ තොරතුරු වාර්තා විය.

ඊටත් අමතරව ජැණ්ඩියට හැඳ පැලඳගෙන සුපිරි වෙළෙඳසැල්වලට පාරිභෝගිකයන් ලෙසින් ඇතුළු වී එම වෙළෙඳසැල්වලින් ඉතා වටිනා භාණ්ඩ සූක්ෂ්මව සොරකම් කරන සංවිධානාත්මක කාන්තා කණ්ඩායම් ගැනද පොලිසියට තොරතුරු වාර්තා වී තිබුණි. එවැනි අය කීපදෙනෙක්ම පොලිසිය විසින් අල්ලාගෙන තිබුණේ සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුවය. වළලු, මුදු, මාල ඇතුළු ආභරණ නියම කැරට් 24 රන් ආභරණ සේ ව්‍යාජ ලෙස සකස් කර බැංකු සහ මුල්‍ය ආයතනවලට උකස් කර මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරම් වංචනික ක්‍රියා සිදු වූයේ අද ඊයෙක සිට නොවේ. එවැනි සිදුවීම් රැසක් ගැන පොලිසිය මීට කලකට පෙර විමර්ශන ආරම්භ කර තිබිණි. මෑත කාලයේ නම් එවැනි සිදුවීමක් වාර්තා වී නැත. එහෙත් එම දිගු නිහැඬියාව බිඳිමින් එවැනි සිදුවීමක් පසුගියදා වාර්තා වූයේ හැටන් ප්‍රදේශයෙනි. මේ වංචනික ක්‍රියාවට මුල් වූයේ ද කාන්තාවකි.

හැටන් සහ යාබද ප්‍රදේශවල මූල්‍ය සහ උකස් ආයතන සහ බැංකුවලට රන් පැහැගැන්වූ ව්‍යාජ ආභරණ උකස් කර වංචනිකව මුදල් ලබාගන්නා කාන්තාවක් පිළිබඳව එම ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී තිබුණේ මාස කිහිපයක පටන්ය.

පොලිසිය මේ ජාවාරම්කාරිය සොයා ගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් අනුවය. ඒ අතර මේ වංචාකාරිය නැවතත් ක්‍රියාත්මක වූවාය. ඒ රන් පැහැගැන්වූ ආභරණ උකස්හල්වලට උකස් තබා වංචනිකව මුදල් ලබා ගැනීම සඳහාය.

මේ වංචනික ක්‍රියාව සිදු කරගෙන යන කාන්තාව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියාය. ඇය පසුගියදා නැවත කොළඹ සිට හැටන් බලා එන්නේ රන් ආලේපිත ආභරණ කිහිපයක් ඉතා සූක්ෂ්මව හැටන් උකස්හලකට උකස් කර මුදල් ලබා ගැනීම සඳහාය. මේ කාන්තාවට තමන් මෙතෙක් සිදු කරගෙන ආ ජාවාරමට තිත තබන්නට වන්නේ මෙතැනදීය.

රන් ආලේපිත මුදු කිහිපයක් හැටන් නගරයේ උකස්හලකට උකස් කිරීමට පැමිණි මේ කාන්තාව ගැන සහ ඇය සතුව තිබෙන ව්‍යාජ ආභරණ පිළිබඳ සැක පහළ කළ උකස් මධ්‍යස්ථානයේ හිමිකරු වහාම ඒ බව දැනුම් දෙන්නේ හැටන් මූලස්ථාන පොලිසියටය.

මේ තොරතුරට අනුව ක්‍රියාත්මක වූ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන ඒ පිළිබඳව හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර සහ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා යන නිලධාරීන්ද දැනුම්වත් කර ඒ පිළිබඳ විමර්ශන භාර කරන්නේ හැටන් මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංකටය.

අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ අදාළ උකස්හලට යන පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක සැකකාර කාන්තාව අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ මෙවැනි කතාවකි.

මේ සැකකාර කාන්තාව 48 හැවිරිදිය. ඇය තිදරු මවකි. පදිංචිය වටවල පොලිස් වසමේ ‘වැලිඔය‘ වත්තේය. ඕ කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියාය.

මේ කාන්තාව රන් ආලේපිත මුදු කරාබු ඇතුළු ආභරණ හැටන් සහ යාබද ප්‍රදේශවල බැංකු, මූල්‍ය සහ උකස් මධ්‍යස්ථාන වෙත උකසට තබා මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාව සිදු කරන්නේ කලක සිටය. ඇය උකස් කරන රන් ආලේපිත මුදු, කරාබු, ව්‍යාජ ඒවාදැයි නියමාකාරයෙන් හඳුනා ගැනීමට අදාළ උකස් මධ්‍යස්ථානවල ඇති රන් ආභරණ හඳුනාගන්නා යන්ත්‍රවලටවත් නොහැකි වීමද සුවිශේෂිය. සැකකාරිය සතුව තිබුණ ව්‍යාජ රන් ආභරණ කිහිපයක් පොලිසිය විසින් සොයා ගැනිණි.

අත්අඩංගුවට ගත් සැකකාරිය හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවාගේ අධීක්ෂණයෙන් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේනගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක ඇතුළු කණ්ඩායම විමර්ශන සිදු කරන ලදි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division