අඳුරු අහසේ රිදී පැහැයක්…
නැගී වියැකී යයි වරින් වර..
ගැබිනි මවුවරු දහස් ගණනක්..
ලෙස වලාකුළු නඟ යි ඔල්වර..
සීත පිනි පොද මුසුව සුළඟක්..
හමායයි නොතිබූ ලෙසින් පෙර..
ගිමන නිවනා සොඳුරු සුවයක්..
පිරිමදී හැඟුමන් විඩාබර..
සවන් සනසන මියුරු ගීයක්…
ලෙසින් වසිනා වැසි දයාබර..
සොබා දහමත් සොඳුරු දහමක්..
දකින්නට හැකි නම් දෙනෙත් ඇර…
ක්ලැරීන් සේවියර්
සුදොවුන් වලප
රනේ රුවට මා පුතු සුළු මවු ඇකයේ
රනේ රුවට පෑ හුරතල් මතක තියේ
රනේ රුවසේ ගත බබළා වැඩුණ වියේ
රණේ සිප් සරඹ පෑවයි එක සරියේ…
රනේ රුව දිලුන සොළො සැවිරිදි වයසේ
රනේ රුවැති බිම්බා සුරත ගෙන තොසේ
රනේ රස සේම සැප වැළඳුව රිසිසේ
අනේ එපාවී ගියෙ කිම දනිමි කෙසේ….
රනේ සිරුර බබළනවා බැරිය දුකේ
පිනේ මහිමදෝ මට දුක දැරිය හැකේ
බණේ මසිත සැනසෙනවා නැතිය සැකේ
අනේ මෙහෙම බස් මා යුග සවන වැකේ
රන් මාලා රන් මිරිවැඩි රන් කොඬොල
රන් පට රන් වළලු මාහැඟි මිණි කිරුළ
රන් සළු සුසැට බරණින් මට කිමද පල
රන් සිළු පහන් දල්වමි සිත් මැඳුරු තුළ….
සාලිය ගුණවර්ධන, පුජාපිටිය
බලාපොරොත්තුව
පොතක පිටු පෙරළද්දි
අතරමඟ නෙත ගැටුණි
ඔබ තැබු පිටු සලකුණක්….
ඉතුරු පිටු කියවන්න
ඔබ යළිත් නොඑන බව
පැවසුවත් උඩු සිත…..
යටි සිතට අවනතව
පිටු සලකුණ ඉවත්
නොකළෙමි තවම මම….
මාලතී රූපිකා පුංචිහේවා
අහං වන්දාමි තං ගරු !
කිරුළු හිස රන්දන්න…
වෙර දැරූ ඔබ…
වරක ගිනි පුපුර ලෙස….
විටෙක උණුසුම රඳන…
අපේ පොඩි හීනවලට තව තවත් අප ළං කෙරුව…
ඔබට ලද ගුරු පඩිය…
ආයෙ අපිටම දුන්නු…
අපේ ගුරු මවු පියවරු …
මිහිපිට දෙවිවරුය…
වරදෙදි අප තළා…
තරවටු කලා…
ආදරෙන් අප බලා…
සැම විටම ඔවදන් දෙවා
යහ මගෙ රැඳෙව්වා…
වැටුණ විට දිරිදෙමින්…ඔසවන්න වෙර දරා
දිනන විට කඳුළැලි සලා…
වෙර ගන්න මංපෙත් තනා…
ඔවුන් සමහරක්, ඉතින් අද මිහිදන් වෙලා…
වඳින්නම් ඔබෙ දෙපා…
දුන්නු ගුරුහරුකම් නිසා…
සමාජෙන් බැට නොකන ,
අද අපි හොද මිනිසුන් වෙලා….
දුලංජලී නිශ්ශංක, මාතර
සබැඳියාණෙනි
රැකගන්න පින් බිම අපේ
සරු බිම අපේ
එපා දෙන්නට
දොළ පිදේනි
ගිල දමන්නට වෙර දරන
මාර සේනා රැළ
මාන බලමින් සිටින
හදවතින් නොව
බුද්ධියෙන්
ළඟා කරගන්න
උතුර දකුණ යා කරන
සුතුර
දැඩි ලෙස
කලාභූෂණ විජේරත්න,
දාහිගමුව
විශ්වයම ආදරෙන් වැලඳ ගන්නට හිතෙයි
තලා දැමු ළපළු තුරු වදුළු අතු ඉති දමා
අහස් කුස සිසාරා නැඟී දස දෙස අරා
උපන් බිම පුදන්නට සුවඳ මල් පීදිලා
ඉතින් කොවුලනි ගයව් ප්‍රේමයේ ගීතිකා
අර පේන වළා පෙළ කලට වැසි ගෙන ඒවි
ටිකින් ටික නියං සාගත දුරින් දුරු වේවි
හැමට ලස්සන රටක් ඉතින්නම් බිහි වේවි
මේ මහා රුක රැකුම හැමගෙ යුතුකම වේවි
ගලන ගංගා තවත් සරැලි නංවා ගලයි
හමන නළ වෙනදාට වැඩිය සිහිලස ගෙනෙයි
ඉර හඳට තරු වලට පවා සොම්නස දැනෙයි
විශ්වයම ආදරෙන් වැලඳ ගන්නට හිතෙයි
රුවන් ඩී අළුබෝමුල්ලගේ
රෝස පැහැ නෙලුම් මල
මහ රැයක නිදිවරා
මා සොයන බව දනිමි
වෙනස් කර ප්‍රයිවසිය
සැඟෙවන බවද දන්නෙමි.
රැයේ තටු හඬවන
ළපටි තණකොළ පෙත්තෙක්
මතක් කරලන්නෙමෙ ඔබේ
ළා කොළ පැහැ ඔසරිය..
ඔබ නොකී කතාවක්
ඇත ලියූ වචන තුළ
කොහිද තිබු තෙතමනය
දිගැටි ඇස් කෙවිනි තුළ ?
ලියූ කවි පේළිවල
සෙවණැල්ලේ සැඟව ගිය
මහගමගෙ ඡායාව
දුටිමි මම වරින් වර …
අතීතය එක් දිනෙක
ලෙස උදෑසන හෙටක
අපෙ සුසුම් එක් වෙයිද
යළි එකම අහසකට
පෙනී නොපෙනී ගියද
කාලයෙහි වරින් වර
සිහිනයක මම දකිමි
රෝස පැහැ නෙලුම් මල …
ජගත් ප්‍රසන්න කුරුගම
හිස් තැන ජය ගතිමි
මුහුද තරමටත් වඩා
කඳුළු වගුරන්න ඇති
මහ මෙරටත් වඩා
දුක් උහුලන්න ඇති
ඇවිද යන මේ සංසාර ගමනේ
දකිමි හැම තැනම
හිස් තැනක් හැමදාම
හිතට නැහැ සුවයක්
බෝධි පා මුල සුදුවැල්ලෙ
දහසක් දෙනා අතරම
දුක නිවා ගන්නට
බවුන් වඩන්නට
එක් වුණෙමි මම
සසර කෙටි කර ගනු පිණිසම
මලක්වී පරවුණත් කම් නැහැ
බුදු හිමිට පූජා වෙලා
ජීවිතයෙ හිස්තැන සපිරේවි
එවිට
කමලා ධර්මලතා ජයසූරිය,
පරගස්තොට
කාලය
පඨවි ආපො තේජො වායො
ධාතු සතර වේගවත්ව
මවගේ කුස තුළට පිවිස
කලලය දරුවකු රුව ගති
බිහිව ළදරු තරුණ මහලු
දිවි ගෙවමින් මැරුණ පසුව
ධාතු සතරකින් නැවතත්
මවුකුස කලලයක් තනයි
විඤ්ඤාණය බැසගත් පසු
කර්මය අනුවම චුති සිත
ප්රතිසන්ධිය සිතක් විලස
සසරට භවයක් ඇති විය
ඉපිද මැරෙන මේ සිද්ධිය
නොපෙනෙයි නොගැටෙයි කිසි දින
එකම තැනක නොපවතිනා
වේගය පමණයි ඇත්තේ
විශ්වයෙ ඇති සියලු රූප
නොනැවතීම ඇදී ගොසින්
රූප කලාපයක් විලස
දිවිහැක විදසුන් නුවණින්
මුණසිංහ නිශ්ශංක