මරණයෙන් පසුවත් ජීවමානව සිටිය හැකි මිනිසකු වේ නම් හේ තම වෘත්තිය හෝ සද්කාර්යය තුළ මානව වර්ගයා වෙනුවෙන් යම් සුවිශේෂී මෙහෙවරක් කළ අයෙක් විය යුතුය. එවැනි අසමාන මිනිසකු ගේ සැමරුම ඔක්තෝබර් 10දිනට යෙදේ.
සැමරුම් දිනයක් යෙදුණා වුව හේ, ලොව පුරා දහස් දස දහස් සුවහසක් ජනතාව ගේ මුව මුව නිබඳ රැව් දෙන නමක් සහිත මිනිසෙකි. මේ ලිපිය ලියන මොහොතේ වුව, මෙය කියවන මොහොතේ වුව ලොව කොතැන හෝ කවර මුවකින් හෝ ඔහුගේ නම පිටවෙනවා ඇති බවට සැකයක් ඇත්තේ නැත.
ළඳුන්ගේ සුන්දර අත්වල, පිරිමින්ගේ සවිමත් බාහුවල, ටැටූ හෙවත් පච්ච ලෙස ඔහුගේ රුව සටහන් වී තිබේ. ටී ෂර්ට්, හිස්වැසුම්, ස්ටිකර්, බැනර්වල, ගන කළු කෙස්වැටිය, අපිළිවෙළ රැවුල, තරුව සහිත බෙරට් හිස්වැස්ම සහිත ඔහුගේ මුහුණ පින්තාරු වී තිබේ. සියල්ලටමත් වඩා ඔහුගේ කඩවසම් තරුණ රූපකාය සහ ජීව ගුණයමානව වර්ගයාගේ යහපත වෙනුවෙන් නිබඳ වෙහෙසෙන විමුක්තිකාමීන්ගේ හදවත්වල සඳහන් වී තිබේ. මිනිසුන් චේ කියා ආදරයෙන් අමතන ඔහු අන් අයෙක් නොව අර්නස්ට්ටෝ චේ ගුවේරා ය. ඇල්බර්ටෝ කොර්ඩා විසින් ගනු ලැබූ ඔහුගේ GuerrilleroHeroico නමැති සේයාරුව ලොව සුප්‍රකටම ඡායාරූපය ලෙසින් සැලකේ.
චේ බොහෝ කොට හඳුනා ගනු ලබන්නේ ගරිල්ලා භටයකු වශයෙන් වුව ඔහුගේ මෙහෙවර ගරිල්ලා යුද්ධයට පමණක් සීමා නොවේ. ආජෙන්ටියානු මාක්ස්වාදියෙක්, විප්ලවවාදියෙක් වනවාට අමතර චේ ගත්කතුවරයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් යුද්ධය පිළිබඳ න්යායාචාර්යවරයෙක් ද වේ. 1967 වර්ෂයේ ඇන්ඩීස් කඳුකරයේ දී වොෂින්ටනයේ උපදෙස් මත ක්‍රියාත්මක වූ බොලීවියන් හමුදා විසින් ඝාතනය කිරීම හේතුවෙන් චේ, නූතන පුරාවෘත්තයක් බවට පත්ව ඇති සේම ඔහුගේ යෞවන ජීව ගුණය තවමත් නො නැසී පවතී.
ලතින් අමෙරිකාවේ වොෂින්ටනයේ පිළිවෙතට 1960 දසකයේ බලවත්ම තර්ජනය එල්ල කළ තනි පුද්ගලයෙක් සිටියේ නම් හේ අර්නස්ටෝ චේ ගුවේරා ඩි ලා සෙර්නා හෙවත් චේ ගුවේරාය. කියුබානු සමාජවාදී විප්ලවයට ඔහුගේ දායකත්වය, ඔහුගේ නිර්භය සහ ඍජු එක්සත් ජනපද විවේචනය, බටහිර අර්ධගෝලයේ සන්නද්ධ කොමියුනිස්ට් කැරලිකාරිත්වයට ඔහු දැක්වූ සහයෝගය හේතුවෙන් වොෂින්ටනයේ ඉහළ බුද්ධි අංශවලට සහ හමුදාවට ඔහු රුසියාවේ ජෝශප් ස්ටාලින් තරමටම හිසරදයක් බවට පත්ව සිටියේ ය. වොෂින්ටනයේ ඉහළ බුද්ධි අංශවල සහ හමුදාවේ ඉලක්කයක් ව සිටි චේ ඔවුනට මිනිසෙක් නොව කැරලිකාරිත්වයට සහ අස්ථාවරත්වයට අනුබල සපයන්නෙක් විය.
පුරාවෘත්තගත රොමැන්තික වීරයා
කියුබාවේ සමාජවාදී විප්ලවයේ නායක ෆිදෙල් ක්රැස්ත්රෝ 1955 වර්ෂයේ මෙක්සිකෝවේ දී මුල්වරට හමුවීමේ සිට 1967 වර්ෂයේ බොලිවියාවේ දී ඝාතනය වීම දක්වා චේ ගේ විප්ලවවාදී භූමිකාව දිවෙන්නේ දසක දෙකකට මඳක් වැඩි කාල පරාසයකවුව ඔහුපරම්පරා ගණනාවක් තිස්සේ වර්තමානය දක්වා ම පුරාවෘත්තගත රොමැන්තික වීරයකු ලෙස ජනතා ගෞරවයට පාත්රව සිටී.
චේ හැදී වැඩුණේ ආජන්ටිනාවේ පළාත් බද වංශාධිපති පාලනත්ත්රයක් තුළය. ඔහුගේ පෞරුෂත්ව වර්ධනයට බලපෑ ප්‍රධාන සාධකය බාල කාලයේ පටන් හෙතෙම දරුණු ඇදුම රෝගයට එරෙහිව ගැසූ ස්වයං කැරැල්ල බව කියයි. දරුණු ඇදුම රෝගය අබිබවන්නට ඔහු සතු අවිය වූයේ, අධිෂ්ඨානය සහ ආත්ම ශක්තියයි. ජීවිතය යනු අභිමත අනුසාරී ක්‍රියාදාමයක් බව හේ විශ්වාස කළේය .කෙතරම් බියකරු ඉලක්කයක් වුව විප්ලවකාරී උද්යෝගයකින් බලහත්කාර ලෙස පරාජය කළ හැකි බව ඔහු තරයේ විශ්වාස කළේය. අධිරාජ්‍යවාදයට එරෙහිව ජනතා විමුක්තිය සහ සමාජවාදී ජයග්‍රහණ උදෙසා සටන් කරන්නට ඔහුගේ කැපවීමේ රහස, අතිශය දුෂ්කර අවස්ථාවේ පවා අරමුණ අත්නොහැරීමේ ජීව ගුණයයි.
විසිවැනි සියවසේ වඩාත් ම බලපෑම්සහගත පුද්ගලයන් අතරින් කෙනෙක් වශයෙන් ටයිම් සඟරාව විසින් චේ නම් කර තිබුණි. විසිවැනි සියවසට චේ ආකාර රැසකින් බලපෑම් කළේය. ඔහුගේ ඒ බලපෑමට හේතුව උරහිසේ රැඳුණු රයිෆලය පමණක් නොවේ. ඔහු අති සූර ලියන්නෙකි. කථිකයෙකි. ඔහුගේ කෘති සහ දෙසුම් රැසක් මුද්‍රණද්වාරයෙන් එළි දැක තිබේ. උත්තරීතර අරමුණු ඇත්තෙකු සේම ඔහු සංචාරක ඡායාරූප ශිල්පියෙකි. අඩු මුදලට සේවය කළ වෛද්‍ය පර්යේෂකයෙකි.
ඔහු ලෝකය දෙස බැලූ ආකාරයට ලෝකය දුටු අය බහුල නැත. චේ යනු වෙහෙස නො දන්නා සංචාරකයෙකි. සිය මිතුරා ඇල්බර්ටෝ ග්රැනාඩෝ සමඟ 1952 වසරේ ආජන්ටිනා, චිලී, පේරු, ඉක්වදෝර්, පැනමා, වෙනිසියුලා, කොලොම්බියා රටවල කළ සංචාරයේදී චේ ගේ ඇස ගැටුණේ භූමි දර්ශන නොව ජනතාවගේ පීඩිත ජීවන තත්ත්වයයි. එම සංචාරයේ ඇස ගැටුණු ජනතා දුක ඔහු සංචාරකයකුගෙන් විප්ලවවාදියකු බවටත් ජනතා විරෝධී පාලකයන් පලවා හරින්නට සටන් වදින ගරිල්ලා සෙබළකු බවටත් පත් කළේය.
කියුබාවේ ජනතාවගේ සාක්ෂරතාව වැඩි කළ චේ
චේ මෙක්සිකෝවට පැමිණියේ 26 හැවිරිදි යෞවනයෙ ලෙසිනි. හේ බොලිවියාවේ සති පහක් සහ ගෝතමාලාවේ මාස නමයක් ගත කළේය. ඔහුගේ ගෝතමාලා ගමනේ අරමුණ වූයේ එරට සමාජවාදී ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපති ජාකොබෝ අර්බෙන්ස් ගුස්මාන් ට සහාය වීමයි. අර්බෙස් ගෝතමාලාවේ පාලනය අත්පත් කර ගන්නා විට එරට ඉඩම් ප්‍රමාණයෙන් 72% ජනතාවගෙන් 2% විසින් භුක්ති විඳිමින් සිටියහ. එම ඉඩම් ප්‍රමාණයෙන් වාර්ෂිකව ප්‍රයෝජනයට ගැනුණේ 12% පමණි. එවක ගෝතමාලාවේ විශාලතම ඉඩම් හිමියා වූයේ අමෙරිකානු පසුබිමක් සහිත යුනයිටඩ් ෆෲට් කම්පැනි හෙවත් යූ. එෆ්. සී සමාගමයි. සමාජවාදී සබඳතා සහිත අර්බෙස් ආණ්ඩුවේ ජනතාවාදී ඉඩම් ප්‍රතිසංස්කරණ ඉදිරියේ කිපුණු යූ.එෆ්. සී කළ උපකාර ඉල්ලීම සහ ” රතු භීතිය” හේතුවෙන් වොෂින්ටනය සී. අයි. ඒ. අනුග්‍රහය මත නිකරගුවාව තුළ පුහුණු කළ සන්නද්ධ කණ්ඩායමක් මගින් අර්බෙස්ගේ ආණ්ඩුව පෙරළා දැමුවේය. චේ ගේ කොමියුනිස්ට් නැඹුරුවේ, රුසියානු සමූහාණ්ඩුව අගයන්නකු බවට පත්වීමේ සහ ඇමෙරිකානු විරෝධයේ ආරම්භය වන්නේ අර්බෙස්පාලනය පෙරළා දැමූ සී. අයි. ඒ. කුමන්ත්රණයයි. ලොව කොතැනක වුව කොමියුනිස්ට් පක්ෂයක සහායට යාම ඔහු සූදානමින් සිටියේ ය.
දිනපතා සිය කෙස් සකසා ගන්නා නමුත් මිනිසුන් තම අදහස් වෙනස් කර නො ගන්නේ මන්දැයි චේ විමසා සිටියේය. සටනකින් තොරව මානව දයාව ශක්තිමත් කළ හැකි නොවන බව හේ විශ්වාස කළේය. අධ්‍යාපන ක්රමයේ තාප්ප පහළ හෙළිය යුතු බවත් අධ්‍යාපනය යනු ධනවතුන්ගේ දරුවන් ගේ වරප්‍රසාදයක් නොවන බවත් කී සේම, ඔහු කියුබාවේ ජනතාවගේ සාක්ෂරතාව 60% සිට 96% දක්වා වර්ධනය කිරීමේ විස්මිත කටයුත්තේ නියමුවා වූයේ ය.
‘චේ ගේ අසහාය සටන් සගයා ෆිදෙල් ක්‍රැස්ත්‍රෝගේ වචනයෙන් කියන්නේ නම් “වර්තමාන පරිකල්පනයට අනුව චේ යනු සම්මුති විරහිත, කැපවීමෙන් යුතු, නිර්දූෂිත, තමා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් දිවි පුදන්නට සූදානම් පුරාවෘත්තික රොමැන්තික වීරයෙකි.”
මරණයෙන් අඩ සියවසකට පසුවත් චේ ජීවමාන වන රහස ඇත්තේ ඔහුගේ මානව දයාව සහ සටන්කාමී ජීව ගුණය තුළ බවට රහසක් නොවේ. චේ සටන් කළ ලෝක තත්ත්ව වර්තමානයේ යම් මට්ටමකින් වෙනස් වී ඇති බව සැබෑ නමුත් ඒ චේ බලාපොරොත්තු වූ තරමට නොවේ. චේ අපේක්ෂා කළ සමාජවාදයේ මුහුණුවර සම්බන්ධයෙන් චේ අද සිටියේ නම් කුමක් කියනු ඇතිද යන්න කල්පනා කළ යුතු අවදියකට අප පැමිණ ඇතැයි සිතෙන්නේ ෆිදෙල්ගෙන් පසුව රාහුල් කියුබාවේ මාර්ග සිතියම යළි සිතා බලමින් සිටින බව පෙනෙන්නට ඇති නිසාය. චේ ගේ පරමාදර්ශී සෝවියට් සමූහාණ්ඩුව අද වෙනස් වී තිබේ. චේ වෙනුවෙන් මේ යුගයේ කළ හැකි හොඳම උපහාරය වන්නේ ඔහු වර්තමානය තුළ තබා තුලනාත්මක අධ්‍යයනයකට ලක් කිරීමයි. ශ්‍රී ලංකාවේ වත්මන් පෙරළිය පිටුපස ඇති රහස ද චේ වැන්නන් කළ පරිත්‍යාගවල සාධනීය අංග සහ නිෂේධනීය අංග තුලනාත්මකව අධ්‍යයනය කරමින් දේශපාලනිකව යාවත්කාලීන වීම බව මගේ හැඟීමයි.
අර්නස්ට්ටෝ චේ ගුවේරා දිවි පෙළගැස්ම
1928
අර්නස්ටෝ ගුවේරා ජුනි 14 දින ආර්ජන්ටිනාවේ රොසාරියෝ හිදී උපත ලැබීය. අර්නස්ට්ටෝ ගුවේරා ලින්ෂ්ගේ සහ සිලියා ඩි ලා සෙර්නා නම් වූ මධ්‍යම පාන්තික මවුපියන්ගේ පළමු දරුවා ඔහුය.
1932
චේ ගේ ඇදුම රෝගී තත්ත්වය හේතුවෙන් ගුවේරා පවුල බුවනොර්ස් අයර්ස් වෙතින් කොඩෝබා අසල උණුදිය උල්පත් නගරයක් වන ඇල්ටා ක්රෙසියා වෙත පදිංචිය මාරු කළහ. ඇදුම රෝගය හේතුවෙන් චේ ට වයස අවුරුදු නමය වන තුරු ක්රමානුකූල පාසල් අධ්‍යාපනයට යොමු විය නොහැකි විය.
1948
ඉංජිනේරු විෂය හැදෑරීමේ මුල් අදහස වෙනස් කරමින් චේ,බුවනෝර්ස් අයර්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර අසාත්මිකතා ප්‍රතිකාර සායනයක සේවය ඇතුළු අර්ධ කාලීන රැකියා රැසක නිරත විය.
1950
ආජන්ටිනාවේ උතුරෙහි කිලෝ මීටර් 4,500ක මෝටර් සයිකල් චාරිකාවක නිරත විය.
1951-52
අර්නස්ට්ටෝ සහ ඔහුගේ මිතුරා ඇල්බටෝ ග්රැනාඩෝ 1951වර්ෂයේ ඇල්බටෝගේ යතුරුපැදියෙන් උතුරු ඇමෙරිකාවේ සංචාරය කරන්නට සැලසුම් කළහ. දෙසැම්බරයේ කොඩෝබා නගරයෙන් පිටත්ව ඔවුහු පළමුව අර්නස්ටෝ පවුලෙන් සමු ගනු පිණිස බුවනෝර්ස් අයර්ස් කරා ගියහ. එම වික්‍රමාන්විත සංචාරයේ අද්දැකීම් අලළා පසු කලෙක චේ, සංචාරක සටහන් හෝ මෝටර් සයිකල් ඩයරි යන නමින් යුතු කෘතිය රචනා කළේය.
1953
වෛද්‍ය උපාධිය සමත් වූ සැණින් චේ, ලතින් අමෙරිකාව වටා සංචාරයක නිරත විය. බොලීවියාව, පේරු, ඉක්වදෝර්, පැනමා, කොස්ටාරිකා සහ ගෝතමාලා හරහා ගිය ඒ ගමනේ දී ඔහුට කියුබාවේ තරුණ විප්ලවවාදියකු වූ ඇන්ටෝනියෝ (නිකෝ) ලොපෙස් මුණගැසිණ. බොලීවියාවේ දී ඔහුට බොලීවියානු විප්ලවය අද්දැකීමට හැකි විය. මෙකී චාරිකාවේ සටහන් “යළිත් වරක් හෝ යළිත් මහ මඟට”යනුවෙන් පළ කෙරිණ.
1954
ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ගෝතමාලාවේ ජාකොබෝඅර්බෙස් පාලනය එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් පෙරළා දැමීම හේතුවෙන් චේ ගේ දේශපාලන දර්ශනය බෙහෙවින් රැඩිකල් තත්ත්වයකට පත් විය. ඔහු මෙක්සිකෝවට පලා ගියේය. එහිදී ඔහුට කියුබාවෙන් පිටමංව සිටි විප්ලවවාදීන් කණ්ඩායමක් හඳුනා ගන්නට ලැබුණි. මෙක්සිකෝවේ දී ඔහු හිල්ඩා ගේඩියා නමැති පේරු යුවතිය සමඟ විවාහ විය. හිල්ඩටා යනු ඔවුන් ගේ දියණියයි.
1955
ෆිදෙල් ක්රැස්ත්රෝ හමුවීමෙන් පසුව චේ, බැසිස්ටා ගේ පාලනයට එරෙහිව සංවිධානය කරමින් තිබූ ගරිල්ලා සටනට එකතු වන්නට එකඟ වූයේ ය. ග්‍රැන්මා යාත්‍රාවේ හමුදා වෛද්‍යවරයා ලෙස හේ 1956 දෙසැම්බර් මස යාත්‍රා ගමනට එක් විය.
1956-58
යුද කටයුතුවල දක්ෂතාව හේතුවෙන් ඔහු 1957ජුලි මස අණ දෙන නිලධාරි තනතුරට උසස් කරනු ලැබීය. මධ්‍යම කියුබාවේ සැන්ට ක්ලාරා හි බැසිස්ටාගේ හමුදාව පරාජය කිරීමේ කැරලි හමුදා නායකත්වය දැරුවේ චේ ය.
1959
නිදහස් අරගලයට දුන් දායකත්වයට ගරු කරනු වස් 1959 පෙබරවාරි මාසයේ ඔහුට කියුබාවේ පුරවැසිභාවය ප්රදානය කළේය. ඇලඩා මාර්ච් සමඟ විවාහ විය. දරුවන් සිව් දෙනෙක් ලැබූහ.ඔක්තෝබරයේ ඔහු කර්මාන්ත දෙපාර්තමේන්තුවේ කෘෂි ප්‍රතිසංස්කරණ ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය. නොවැම්බරයේ ඔහු කියුබානු ජාතික බැංකුවේ සභාපති ලෙස පත් කළ අතර එයට අකමැත්ත ප්‍රකාශ කිරීම පිණිස අලුත් බැංකු නෝට්ටුවල චේ යනුවෙන් කෙටිඅත්සන යෙදීය.
1960
විප්ලවීය ආණ්ඩුව නියෝජනය කරමින් චේ, සෝවියට් සමූහාණ්ඩුව, ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජය, චෙකෝස්ලෝවැකියාව, චීනය සහ කොරියාවට පෘථුල සංචාරයක යෙදෙමින් වැදගත් වෙළෙඳ ගිවිසුම් කිහිපයක් අත්සන් කළේය.
1961
අලුතින් පිහිටුවනු ලැබූ කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රධානියා ලෙස චේ පත් කරනු ලැබීය. අගෝස්තු මාසයේදී උරුගුවේ පුන්ටා ඩෙල් එස්ට්හි පැවැති අමෙරිකානු රාජ්‍ය සංවිධානයේ කියුබානු නියෝජිත පිරිසෙහි ප්‍රධානියා වශයෙන් සහභාගි වෙමින් එක්සත් ජනපද ජනාධිපති කෙනඩි ගේ” ප්‍රගතිය සඳහා වන සන්ධානය” හෙළා දකිමින් අදහස් දැක්වීය.
1962
කියුබාවේ විප්ලවවාදී සංවිධාන එකමුතුවේ අධ්යක්ෂ මණ්ඩලයට චේ තේරී පත්විය. දෙවැනි වරටත් චේ, සෝවියට් සමූහාණ්ඩුවේ සංචාරයක නියැළුණේය.
1963
අහමඩ් බෙල් බෙලා යටතේ ප්‍රංශයෙන් නිදහස ලත් ඇල්ජීරියාවේ සංචාරයක යෙදුණේය.
1964
අප්‍රිකාවේ රටවල සංචාරයකට ප්‍රථම චේ, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය ඇමතීය.
1965
පැට්රික් ලුමුම්බා විසින් ගොඩනඟන ලද විමුක්ති ව්‍යාපාරයට සහයෝගය පිණිස ජාත්‍යන්තර දූත මෙහෙවරක නායකත්වය ගත්තේය. චේ නොමැති වීම ගැන සැක සංකා පහ කරමින් ෆිදෙල්, අලුතින් ආරම්භ කළ කියුබානු කොමියුනිස්ට් මධ්‍යම කමිටුවට චේ ගේ සමුගැනීමේ ලිපිය ඉදිරිපත් කළේය. දෙසැම්බර් මාසයේ චේ යළි කියුබාවට පැමිණියේ බොලීවියාවට දූත මෙහෙවරක් සඳහා රහසිගතව සූදානම් වීමටය.
1966
නොවැම්බර් මාසයේ චේ රහසිගතව බොලීවියාවට ඇතුළු විය.
1967
වියට්නාම් දෙකක් තුනක් කිහිපයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන චේ ගේ “ත්රෛමහද්වීපික පණිවුඩය”ප්‍රකාශයට පත් කළේය. එම මාසයේම ඔහුගේ ගරිල්ලා පිරිසක් ප්‍රධාන භට කණ්ඩායමෙන් වෙන් විය. ඔක්තෝබර් 8 දින ඉතිරි ගරිල්ලා භටයන් 17දෙනා සැඟවී පහරදීමකට ලක්වූ අතර චේ තුවාල ලබා සතුරන්ගේ ග්‍රහණයට ලක්විය. වොෂින්ටනයේ උපදෙස් යටතේ ක්‍රියාත්මක වූ බොලීවියානු හමුදාව විසින් පසු දින චේ ඝාතනය කරනු ලැබීය. ඔහුගේ මෘතදේහය සටනේ දී මියගිය තවත් ගරිල්ලා භටයන් කිහිපදෙනකුගේ සිරුරු සමඟ හඳුනා ගත නොහැකි වන ස්ථානයක වළ දමනු ලැබීය. කියුබාවේ වීරෝදාර ගරිල්ලාවරුන්ගේ දිනය ලෙස ඔක්තෝබර් 8 නම් කරනු ලැබීය.
1997
බොලීවියාවෙන් සොයා ගත් චේ ගේ ශරීර කොටස් කියුබාවට රැගෙන විත් සැන්ට ක්ලාරා හි ස්මාර්කයක තැන්පත් කරනු ලැබීය.