මහත්තයා මෙහෙ දෙමළ අයගේ කියමනක් තියෙනවා රජ්ජුරුවො ක්ෂණිකව දඬුවම් දෙනවා. හැබැයි දෙයියෝ දඬුවම් දෙන්නේ පහුවෙලා කියලා”
ඔහු සුසුමක් හෙළා මා දෙස බැලුවේ සිනහ මුසු මුහුණෙනි. තමාට මෙතරම් විශාල විපතක් සිදු වී තිබියදීත්, ඔහු ඒ දෙස බලන්නේ උපේක්ෂාවෙනි.
” ඕකෙම තව කතාවක් තියෙනවනේ, දෙයියන්ගෙ මෝලේ ඇඹරෙන්නේ හෙමින්. හැබැයි කුඩු වෙන්නම ඇඹරෙනවා.”
මම ඔහුගේ විනාශ වූ නිවසේ ගරා වැටුණු බිත්ති අතරින් අඩි තුන හතරක් ඉහළට වැවී ඇති ගස් දෙස බලා සිටියෙමි.
” සාධාරණව හම්බ කරලා මං මේ ගේ හැදුවේ. හැබැයි ඉතින්, දරුවො දෙන්නයි නෝනයි මමයි හොඳින් ජීවත් වෙනවා නේ. අපේ ජීවිත බේරිච්ච එකම මදිද?”
මම හිස වනා ඔහු කී දේ අනුමත කළෙමි.
අපි යළි වෑන් රථයට ගොඩ වී, නගරය දෙසට ගමන් කරන්නට පටන් ගත්තෙමු.
අප ත්‍රිකුණාමලයට ආවේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන “රට වටා අවුරුදු වැඩසටහන වෙනුවෙනි.” නගරයේ සංචාරය සහ අපේ සියලු ඕනෑ එපාකම් ඉටු කිරීම භාරගෙන තිබුණේ ඔහුය. ත්‍රිකුණාමල මාළු වෙළෙඳ මධ්‍යස්ථානයේ කිසියම් කාර්යභාරයක් ඔහු වෙත පැවරී තිබිණ.
මේ ඓතිහාසික නගරයේ බොහෝ වැදගත් ස්ථානවල යුද්ධයෙන් සිදුවූ තුවාල හොඳින්ම විද්‍යමානය.
යුද තත්ත්වයක් පැවතිය ද, රට පුරා ස්ථාන හත අටක සිට “රට වටා අවුරුදු” වැඩසටහන සංවිධාන කෙරිණ. මා ඇතුළත් වූයේ ත්‍රිකුණාමල කණ්ඩායමටයි. වැඩසටහන භාරව සිටියේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ සන්නිවේදකයකු වූ රංජිත් පීරිස් මහතායි. ඔහු වඩාත් ජනප්‍රියව සිටියේ වෙළෙඳ වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහාය. තාක්ෂණ නිලධාරියා, ධර්මදේවන් නැමැති දෙමළ ජාතිකයකි. නිවේදකයා මාය. සංස්ථාවේ රියැදුරු තැනද ඇතුළත්ව කණ්ඩායම හතර දෙනෙකි.
රංජිත් පීරිස් මහතා නිවේදකයෙකු වුවත් මේ ගමනේදී ඔහු මයික්‍රොපෝනය අතින් ඇල්ලීමටවත් කැමති වූයේ නැත. නමුත් වැඩසටහනට අදාළ සියලු සංවිධාන කටයුතු ඔහු මැනවින් ඉටු කළේය.
අපි ත්‍රිකුණාමලයේ දින දෙකහමාරක් පමණ ගත කළෙමු. මේ කාලය තුළ නගරයේ බොහෝ ස්ථාන දැක බලා ගැනීමට මෙන්ම මුහුදේ ස්නානය කිරීමටද අවස්ථාව ලැබිණ. ජීවිතයේ වැඩිම වේලාවක් මුහුදේ බැස සිටින්නට ලැබුණේ මේ ගමනේදීය. එයට හේතුව මා සමඟ සිටි ධර්මදේවන් ද මුහුදේ නෑමට අතිශයින් ප්‍රිය කිරීමයි. රංජිත් අයියා නම් වැඩි වේලාවක් මුහුදේ බැස සිටියේ නැත. සෙමෙන් රළ නගන විශාල ප්‍රදේශයක් පුරා පයින් ඇවිද යා හැකි සමතල බිමක වූ ජල කඳක් සහිත එබඳු වෙරළක ආශ්වාදය ඉන්පසු මට සිහිනෙන් ද හමු නොවීය. අප මුහුදෙන් ගොඩ වූයේ ඇඳිරි වැටෙන්නට ආසන්නව තිබියදීය. එහි පැමිණි හමුදා නිලධාරීන්ගේ අවවාදය නොවූයේ නම් අඳුර විසින් සියල්ල වසා ගන්නාතෙක් වුවද මුහුදේ ගිලෙමින් සිටීමට අපි ආශා කළෙමු.
කොළඹ සිට ත්‍රිකුණාමලයට පැමිණි විගස අප හමුවුණේ මේ අපූරු මිත්‍රශීලී මිනිසාවය. අනතුරුව වැඩසටහන විකාශනය කෙරෙන නිවස වෙත අප කැටුව යනු ලැබුවේද ඔහු විසිනි. ඔහුගේ ඉල්ලීම පරිදි යළිත් පසුදින උදෑසනම අපි මාළු වෙළෙද මධ්‍යස්ථානයට පැමිණියෙමු. වෙළෙඳ මධ්‍යස්ථානයේ කුඩා කාමරයක බූරු ඇඳක් සහ කුඩා කබඩ් එකක් අතර ඔහු සිටියේය.
“දැන් අවුරුදු තුන හතරක ඉඳලා මම මෙතැන තමයි ඉන්නෙ. නෝනයි ළමයිනුයි ගමේ යැව්වා.” ඔහු අප තිදෙනාම ඔහුගේ ඩෙලිකා වෑන් රථයට නංවා ගත්තේය. නගරය පුරා සංචාරය ඇරඹුණේ ඉන් පසුවය.
“යං කෝ අපේ ගේ බලන්න.”
සිය බිරිය හා දරුවන් සමඟ මෙතෙක් ගෙවූ සුවපහසු ජීවිතය අවසන් වූ ආකාරය පෙන්වන්නට ඔහු අප කැටුව ගියේ ය.
තම සොඳුරු ජීවිතය විනාශ කළ ත්රස්තවාදීන් පිළිබඳව එකදු දෝෂාරෝපණයක්වත් ඔහුගේ මුවින් පිට නොවුණි. ඒ අප සමඟ සිටි ධර්මදේවන් නිසා යැයි මට සිතෙන්නේ නැත. මා දුටු ත්‍රිකුණාමලයේ මිනිසුන් ඒ තරමට සාමකාමීය.
මම මගේ විස්තර කථනයට මේ සිතුවිල්ල මත පදනම් කරගත්තෙමි.
එම නිවසේ ඉදිරිපස කොටසේ ළිප්ගල් තුනක් තබා අලුත් ලිපක් බැඳ ‘කිරි ඉතිරීම’ නැකතට සිදු විය. කිරි මුට්ටිය උතුරා ගියේය. කිරි මුට්ටිය හතර අතට උතුරා ගියේ ළිප්ගල් තුන මතය. එය එසේ සිදුවූයේ, ත්‍රිකුණාමලයේ සිංහල දෙමළ මුස්ලිම් ජනකොටස් තුන ඒකරාශීව සිටින ආකාරය සංකේතවත් කරමින් බව කියමින් මම එදා ආරම්භ කළෙමි.
අවුරුදු චාරිත්‍ර පිළිබඳ විස්තර ප්‍රචාරය සිදු කිරීමට තෝරාගෙන තිබුණේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඉතා ධනවත් මාළු ව්‍යාපාරිකයෙකුගේ නිවසය.
ඔහු අතිශය කරුණාවන්ත වැඩිහිටියකි. නිවැසියන් ද නිවස වටපිට පරිසරයද ඔහුගේ අණසකට යටත්ය. ඔහු යටතේ සේවය කරන ධීවරයන් විශාල පිරිසක් සිටි බව මගේ හැඟීමයි.මේ ගෘහ මූලිකයා සැබැවින්ම හැසිරුනේ සියලු දෙනාටම පියෙකු බඳුවය.
අප වෙනුවෙන් පිළියෙල කර තිබූ කෑම මේසය අති විශේෂය. බැලූ බැල්මට එහි සෑම දෙයක්ම තිබුණේය. තෙලට මිරිසට සකසන ලද ව්‍යංජන වර්ග, පලා වර්ග මෙන්ම මස් සහ මාළු ද එහි ඇති බව පෙනිණ.
” මහත්තයලගේ පළාතේ තියෙන කෑම මේසයක් වගේ පෙනුණට, එහෙම එකක් නෙවෙයි. හැමදේම මුහුදෙන් හොයාගත්ත ඒවා. කොටින්ම කියනවා නම් මේ ඔක්කොම මාළු.”
සැබැවින්ම එය පුදුමයකි. ඒ එක් එක් දීසිවලට විවිධ නම් තිබිණ. එම නම්වලින් මේ වන විට මතකයේ ඇත්තේ “මාළු මෝජු” පමණි. එහෙත් ඒවායේ රසය නම් තවමත් මතකය.
ශත්රිකුණාමලයේ ගතකළ එම කාලය අතිශය රසවත් අත්දැකීම් බහුල වූවා සේම ඉතා වෙහෙසකරය. නිදි වැරූ රාත්‍රී කාල, දින දෙකක්ම මුහුදේ බැස කළ ‘දිය කෙලි’ ආදිය සලකා බලන විට සිරුරට දැනෙන දැඩි කෙඩෙත්තුව සාධාරණය.
අපේ සමුගැනීම උණුසුම්ය. මේ මිත්‍රශීලී සංග්‍රහශීලී මිනිසුන් නැවත දැකීමේ අභිලාෂය පෙරටු කොට අපි ගමන් මලු සකසා ගත්තෙමු.
ගුවන් විදුලි සංස්ථාව සතු ෆාගෝ වෑන් රථයට අප ගොඩ වූයේ ‘කොළඹට යන තෙක්ම නිදා ගන්නවා’ යන සිතිවිල්ලෙනි.
රංජිත් අයියා ඉදිරිපස අසුනේය. ධර්මදේවන් සහ මම පිටුපස ආසන දෙකක හොඳින් දෙපා දිග හැර වැතිරුනෙමු.
එවිටම වාගේම කිහිප දෙනෙක් විශාල මුට්ටි කීපයක් කර තබාගෙන වාහනය වෙත පැමිණියෝය. සර්ල මේ ටික ගෙනියන්න ඕනෑ.
” මේ මොනවද” රංජිත් අයියා ඇසුවේය.
“ජාඩි…! අර එදා මෙතැන බලන්න ආපු ලොකු මහත්තයා ඕගොල්ලෝ අත එවන්න කිව්වා.”
“ජාඩිත් එක්ක කොළඹ යන්න පුළුවන්ද?”
රංජිත් අයියා මූණ ඇඹුල් කරගත්තේය.
“ලොකේෂන් බලන්නට යනවා’ කියමින් මෙබඳු ස්ථානවලට ගුවන් විදුලි සංස්ථාවේ ඇතැම් ලොකු මහත්වරු කලින් එති. ඒ ඇවිත් ගම්මානයකම දත් ගලවා ගනිති.
වරක් නිවේදක හෙන්රි සෙනෙවිරත්න සමඟ මම රට වටා අවුරුදු වැඩසටහනක් සඳහා පඬුවස් නුවරට ගියෙමු. එදා ආපසු එන ගමනේදී ද එගම් වැසියන් කීවේ
“මහත්තයලට වළඳක්වත් දෙන්න විදිහක් නෑ. එදා ආපු මහත්තයා ඔක්කොම එකතු කරගෙන ගියා” යනුවෙනි.
එදා ද එහෙම දෙයක් ලබාගත යුතු යැයි අප දෙදෙනාම කල්පනා කර තිබුණේ නැත.
සැණෙකින් ජාඩි හැළිවලින් හමන ගන්ධය වාහනය පුරා පැතිරින. හැළි නිසා ඉහළට ගත් දෙපා ආපසු පහළට ගන්නටද නොහැකිය. සෑම බ්රේක් පාරකදීම මේ මැටි හට්ටි ආරක්ෂා කරන්නටද ඕනෑය.
එදා අප ආපසු ආවේ “අනේ ත්රිකුණාමලයටම වෙලා හිටියා නං හොඳයි “කියා සිතමිනි.