විගණකාධිපති දෙපාර්තමේන්තුවේ 36 වැනි විගණකාධිපතිවරයා ලෙස 2000-2006 දක්වා කටයුතු කළ වරලත් ගණකාධිකාරී, සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ද වේ. රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල රාජ්‍ය මූල්‍ය පිළිබඳ ප්‍රකට දේශකවරයකු වන හෙතෙම 2015 මහමැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්ව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී ඊට පසුදින මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. දූෂණයට සහ අවපාලනයට විරුද්ධව දිගින් දිගටම සිය හඬ අවදි කළ විද්වතකු වන සරත් මායාදුන්නේ සමඟ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කළ සාකච්ඡාවකි මේ.
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී එදා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔබ පැවසුවේ 2015 මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ මහජනතාව ඉල්ලා ඇත්තේ අවපාලනය හා දූෂණය බවයි. මෙවර ජනාධිපතිවරණයේදී ඒ ජනමතයේ වෙනසක් සිදු වුණා කියලා ඔබ හිතනවා ද?
යම් තරමකට වෙනසක් සිදුවූ බව මම පිළිගන්නවා. මෙතෙක් කල් රාජ්‍ය බලය ලැබූ ප්‍රභූ පන්තිය සහ එම පන්තිය නියෝජනය කළ සෙසු කණ්ඩායම් නිහඬව සහ සාමකාමීව පරාද කරමින් නිර්ප්‍රභූ පන්තිය ලැබූ ජයග්‍රහණයට දේශපාලන සාක්ෂරතාවයේ සුළු වර්ධනය වුවත් ඉතාම වැදගත් වුණා. ඒ ගැන සැබෑ ඇගැයීමක් තියෙනවා. නමුත් මහජනතාවට මෙවරවත් ප්‍රමාණවත් දේශපාලන සාක්ෂරතාව තිබුණා නම් පැහැදිලි බහුතරයක් ලබාගන්න තිබුණා. එය දැන්වත් නිවැරැදි විය යුතු බවයි මගේ අදහස.
අවභාවිත කර තිබූ සුඛෝපභෝගී වාහන රැසක් පිළිබඳ පසුගිය දිනවල අනාවරණය වුණා. මේවා වැළැක්වීමට නීතියෙන් තිබෙන ඉඩකඩ කුමක්ද?
මේ ගැන ලිඛිත නීතිය යටතේ ඇති විධිවිධාන අනුව ඒවා අනුචිත අයුරින් සිදුවී තිබෙන බව පැහැදිලියි. එම අවභාවිතයන් වෙනස් කිරීමේ විශාල අවශ්‍යතාවක් අපි දකිනවා. මේවාටත් වඩා බරපතළ විශාල විනාශයන් සිදු වී තියෙනවා. සංවර්ධන වැඩ කරන නාමයෙන් අතිවිශාල මුදල් සම්භාරයක් ප්‍රාග්ධන වියදම් තුළ අවභාවිත කර තියෙනවා. රාජ්‍ය ආදායමේ විශාලම සාධකය වන බදු වර්ග ගණනාවකම අතිවිශාල පංගු, දේශපාලනඥයන්ගේ අවශ්‍යතා සහ සම්බන්ධතා මත වරින්වර කපා හැරියා. රටේ භෞතික සම්පත් ඇතුළු අනෙකුත් සම්පත් ද විශාල වශයෙන් අවපාලනයට ලක්වී තිබෙනවා. රාජ්‍ය මූල්‍යයේ දේශීය, විදේශීය ණය දෙවර්ගයම විශාල ලෙස අවභාවිත කර තිබෙනවා. බැඳුම්කර මඟින් කර ඇති වංචාව ගණනය කරන්න බැරි තරම් විශාලයි. එහෙම බලද්දි වාහන කියන්නෙ භෞතික සම්පත්වල ඉතා සුළු කොටසක් පමණයි. රාජ්‍ය දේපළ යටතේ රජයේ ගොඩනැඟිලි, රාජ්‍ය ඉඩම් විශාල වශයෙන් අවභාවිත කර තිබෙනවා. මේ සියලුම දේවල් ගැන නිසි පාලනයක් අත්‍යවශ්‍යයි.
හිටපු විගණකාධිපතිවරයකු ලෙස ඔබේ ධුර කාලයේදී සිදු කළ වැදගත් විගණන මොනවාද?
විගණකාධිපති විසින් රාජ්‍ය අංශයේ ආයතනවල කාර්යසාධනය පිළිබඳ ස්වාධීන සමාලෝචන ඉදිරිපත් කරනවා. ඒ අනුව හැම වසරකදීම සාමාන්‍යයෙන් වාර්තා වෙළුම් 35-40ක් පාර්ලිමේන්තු ප්‍රකාශන ලෙස සභාගත කර තිබෙනවා. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් සභා හා පළාත් පාලන ආයතන ආදියට අදාළ විගණන වාර්තා විශාල ප්‍රමාණයක් ඒ වාර්තා වෙළුම්වල තිබෙනවා. මගේ කාලයේදී සාමාන්‍ය සාම්ප්‍රදායික වාර්තාවලට අමතරව ව්‍යාපෘති වාර්තා ගණනාවක්ම ඉදිරිපත් කළා. ඒ අතර සුනාමි ආධාර අවපාලනය පිළිබඳ වාර්තා විශේෂයි. 2004 දෙසැම්බර් සුනාමිය ඇතිවී මාස 6කින් මම ඒ වාර්තාව සභාගත කළේ පාර්ලිමේන්තු අතුරු වාර්තාවක් විදිහට. ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ආධාර‚දේශීයව හා විදේශීයව විවිධ සංවිධානවලින් ලැබුණු මුදල් හා ද්‍රව්‍ය ආධාර සහ මුදල් බෙදුවේ කාටද යන විස්තර, ඒවා නාස්ති කිරීම්, වංචා කිරීම් ආදීය මඟින් ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක් අවභාවිත කළ ආකාරය ගැන විගණන නිරීක්ෂණ එසේ වාර්තා කළා.
ඒ වගේම බදු පිළිබඳ ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවෙන් රුපියල් කෝටි 38,890ක පමණ වංචාවක් ගැන හෙළි කළා. එහි වාහන බදුවලින් පමණක් මිලියන11ක පමණ වංචාවක් සිදුවී තිබුණා. විගණනය සඳහා අපි ගත් වාහන 50ක නියැදියෙන් ලිපි ගොනු තිබුණේ 13කයි. එයිනුත් 4ක තිබුණේ පිටකවරය පමණයි. ඉතිරි වාහන 9ම සුඛෝපභෝගි වාහන. නමුත් ආනයන පාලකගේ බලපත්‍රයේ තිබුණේ ඉඩම් වාහන, එහෙමත් නැත්නම් ට්‍රැක්ටර් ගේන්නයි. ඒවා රේගුවෙන් එළියට ඇවිත් තිබුණෙත් ට්‍රැක්ටර් විදිහට. නමුත් බැලූබැල්මට පේනවා මේවා ට්‍රැක්ටර් නෙවෙයි කියලා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී තමයි ඒවා සුඛෝපභෝගී වාහන විදිහට ලියාපදිංචි වී තිබුණේ. එයින් රජයට ලැබිලා තියෙන්නෙ ඒ බලපත්‍ර ගාස්තුව විතරයි. ගෙවිය යුතු ගාස්තුවෙන් ගෙවලා තිබුණේ සියයට 7යි. ඉතිරි සියයට 93ම බදු පැහැර හැරලා. ඒ කාලේ දවසකට වාහන 250-400 අතර සංඛ්‍යාවක් ලියාපදිංචි කරනවා. ඒ වගේම ත්‍යාග ක්‍රමයට එක් එක් පුද්ගලයාට බදු රහිතව දීලා තියෙන වාහන කාට දුන්න ද කියලවත් හොයාගන්න නැහැ. ඒ වගේම සිගරට් සහ සුරාබදු බද්දෙන් වංචා කරල තියෙන ප්‍රමාණය ඉතා විශාලයි.
ඔබ හෙළිකළ ඒ වාර්තාවලට මොකක්ද වුණේ? වරදකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා ද?
ඒ බදු වංචා ගැන පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සාකච්ඡා කළා. ඒ කාලේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති හිටියෙ හකීම් මන්ත්‍රීතුමා. බැසිල් රාජපක්ෂ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, මහින්දානන්ද අලුත්ගමගේ, මහාචාර්ය විශ්වා වර්ණපාල, සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු 30ක් විතර සාමාජිකයන් විදිහට ඒ කමිටුවේ හිටියා. ඔවුන් කිසිම කෙනෙක් මගේ වාර්තාවල කිසිම දෙයක් වැරැදියි කිව්වෙ නැහැ.
ඉන්පසු ඒ වාර්තාවලට සිදු වුණේ කුමක්ද?
විගණකාධිපතිවරයාට බලය තියෙන්නේ වාර්තා ඉදිරිපත් කිරීමට පමණයි. ස්ථාවර නියෝග යටතේ කාරක සභාවලට බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට ඒ වාර්තා ඉදිරිපත් කිරීමට පමණයි. පාර්ලිමේන්තුව විසින් ඒ වාර්තා නීතිපතිවරයාට භාර දිය යුතුයි.
එහෙම නම් ඒ බලය තියෙන්නේ කාටද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැවරිලා තියෙන්නෙ රාජ්‍ය ආයතන විගණනය කිරීම මිස රාජ්‍ය බලය මෙහෙයවන ජනතා නියෝජිතයන් නිවැරැදි කිරීම නෙවෙයි. 52(2)ව්‍යවස්ථා අංකයෙහි සඳහන් වන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා යටතේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ද අනෙකුත් ආයතන ද අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්ව මෙහෙය විය යුතු බවයි. එම නිසා පළමුවැනි වගඋත්තරකරු වන්නේ අමාත්‍යවරයායි. අමාත්‍යවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටිනවා පාර්ලිමේන්තුවට වගකීමට හා උත්තර දීමට. එනමුත් පාර්ලිමේන්තුවට මේ වාර්තා ඉදිරිපත් කළාම සුදුසු පියවර ගැනීම වෙනුවට කරන්නේ අමාත්‍යවරුන් ආරක්ෂා කිරීමයි. එක පැත්තකින් බලයේ සිටින ආණ්ඩුවත් අනෙක් පැත්තෙන් විපක්ෂයේ සිටින ප්‍රබල කණ්ඩායමත් මෙතෙක් ඒ දූෂිතයන් ආරක්ෂා කළා. නමුත් එය වෙනස් විය යුතු වෙනවා.
විපක්ෂය ඇයි ආණ්ඩුවේ ඇමැතිවරු ආරක්ෂා කරන්නේ?
ඒක තමයි බරපතළම කාරණාව. තට්ටු මාරු ක්‍රමය නිසයි එහෙම එකිනෙකා ආරක්ෂා කරගන්නෙ. යම් විදිහකට ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ අක්‍රමිකතා ගැන කතා කිරීම අනාගතයේදී තමන්ටත් පාරාවළල්ලක් විදිහට එයි කියලා හිතන නිසා විපක්ෂය ඒ ගැන කතා කරන්නෙ නැහැ. දෙගොල්ල එකතු වෙලා මේ තට්ටු මාරු ක්‍රමය ආරක්ෂා කරනවා. ඒ නිසා ජනතාව දැනගත යුතු දේවල් පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ නැහැ. අලුත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට ලැබුණොත් මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම මතු වෙනවා. ඒ නිසා තමයි පාලන බලයේ හිටපු කණ්ඩායම් පාලන බලය ලබා ගන්න මේ තරම් දඟලන්නෙ.
ජාතික ජන බලවේගය රජය යටතේ ඒ පිළිබඳ යළි විමර්ශන කළ නොහැකි ද?
පුළුවන්. වාර්තා කැඳවන්න බාධාවක් නැහැ. නමුත් අපි ඒ වාර්තාව සඳහා සාක්ෂි ලබාගන්නකොට මුල් පිටපතේ ඡායා පිටපතක් අරගෙන එය ඔවුන් ලවා සහතික කරගෙනයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. නමුත් අපි අධිකරණය හමුවට ගියාම සාක්ෂි ආඥා පනත යටතේ අධිකරණය පිළිගන්නේ මුල් පිටපත පමණයි. දැන් මේ විවිධ අවභාවිත කිරීම්වලට දඬුවම් දෙනවා කියලා කිව්වට අධිකරණය තමයි ඒක තීරණය කරන්නේ මේ සාක්ෂි පිළිගන්නවා ද නැද්ද කියලා.
විගණකාධිපතිවරයා ලෙස ඔබේ ධූර කාලයේදී ඔබට දේශපාලන බලපෑම්වලට මුහුණ දීමට සිදු වුණා ද?
බලපෑම් කරන්න ආවේ නැතුවාම නෙවෙයි. නමුත් සමහර අය කතා කළාම මම කියනවා ඔබතුමන්ලගෙ පැත්තෙන් කරුණුවලට අපි ඉඩ දෙන්න ලෑස්තියි, නමුත් මට ලිඛිතව ඒ ගැන එවන්න කියලා. කවුරුවත් ලිඛිතව එව්වෙ නෑ වගේම එතැනින් එහාට බලපෑම් කරන්න ආවෙත් නැහැ.
දූෂණයෙන් සහ අවපාලනයෙන් තොර රටක් බිහි කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ මොනවාද?
හුඟ දෙනෙක් හිතන්නේ විගණනය කියන්නේ ගිණුම් පිළිබඳ කාරණාවක් පමණයි කියලා. නමුත් විගණනය කියන්නේ සියලුම වෘත්තීය ක්ෂේත්‍රවල සංකලනයක්. විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගිණුම් පිළිබඳ දක්ෂයන් වගේම නීතිය, කළමනාකරණය, කර්මාන්ත, විදුලිබල, බලශක්ති ආදී සියලු ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රවීණයන් සිටිය යුතුයි. ඒ වගේම අපේ විගණනයට ස්වාධීනත්වය පිළිබඳ විශාල ගැටලු තිබෙනවා.
උදාහරණයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ විගණකාධිපතිවරයාට ශාරීරික හෝ මානසික දුර්වලතාවක් තියෙනවා කියල ජනාධිපතිවරයාට හිතුණොත් වෛද්‍ය පරීක්ෂණ පවා නොමැතිව ඔහු තනතුරෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට විරුද්ධව විගණනයක් කරන විගණකාධිපතිවරයාට මොළේ ආමාරුවක් කියලා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. එවැනි දේවල් රාජ්‍ය විගණනයේ ස්වාධීනත්වයට ඉතා හානිකරයි.
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ යළි ආරම්භ කරන බව රජය පවසනවා. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විගණකාධිපති වාර්තාවට මොකක්ද වුණේ?
විගණකාධිපතිවරයා විසින් ඒ වාර්තාව ප්‍රකාශන මාලාවක් විදිහට පාර්ලිමේන්තුවට සභාගත කළා. එය තොරතුරු රාශියක් ඇතුළත් විශාල වාර්තාවක්. පාර්ලිමේන්තුව ඒ වාර්තාව කාරක සභාවට ඉදිරිපත් කළා. නමුත් එහිදී මේ වාර්තාවේ යම් යම් කාරණා සැක සහිතයි කියලා ෆුට් නෝට් කල්ලිය විසින් බාල්දු කළා. ඒ නිසා ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීමට බාධා වුණා වගේම ජනතාවට ගියෙත් මේ පිළිබඳ අඩමාන වාර්තාවක්. නමුත් ඒක විශාල වංචාවක්.
ඔබ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව ද?
ඔව්, එවැනි වෙනස්කමක් නොකර ඉදිරියට යන්න බැහැ. ඒකට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ අනිත් සියලු දේවල් අබිබවා නිසයි.
මෙවැනි පසුබිමක් තුළ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉතා තීරණාත්මකයි නේද?
මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොලැබුණොත් මේ කතා කරන හුඟක් දේවල් කරන්න බැරි වෙනවා. බහුතර බලය නොලැබුණොත් මේ රට කවදාවත් නොවූ විනාශයකට යනවා. ඒක විශාල අවදානමක්. විධායකයේ නායකයා හැටියට ජනාධිපතිවරයාත් ව්‍යවස්ථාදායකයේ නායකත්වය විදිහට පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුවේ බහුතරය ලෙස බල කණ්ඩායම් දෙකක් ඇතිවුණොත් අපේ රට මෙතෙක් නොවූ විශාල විනාශයකට යා හැකියි. ඒකට හේතුව විධායකයට සහ ව්‍යවස්ථාදායකයට ලැබී ඇති බලතල එකකට එකක් යටත් නොවීමයි. ඒ තුළ ඇතිවන ගැටුම ඉතා බරපතළ විය හැකියි.
නමුත් කෙනෙකුට කියන්න පුළුවන් වත්මන් ජනාධිපතිවරයාට වසර පහකට බලය ලැබිලනේ තියෙන්නෙ කියලා?
ඔව්, ජනාධිපතිවරයාට වසර 5කට බලය ලැබිලා අවසන්. ඔහු ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයකට පමණයි. මම හිතන්නේ නැහැ වත්මන් ජනාධිපතිවරයා එවැනි දෝෂාභියෝගයකට පාදක වන වරදක් කරයි කියලා. ඒ නිසා වසර 5ක් ගතවන තුරු ව්‍යවස්ථානුකූලව මේ ජනාධිපතිවරයා ඉවත් කිරීමට හැකියාවක් නැහැ. මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වන අයටත් අවුරුදු 5ක බල වරමක් ලැබෙනවා. නමුත් පළමු වැනි රැස්වීම් වාරයේ ඉඳලා අවුරුදු දෙකහමාරක් ගතවෙන දිනෙන් පසු ජනාධිපතිවරයාට අභිමතය තිබෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. යම්කිසි ආකාරයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් පරාද කළොත් පළමු අවස්ථාවේ ආණ්ඩුව විසිරෙනවා පමණයි. නමුත් දෙවැනි වරටත් පරාද කළොත් පාර්ලිමේන්තුව විසුරුවන්න බලය ලැබෙනවා. ඊට පස්සේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් මොන ප්‍රතිඵලයක් ලැබෙයි ද කිව නොහැකියි. එවැනි තත්ත්වයක් යටතේ මේ රජය ජනතාවට දී තිබෙන පොරොන්දු සහ ප්‍රතිපත්ති නීති බවට පත්කිරීමට වත්මන් ජනාධිපතිවරයාට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනයත් පාර්ලිමේන්තුව සතු වන නිසා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියක් නොමැතිව කිසිම මුදල් පනතක් සම්මත කරගත නොහැකියි. මෙවරත් දූෂිතයන් පාර්ලිමේන්තුවේ බලය ඇල්ලුවොත් දූෂණයට, අවපාලනයට එරෙහිව තිබෙන නීති තවත් දුර්වල කරන්න වගේම අධිකරණය ක්‍රියාත්මක කරන සාක්ෂි ආඥා පනත දුර්වල කරන්න ඔවුන්ට පුළුවන්.
ජනතාව දූරදර්ශී සහ බුද්ධිමත් නොවුණොත් මේ අවදානම තේරුම් ගන්න බැහැ. ජාතික ජනබලවේගයට අවම වශයෙන් 113 හෝ නොලැබුණොත් විධායක ජනාධිපති ක්‍රමය සහ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රාහකයන් අතර ඇතිවිය හැකි ගැටුම නිසා ඇතිවිය හැකි විපාක ඉතා භයානකයි. ඒ නිසා මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බහුතර බලයක් ලැබිය යුතුයි. 150 බැරිනම් 113ක් අනිවාර්යෙන් ලැබිය යුතුයි. එය ජාතික ජන බලවේගය ලබන ජයග්‍රහණයක් නෙවෙයි, ජනතා ජයග්‍රහණයක් බව ජනතාව ගැඹුරින් වටහාගත යුතුයි.
ඡායාරූප- මාලන් කරුණාරත්න
සුරේකා නිල්මිණි ඉලංකෝන්