Home » මෙය ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය මොහොතක්

මෙය ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය මොහොතක්

මව්බිම ජනතා පක්ෂයේ සභාපති හිටපු ඇමැති රොෂාන් රණසිංහ

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

මධ්‍ය වාමවාදියාට නිසි තැන ලැබිය යුතුයි

ඔබ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වී ඉතාම කෙටි කාලයකින් පිල් මාරු කළේ ඇයි?

පක්ෂය මාරු කිරීමට වඩා වැදගත් වෙන්නේ අපේ ප්‍රතිපත්තියයි. අපි ඉන්නේ මධ්‍ය වාමවාදි කඳවුරේ. ඡන්දදායකයා අන්තගාමී වාමවාදි කඳවුර දෙසට යන්න හේතුව වුණේ ජාතිකත්වය, ස්වදේශිකත්වය, ආගම හා බැඳුණු මධ්‍ය වාමවාදියාගේ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොදු ජන පෙරමුණු දේශපාලනඥයන් විසින් කෙලෙසීමේ ප්‍රතිඵලයයි. මධ්‍ය වාමවාදියාට නිසි තැන ලැබිය යුතුයි. ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් සෑදීමටයි දිලිත් ජයවීර හා අප එක්වුණේ. මේ රටට ගැළපෙන පැහැදිලි ගමනක් ඇත්තේ එතැනයි.

ඔබ පවසන්නේ අද රටට අවශ්‍ය මධ්‍ය වාමවාදි කඳවුරක් බවද?

අනිවාර්යයෙන්ම. මෙරට 60% ක් ඉන්නේ මධ්‍ය වාමවාදීන්. දක්ෂිණාංශක කඳවුරට වසර 40 ක් රටේ බලය ලබාදී නැහැ. අන්තගාමී, වාමවාදි කඳවුර ව්‍යවස්ථාව නිසා ජනාධිපති වුණාට 50.1 % ජනවරම නැහැ. මේ රටේ පාලනය ගියේ මධ්‍ය වාමවාදි නායකයන්ටයි.

මේ කඳවුරෙන් ජනතාවට ලැබෙන සහන මොනවාද?

ස්වදේශිකත්වය මුල් වූ නිෂ්පාදන ආර්ථකයක් මෙන්ම ව්‍යවසායික රාජ්‍යයක් යන සංකල්පය තුළයි මේ රට ගොඩනැඟිය හැක්කේ. ආණ්ඩුව රටේ ජනතාවට අම්මා තාත්තා විය යුතුයි. අපි තරුණ පරපුරට අවශ්‍ය ව්‍යවසායකයකු ගොඩනඟනවා. අද අපේ රටේ නව ව්‍යවසායකුට සහය දෙන්න ආයතනයක් හෝ මූල්‍ය සහයෝගයක් නැහැ. රජයේ රස්සා ලබාදී දරුණු වගකීමක් පවරනවා. අපේ රටේ සංවර්ධන බැංකු කියා දෙයක් ඇත්තෙම නැහැ. බැංකුව ලබන අධික ලාභය දෙන්නේ කාටද? මහ පරිමාණ ව්‍යවසායකයන්ට ලාභය අඩුවෙන් පොලියට දෙනවා. එය දිය යුත්තේ නව ව්‍යවසායකයන් දිරිගැන්වීමටයි. දූෂණය නැති කරන්න හැමෝටම කේත අංකයක් දිය යුතුයි. හැමෝටම එක ආකාරයේ රක්ෂණ හා විශ්‍රාම ක්‍රමයක් අපි හඳුන්වා දිය යුතුයි.

මේ මතවාදය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වුණා නම් ජනාධිපතිවරණයේදී ඔබ එම පක්ෂයෙන් වෙන්ව තරග කළේ ඇයි?

මේ රට පාලනය කිරීමේ වගකීම මා භාර ගන්න සූදානම් නිසයි අවංකවම මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ. මට එක ඉලක්කයක් තිබුණා. කැබිනට් මණ්ඩලයේ සිටිද්දි සිදු වූ දූෂණ අක්‍රමිකතා මම දුටුවා. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව ඛණිජ තෙල්වලින් ගහන හැටි. ගෑස්වලින් ගහන හැටිද දැකකා. මේ හැම දෙයක්ම දුටු නිසයි මම ක්‍රිකට්වලින් එළියට ආවේ. යම් යම් අඩුපාඩු තිබුණත් එදා තිබුණු ආණ්ඩුව පළවා හරින්න ජනතා විමුක්ති පෙරමුණ ලොකු මෙහෙයක් දැරුවා. නමුත් වැඩපිළිවෙළක් ගෙනාවේ නැහැ. මම රනිල් ගෙදර යැව්වේ මේ රට හදන වැඩපිළිවෙළත් සමඟ ඉදිරියට ඇවිත්. මේ රටේ පාලනය භාරගත යුත්තේ තමන් හම්බ කරලා පවුලක් නඩත්තු කරපු මිනිසකුයි.

ඔබ ඇතුළු පිරිසගේ අවශ්‍යතාව ප්‍රබල විපක්ෂයක් ගොඩනැඟීමද?

පැහැදිලිවම මේ ලංකා ඉතිහාසයේ ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය මොහොතක්. එකතු වූ තැන දිනුම්. බෙදූ තැන පැරදුම කියන කියමන වැදගත්. රට බෙදුම්වාදි තත්ත්වයකට යන්න ඉඩ තියෙනවා. වර්ගවාදයක් මතු වෙනවා. ඒ නිසා ව්‍යවස්ථාවට අත නොතැබිය යුතුයි.

ජාතික ජන බලවේගය පැවැසුවා ඔවුන් බලයට පැමිණියොත් හොරු අල්ලනවා, බදු අඩු කරනවා කියා. මේ වන විට ඔවුන්ගේ පාලනය කොහොමද දකින්නේ?

බලය ගන්නකොටම කිව්වේ උපයන විට බද්ධ අහෝසි කරනවා කියලා. වැට් බදු අඩු කරනවා, තෙල් රුපියල් 200 ට දෙන්න පුළුවන් කිව්වා. IMF සංශෝධන කරන්න දිගින් දිගටම සාකච්ඡා කරනවා කිව්වා. නමුත් IMF එක ලොකු ලියවිලි ගොඩක් ගෙනාවත් ජනාධිපතිවරයා නියෝජනය කරන නිලධාරින් ලියැවිල්ලක් පවා නොගෙන ආ බව දැක්කා. ඔවුන් වේදිකාවේදි ජනතාවට දුන් පොරොන්දු ඉටු කළාද? මාධ්‍ය සංදර්ශන නෙමෙයි විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයයි. 150 අවශ්‍ය දේට අපි සහයෝගය දෙනවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division