Home » ප්‍රබලයෝ රැසක් මහමැතිවරණ තරග බිමෙන් පසුබසිති

ප්‍රබලයෝ රැසක් මහමැතිවරණ තරග බිමෙන් පසුබසිති

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

දිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු තරග නොකිරීමට තීරණය කර ඇත. මේ ආකාරයට තරග නොකිරීමට තීරණය කර ඇත්තේ මෙරට දේශපාලන භූමියේ ප්‍රබල චරිත වීම ද මෙහිදී කැපී පෙනේ. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ජනාධිපතිවරණයෙන් ජය ලබා මෙරට නව වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වීමත් සමඟ මෙරට දේශපාලන පිටිය උඩු යටිකුරු වෙමින් තිබේ. ඒ ජනතාවාදී ආණ්ඩුවක් පිළිබඳ ජනතාව දක්වන උනන්දුව හේතුකොටගෙනය. එනිසා මෙවර ජනමතයේ හැසීරීම තමන්ට සතුටුදායක නොවන බව ඔවුන් විසින්ම තීරණය කර තිබීම විශේෂත්වයකි.

මෙලෙස දේශපාලන භූමියෙන් ඉවත්ව යන ප්‍රබලයන් අතර මීට ප්‍රථම මහමැතිවරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන කැපී පෙනේ.

තරග නොකරන පිරිස අතර හිටපු ඇමැතිවරු, රාජ්‍ය ඇමතිවරු රැසක්ම මහමැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇති අනෙක් පිරිස අතර හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු කැබිනට් ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ආචාර්ය විජයදාස රාජපක්ෂ, අලි සබ්‍රි ද රාජ්‍ය ඇමතිවරුන් වන ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, ගීතා කුමාරසිංහ, විමලවීර දිසානායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ (ජාතික ලැයිස්තුවෙන්) ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, පාඨලී චම්පික රණවක, ෂාන් විජයලාල් ද සිල්වා, සම්පත් අතුකෝරළ, විමල් වීරවංශ, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න, ගාමිණී ලොකුගේ, සී. වී. විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, මාවෙයි සේනාධිරාජා, ගෙවිඳු කුමාරතුංග යන අය දැකගත හැකිය.

මීට අමතරව හිටපු ආණ්ඩුකාරවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නවීන් දිසානායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, මයන්ත දිසානායක, රංජිත් අලුවිහාරේ, පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරුන් ද මෙම මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඩලස් අලහප්පෙරුම ද සජබ නාම යෝජනා පත්‍රයට නම් නොකිරීමෙන් මෙවර මැතිවරණයෙන් ඉවත් වීමට සිදුව තිබේ. එලෙස ලැයිස්තුවෙන් ඉවත් වීමට සිදු වූ අනෙක් අපේක්ෂිකාව වන්නේ දමිතා අබේරත්න ය. ඇය ද රත්නපුර දිස්ත්‍ර­ික්කයෙන් තරග බිමට පිවිසීමට සිටිය ද නාම යෝජනා පත්‍රයේ නම නොතිබිම හේතුවෙන් ඇය ඉන් ඉවත්ව තිබේ.

මෙවර මහමැතිවරණයට තමන් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තමා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ මහමැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව පැවසුවේය.

එක්සත් ජනරජ පෙරමුණ මහමැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය සමඟ ගිවිසුමකට එළැඹ තිබූ බවත් නාම යෝජනා ලැයිස්තු සැකසීමේදී එම ගිවිසුම උල්ලංඝනය කර ඇති බව පෙනී යන යන හෙයින් මෙම තීරණයට එළැඹි බව ද ප්‍රකාශ කළේය.

මෙම තීරණය සඳහා එළැඹියේ සමගි ජන බලවේගයට සතුරුකම් කිරීමේ අදහසකින් නොවන බවත් අදාළ ගිවිසුම උල්ලංඝනය වීම දරාගැනීමට නොහැකි වීම නිසා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එක්සත් ජනරජ පෙරමුණට සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට එකඟ වී තිබෙන්නේ දැයි ඔහුගෙන් කළ විමසීමේදී ඊට පිළිතුරු දෙමින් චම්පික රණවක පවසා සිටියේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා එකඟතාව පළ වී තිබෙන බවය.

මහමැතිවරණයට තමන් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමලවීර දිසානායක පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තමා ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බවය. නමුත් ජාතික ලයිස්තුවේ ඔහුගේ නම දැකගැනීමට නොමැත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසා සිටියේ තම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණයේදී තරග නොකර සිටීමට තීරණය කළ බවය.

පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සාම්ප්‍රදායානුකූලව විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමෙන් බහුතර මහජන අපේක්ෂා සහ තම අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස තම කණ්ඩායම කල්පනා කරන බව එම පක්ෂය විසින් නිකුත් කළ ලිපියේ සඳහන් වේ.

තමන් මහමැතිවරණයට තරග නොකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පැවසුවේ ඉදිරි මහමැතිවරණයේදී උගත් තරුණයන්ට අවස්ථාව දීමට තමා තීරණය කළ බවය.

හිටපු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවන බව පැවසේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබල නියෝජිතයකුව සිටි හෙතෙම පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දක්වමින් ආණ්ඩුව සමඟ කටයුතු කළ අතර පසුගිය දිනවල මහමැතිවරණයේ සිලින්ඩරය ලකුණින් නාමයෝජනා සකස් කිරීමේ වැඩපිළිවෙළ සමඟද එක්ව කටයුතු කළේය. මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය අනුව විපක්ෂය එකම කණ්ඩයමක් ලෙස ක්‍රියා කළ යුතුව ඇති බව ද ප්‍රසන්න රණතුංග පැවසීය. කෙසේවෙතත් මේ වනවිට ඔහු ද මෙවර මහමැතිවරණ සටනින් ඉවත්ව සිටින බව පෙනෙන්නට තිබෙන අතර, පසුගිය පාලන සමය තුළ සිටි ඉදිරි පෙළ මැති ඇමැතිවරු රැසක්ම මෙවර පසු බැස තිබීම විශේෂත්වයකි.

අලුත් පාර්ලිමේන්තුවේ තරුණ සහ කාන්තා නියෝජනය ඉහළ යන ලකුණු පෙනෙන්නට තිබේ.

මෙම මැතිවරණය පිළිබඳ අධ්‍යයනය කරන නිරීක්ෂකයන් පවසන්නේ මෙවර මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අතර නවක මුහුණු රැසක් දැක ගත හැකි බවත් නව පාර්ලිමේන්තුවේ තරුණ දේශපාලනඥයන්ගේ සහ කාන්තා දේශපාලනඥයන්ගෙ ප්‍රතිශතය ඉහළ යා හැකි බවත්ය. එසේම දේශපාලන පවුල්වලට සම්බන්ධ පිරිස්වල ද පැහැදිලි අඩුවක් පෙනෙන්ට ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට තරග නොකර, ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව පක්ෂ එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241ක් මැතිවරණයට නාම යෝජනා භාර දී ඇති බවය. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 349කි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division