Home » පොලිස් කූඩුවෙන් නිමවූ හැටහතර ලක්ෂයේ ගජමුතු – මුතුඇට ගනුදෙනුව

පොලිස් කූඩුවෙන් නිමවූ හැටහතර ලක්ෂයේ ගජමුතු – මුතුඇට ගනුදෙනුව

by thanushika
October 12, 2024 12:30 am 0 comment

ගජමුතු දෙකක් හා මුතු ඇට හයසියයක් රුපියල් හැටහතර ලක්ෂ පනස්දහසකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී ලද තොරතුරක් මත මාතලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ගේ උපායශීලීත්වය ඇතිව මීට සම්බන්ධ පුද්ගලයන් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදාය.

කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාරට මොරවැව ගුවන් හමුදා කඳවුරේ පෞද්ගලික මිතුරෙකු මාර්ගයෙන් ලද තොරතුරු අනුව මේ වැටලීම සිදු කරන්නේ දුරකතන අංකයක් හරහා ගනුදෙනුකරුවන් දුරකතනයෙන් සම්බන්ධ වීමෙන් අනතුරුවය. ගජමුතු සහ මුතුඇට මිලදී ගැනීමට පණිවිඩ හුවමාරු කරගනිමින් කතාබහ කර අවසන් තීරණයකට යම් ප්‍රමාණයකට තහවුරු කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

ඒ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ ගේ උපදෙස් පරිදිය. මාතලේ නගරය වැනි ස්ථානයක මුදල් හුවමාරු කිරීම යම් අයකුට සැකයක් ඇති වුවහොත් මේ මෙහෙයුමට බාධා ඇතිවන නිසා ජාවාරමුන් අකුරණ ප්‍රදේශයට ගෙන්වා ගැනීමටත්, එහෙත් එම ස්ථානය සුදුසු නැති නිසා මාතලේ පොලිස්බල ප්‍රදේශයේ කූඹියන්ගොඩ පාලම අසල පාළු ස්ථානයක ගනුදෙනු කිරීමට සහ මුදල් ලබාදීමට එකඟතාවය පළ කර ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි වන්නේ ජාවාරම්කරුවන් සමඟ කළ කතාබහේදීය.

ඒ වන විටත් ගජමුතු මිලදී ගන්නා අය පිළිබඳ ජාවාරම්කරුවන් අතර ඇතිවූ විශ්වාසය නිසාම කූඹියන්ගොඩ පාලම අසලදී ගජමුතු සහ මුතුඇට පරික්ෂා කිරීමට එකඟතාවය ද පළ විය. මොවුන් බස්රථවලින් ගමන් කරන අය බවද හෙළිවූ අතර ඔවුන් බළකඩුව පාලම අසලට ගෙන්වා ගැනීම සාර්ථකව සිදු කැරිණි.

“මුතුඇට හයසීයක් තියෙනවා… එක මුතු ඇටයක් රුපියල් දහදාහකට දෙනවා” යැයි ජාවාරම්කරුවෝ පැවසූහ.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන් පුද්ගලයින් 4 දෙනා අත්අඩංගුවට ගන්නේ ඔවුන් තුෂ්ණිම්භූත කරමිනි.

මෙම පුද්ගලයින් පවසා ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ අයෙකු තමන් සතුව ගජමුතු සහ මුතු ඇති බව පවසා සමාජ මාධ්‍යවල දැන්වීමක් පළකර තිබූ බවයි. ඒ අනුව ඔහු සොයා ගොස් ඒවා ලබාගෙන විකුණා ගැනීමට උත්සාහ කරද්දී පොලිසියට කොටුවූ බවයි.

සැකකරුවන් හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, පූඬළුඔය සහ ගුන්නෑපාන ප්‍රදේශවල පදිංචිකරුවෝය. මේ අතර සැකකරුවන් අතර අවුරුදු තුනක පමණ ළමයකු ද සිටි බැවින් ඒ ගැන සොයා බලද්දී අනාවරණය වී ඇත්තේ පළමු සැකකරුගේ දරුවා බවය. බිරිය එදින වෙනත් ගමනක් ගොස් සිටි නිසා පුතු නිවසේ තනි නොකර මුදල් අවශ්‍යතාව මත ගෙන ආ බවද ඔහු ප්‍රකාශ කර ඇත. පසුව බිරියට හා පවුලේ නෑදෑයින්ට කතා කර ඔවුන් ගෙන්වා ගෙන දරුවා මවට බාර දීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම පුද්ගලයින් සතුව තිබී ගජමුතු දෙකක් සහ මුතු ඇට එකසිය හැත්තෑඑකක් සොයා ගැනිණි. පළමු පුද්ගලයා සතුව ගජමුතු එකක් හා මුතුඇට එකසිය හැත්තෑ එකක්ද, දෙවන සැකකරු සතුවද ගජමුතු එකක් සඟවා තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් අර මෙම සැකකරුවන් සත්ව වෘක්ෂලතා පනත අනුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් නිරන්තරයෙන් පුරාවස්තු සෙවීමට ඇල්මක් දක්වන බවයි.

මාතලේ දිසා මහේස්ත්‍රාත් ආර්.පී.කේ.එන්. රංකොත්ගේ මහත්මිය නියෝග කෙළේ එක් අයෙකුට රුපියල් තිස්දහසක දඩ මුදල් ගෙවන ලෙසත් ගජමුතු හා මුතුඇට රාජසන්තක කරන ලෙසය.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේගේ උපදෙස් මත මාතලේ පොලිස් අධිකාරි එස්.පී.එම්. ෆාරුක්ගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාරගේ මෙහෙයවීමෙන් කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති කැලුම් බණ්ඩාර, උප පරීක්ෂක ප්‍රදීප්, සැරයන්වරුන් වන (57193) ඒකනායක, (21421) නලින්ද, (74224) බණ්ඩාර, කොස්තාපල්වරුන් වන (77615) වීරරත්න, (73181) ලයනල් ප්‍රබුද්ධ, (83301) උදෙෂ්, සැරයන් රියැදුරු (1007) බොපේගෙදර යන නිලධාරිහු වැටලීමට සහය වූහ.

ප්‍රියන්ත සුමනසේන - උකුවෙල සංචාරක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division