වසර 2020 දී ලොව පුරා ඇති වූ කොවිඩ් වසංගතය නිසා මෙරටින් විදේශ කරා ඇදී යන විදේශ විනිමය නවතාලීමේ අරමුණින් විදේශයෙන් මෙරටට ගෙන්වන භාණ්ඩ 2000කට වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවන ලදී. ඒ අතර ප්‍රධාන වශයෙන්ම තහනම් කළ භාණ්ඩ අතර මෝටර් වාහන හා එම වාහන අමතර කොටස් ද විය.
මේ තහනම ඒ වසරේ එතරම් දැනුණේ නැතත් රට ක්‍රමයෙන් වංසගත තත්ත්වයෙන් මිදෙනවිට වාහන ආනයන තහනම ක්‍රමයෙන් ජනතාවට දැනෙන්නට විය. ඒ වන විට වාහන ටයර් මිල ද අහස උසට නැඟ තිබිණි. එමෙන්ම වාහන අමතර කොටස් මිල ද තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබිණි. එයින් වැඩි වාසි ගත්තේ මෙරට පාවිච්චි කරනු ලබන වාහන මිලදී ගෙන අලෙවි කරනු ලබන වාහන අලෙවිකරුවන්ය. එම අතරමැදි අලෙවිකරුවන් විසින් රටේ අතරමැදියා විසින් ගසාකෑමේ න්‍යාය කදිමට කලඑළි දක්වන ලදී.
වාහන මිලදී ගෙන විකුණන අතරමැදියෝ එක්වරම වාහන 5ක් 6ක් මිලට ගෙන නොවටිනා ගණන් කියන්නට පටන් ගත්හ.
වාහන මිල ඉහළටම
2021 වසර අග වනවිට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 20ක 22ක පමණ වටිනාකමක් තිබූ නිසාන් සනි මෝටර් රථයකට එක්වරම ලක්ෂ 32ක් පමණ මිලක් නියම කළහ. ඒ වන විට සාමාන්‍ය ටොයොටා කොරොල්ලා රථයක මිල ලක්ෂ 23- 25 සිට ලක්ෂ 35 පමණ දක්වා ඉහළ ගියේය. ඒ සමඟම වෑන් රථ මිල ද ඉහළ නැංවිණි. ඒ ඉහළ මිල ගණන්වලට ජනතාව වාහන මිලදී ගත්තේ නැත. එහෙත් වාහන මිලට ගෙන අලෙවි කරන්නන් ද මිල අඩු කළේ නැත. ඔවුන් දිගින් දිගටම දැන්වීම් පළ කළේ වැඩි කළ මිල ගණන්වලටය. එම මිල ගණන් දුටු වාහන හිමිකරුවන් ද “දැන් වාහන මාකට් නැඟලා” යන සිතුවිල්ලෙන් තම වාහන අලෙවි කිරීමට කටයුතු කිරීමේදී ද ඉහළ මිල ගණන් නියම විය. එවිට අතරමැදියන් රැස් කරගත් වාහන ද එම මිලට ද අලෙවි විය.
මෝටර් රථ, පෞද්ගලික වාහන ඇතුළු සියලු වාහන මිල 60% සිට 75%ක් දක්වා ඉහළ ගියේය. රුපියල් ලක්ෂ 40ක් වූ වාහනයක් එක්වරම ලක්ෂ 70ක් දක්වා ඉහළ නැඟුණු අතර, බොහෝ දෙනකුට වාහනයක් ගැනීම සිහිනයක්ම විය.
ඒ තත්ත්වය අනුව 2019න් වසරින් පසු ආනයනය කළ වාහන මිලදී ගත් අය ඒවා අලෙවි කිරීමෙන් වැළකුණේ වෙනත් වාහනයක් මිලට ගත නොහැකි නිසා මෙන්ම වාහන ආනයනය ද නොවූ හෙයිනි.
මේ තත්ත්වය අනුව වාහන මිල දිගින් දිගටම ඉහළ යන තත්ත්වයට පත්විය. සෙසු ආනයනික තහනම් ඉවත් කෙරුණ ද වාහන ආනයන තහනම ඉවත් කෙරුණේ නැත.
එහෙත් ක්‍රමයෙන් වාහන ආනයනයට අනුමැතිය ලබා දිය යුතු බව පසුගිය රජය සමයේ ආර්ථීක විශේෂඥයන් විසින් රජයට දන්වා තිබිණි.
කෙසේ වුවත් සංචාරක ව්‍යාපෘතීන්ට අවශ්‍ය වාහන පමණක් පළමුව ආනයනය කිරීමට අනුමැතිය හිමි විය. ඒ සංචාරක සංවර්ධන අධිකාරිය, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක අධීක්ෂණය යටතේය. එසේම පොදු ප්‍රවාහන සේවාවන්ට අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයනයට ද වරින්වර අවස්ථා හිමි විය.
විදේශ විනිමය නොරටට
ඒ අතර මෙරට ධාවනය කෙරෙන වාහනවල ඇති වන ආපදා තත්ත්වයන් වැඩි වීම නිසා ඒ සඳහා ආනයනික අමතර කොටස් වැඩි වශයෙන් ආනයනය කිරීමට සිදු වන බව ද පෙනෙන්නට විය. ඒ හරහා ද අපේ විදේශ විනිමය විදේශ කරා ඇදී යන්නට වූයේ මෙරටට කිසිදු සෙතක් ඇති නොවන ලෙසිනි. එක් ඒජන්ත සමාගමක සංවේදක නොමැතිව (Sensor) වාහන 18ක්ම ගාල් කර තිබූ අතර, ඒ වන විට එක් සංවේදකයක් රුපියල් ලක්ෂ 2ක් විය. මේ තත්ත්වය තවදුරටත් පැවතුණහොත් තත්ත්වය තවත් නරක අතට හැරෙන්නට ඉඩ ඇති බව ප්‍රවාහන හා ආර්ථික විශාරදයන් විසින් පෙන්වා දෙන ලදි.
එහෙත් එකල මහ බැංකුවේ ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවීම නිසා වාහන ආනයනයට අනුමැතිය හිමි නොවීය. එහෙත් මේ වසරේ මැද භාගය වන විට දළ නිල සංචිත අෙමරිකන් ඩොලර් බිලියන 5.5 ද ඉක්මවා ගියේය. එසේම රජයට වාහන ආනයනයෙන් හිමිවන විශාල ආදායමක් ද අහිමිව තිබිණි. එය ද විශාල ගැටලුවක් විය.
සාමාන්‍යයෙන් ජපානයේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම අනුව ලක්ෂ 6කට පමණ මිලට ගත හැකි වාහනයකට මෙරටදී අය කරනු ලබන බදු පමණක් රුපියල් ලක්ෂ 20කට අධිකය. සුඛෝපභෝගී වන තරමට ඇතැම් වාහනවලින් රුපියල් කෝටියකට අධික බදු මුදල් අය කෙරේ. එපමණක් නොවේ, වසරකට වරක් සුඛෝපභෝගී බද්දක් (අඩු වන ලෙස) අය කෙරේ. එහෙත් වාහන ආනයනය නැවතීමෙන් ඒ ආදායම් සියල්ල අහිමි වූ අතර, එසේ අහිමි වූ ආදායම සුළුපටු නොවේ.
ආනයනය කර වසරකට අලුතින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන සියලු වාහන සංඛ්‍යාව ලක්ෂ 5ක් හෝ ඇතැම් විට ඊට වැඩි වන අවස්ථා ද තිබේ. ඇතැම් වසරවල එය ලක්ෂ 6ද ඉක්මවා ගොස් ඇත.
ඒ අතරින් මෝටර් රථ පමණක් ලක්ෂය ඉක්මවා වසරක් තුළදී අලුතින් ලියාපදිංචි කළ අවස්ථා ද ඇත. එයින් අපට පැහැදිලි වන්නේ අවම වශයෙන් අවුරුද්දකට මෝටර් රථ පමණක් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණෙන බවය. ඒවායින් අය කරනු ලබන බදු ප්‍රමාණය රුපියල් බිලියන 300කට ආසන්න වේ. ඒ මෝටර් රථවලින් පමණි. වාහන ආනයනය රජයට විශාල ආදායමක් බව පැවසුවේ එහෙයිනි.
2015 වසරේ පමණක් මෙරට අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 105,628කි. 2018 වසරේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ 80,776ක් ලෙසිනි.
එහෙත් වාහන ආනයන තහනම නිසා 2022 වසරේ ආනයනය කළ මෝටර් රථ එම සංඛ්‍යාව 1489ක් දක්වා පහත වැටුණු අතර, 2023 වසරේ එය 1816ක් දක්වා ද මේ වසරේ සැප්තැම්බර් වනවිට එය 1191ක් දක්වා ද අඩුව තිබිණි. එසේ නම් රටට අහිමි වූ ආදායම කොතෙක් දැයි එයින් සිතා ගත හැකිය.
එලෙසින්ම 2015 වසරේ මෙරට අලුතින් ලියාපදිංචි කරන ලද වාහන සංඛ්‍යෘව 668,907ක් වූ අතර, එය 2016දී 493,328ක්, 2017දී 451,653ක් හා 2018දී 480,799ක් විය.එසේ වුවත් එම සංඛ්‍යාව 2021 වසරේදී 33,850ක් හා 2022 වසරේ 20,511 දක්වාත් පහළ ගියේය.
ආනයන සීමා ලිහිල් කිරීම
මේ නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට මෙන්ම වාහන ආනයනය තහනම් කිරීමෙන් ඇතිව තිබෙන ගැටලුව නිරාකරණය පිණිස පසුගිය රජය වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු සම්පාදනය කළේය. ඒ අනුව මේ මාසයේ එනම්, ඔක්තෝබර් පළමු වැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදි.
එලෙසින් පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන මේ මස 01 වැනිදා සිට ආනයනය කිරීමට අවසර ලැබෙන බව රජය දන්වා තිබිණි.
වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර තිබුණේ මේ වසරේ දෙසැම්බර් පළමු වැනිදා සිටය. එසේම මෝටර් රථ 2025 වසරේ පෙබරවාරි පළමු වැනිදා සිට ආනයනය කිරීමට සැලසුම් කර තිබිණි.
එහෙත් එම සැලසුම් ක්‍රියාත්මක කරන්නට පෙර ඒ කැබිනට් මණ්ඩලය ඇතුළු ඇමැතිවරු ගෙදර ගියහ. ඒ බහුතර සැලසුම් සකස් කෙරුණේ ජනාධිපතිවරණය ආසන්නයේදීය.
ඉදිරි අභියෝග
දැන් වගකීම හා වගවීම ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට හා නොවැම්බර් 14 වැනිදා පත්වන ආණ්ඩුවටය. එතැන් සිට වාහන ආනයනය කරන්නේ කෙසේද? විද්්‍යුත් වාහන ආනයනයට මුල් තැනක් දෙන්නේ කෙසේද? ආනයනය කළ හැකි වාහන නිෂ්පාදිත වසර මොනවාද? ලීටරයකින් කිලෝමීටර් 2- 3ක් පමණක් ධාවනය වන සුපිරි ජීප් රථ ආනයනය කරන්නේ ද? එසේ ආනයනය කරන්නේ නම් ඒ වෙනුවෙන් පනවන ලබන බදු ප්‍රමාණය කෙතෙක් ද? සාමාන්‍ය අශ්වබලයක් සහිත වාහන වෙනුවෙන් පනවනු ලබන බදු ප්‍රතිශතය කෙතෙක් ද යනාදී සියලු පැනයන්ට පිළිතුරු සපයාගත යුතු වේ. කෙසේ හෝ වාහන ආනයනය කිරීම නම් කළ යුතුම බව නම් දැන් පැහැදිලිය.
ඒ, අප පෙර පැවසූ රජයට අහිමි වන අතිවිශාල ආදායම සහ අමතර කොටස් නොමැතිව වාහන ආපදාවන්ට ලක්වීමෙන් විශාල හානි සිදු වීමත් ඇතැම් විට අමතර කොටස් මිල අධික වීම නිසා අනතුරුදායක ලෙසින් රථවාහන ‘අටවාගෙන‘ මහාමාර්ගයේ ධාවනය කිරීම වැනි හේතුන් නිසාය.
ක්‍රමවේදයකට අනුව මගියාට මෙන්ම පදිකයාට ද ගැටලුවක් නොවන සේ මහා මාර්ගයේ යාමට හැකි වන පරිදි හා රටේ ආර්ථීකයට හානි නොවන පරිදි වාහන ගෙන්වීම කළ යුතුය. එදිනෙදා ජීවන වෘත්තිය කර ගන්නා ත්‍රිරෝද රථයටත් ලීටරයකින් කිලෝමීටර 2ක් 3ක් යන සුපිරි රථයටත් එකම මිලකට ඉන්ධන ලබා දුනහොත් එතැන ඇතිවන ගැටලුවට ද විසඳුමක් අවශ්‍ය වනු ඇත.
තාරක වික්‍රමසේකර