Home » ටික් ටොක් වයිරල් වෙද්දී මට ආදරේ කරන පිරිස වැඩි වුණා

ටික් ටොක් වයිරල් වෙද්දී මට ආදරේ කරන පිරිස වැඩි වුණා

මනිෂා ප්‍රනාන්දු

by thanushika
October 19, 2024 12:30 am 0 comment

අද අපේ කතා නායිකාව බවට පත්වෙන්නේ ටික් ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ කාගේත් අවධානය දිනා ගත් මනිෂා ප්‍රනාන්දු. මනිෂාගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔබ මේ කතාබහ තුළින් වීඩියෝ තුළින් අපි දකින මනීෂාගේ ජිවිතේ ගැන පොඩ්ඩක් දැන ගන්න පුළුවන්.

මනිෂා අපට ඔබගේ පවුල ගැන කිවුවොත්?

මගෙ උපන් ගම හැඳල. මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා මල්ලිලා හතර දෙනා සහ නංගියි මමයි. අපේ පවුලේ ළමයි හය දෙනෙක් ඉන්නවා. තාත්තා 2020 අවුරුද්දේ හෘදයාබාධයකින් මිය යනවා. මම පාසල් ගියේ වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයට. දැනට මම පෝලන්තයේ ඉන්නේ. මම මෙහෙ පූර්ණකාලින රැකියාවක් කරනවා.

ටික් ටොක්වල මනීෂා හරි ජනප්‍රියයි නේද?

මේ දවස්වල නම් ටිකක් ජනප්‍රියයි. මොකද කියනවා නම් දැන් මාස හතරක වගේ කාලයක ඉඳන් ටික් ටොක්වල සහ ෆේස්බුක් පේජ්වල වයිරල් වෙන්න ගත්තා.

කොයි කාලේ ඉඳන් ද ටික් ටොක් කරන්නෙ

මම ටික් ටොක් කරන්න ගත්තේ 2018. ටික් ටොක් ආපු මුල් කාලෙම. හැබැයි 2019දී මට රට යන්න වුණා. ඒ කාලෙත් පොඩියට ටික් ටොක් කර කර හිටියා. ලොකුවටම කළේ නැහැ.

මුලින්ම ටික් ටොක් එකක් වයිරල් වුණු වීඩියෝ එක මොකක් ද?

පොලිටිකල් වීඩියෝ එකක් තිබ්බා වනාතවිල්ලුවේ කියලා. ඒකෙන් තමයි ගොඩක් වයිරල් වුණේ. වන් මිලියන් පන්නලා විව්ස් ආවා. සමහර යූටියුබ් චැනල් වලින් ඒ වීඩියෝ එක ගැන කතා කරන්න ගත්තා. ඒ හරහා තමයි වයිරල් වුණේ.

මේ කන්ටෙන්ට් හදන්නෙ ඔයාමද?

ඔව් මම ම තමයි කන්ටෙන්ට් හදලා, එඩිට් කරලා අප්ලෝඩ් කරන්නේ. ලොකු දෙයක් කරන්න නැහැ ඉතින්.

රඟපාන්න එහෙම ආසාවක් තියෙනවා ද?

මම පාසල් යන කාලේ නාට්‍යය හා රංග කලාව කළා. ඒ නිසා මම හිතනවා මට රඟපාන්න පුළුවන් කියලා. රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඒකටත් ආසයි. හැබැයි මගේ ලොකු ප්ලෑන් එකක් නැහැ ලංකාවේ ඉන්න. දැන් මම මෙහෙ ජොබ් එකක් කරනවා. ඒ එක්කම මගේ හිතේ ලොකු ප්ලෑන් වගයක් තියෙනවා. ඒ මගේ අනාගත සැලසුම් එක්ක මට ලංකාවේ ඉන්න අමාරුයි ටිකක්.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

දැන් නම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට බණින අයත් ඉන්නවා. දැන් ගැහැනු ළමයින්ගෙන් තව ගැහැනු ළමයෙක්ට සපෝර්ට් එකක් හම්බෙනවා අඩුයිනේ. ඒ වුණාට මට නම් ගොඩක් ගැහැනු ළමයි තමයි සපෝර්ට් කරන්නේ. ඒ ගැන ඉතින් මට ගොඩක් සතුටුයි.

ආදර යෝජනා එහෙමත් ප්‍රතිචාර විදියට එනවද?

ආදර යෝජනාත් එනවා. එහෙම කියලා ගොඩක්ම එන්නේ නැහැ. මගේ කන්ටෙන්ට්වලට තමයි ගොඩක් අය ආස. සමහර අයගේ මැසේජ් මට බලන්න වෙලාවකුත් නැහැ. මම රැකියාවක් කරන ගමන් නේ මේ දේවල් කරන්නේ. එතකොට මම බලන්නේ විව්ස් සහ ඒ ඒ වීඩියෝවලට එන කමෙන්ට්ස් විතරයි. ඒ හැර ඉන්බොක්ස් එක ලොකුවට චෙක් කරන්නේ නැහැ.

අමතක නොවන මතක හෝ අත්දැකීම් මොනවද?

ටික් ටොක් වයිරල් වෙද්දී මට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. මම ලයිව් එහෙම ආවම කට්ටිය කියන්නේ ඔයා කොච්චර සීරියස් වුණත් අපිට හිනා යනවා කියලා. මට ඒ අයගේ මුහුණුවලට හිනාවක් ගේන්න පුළුවන් වුණා කියන්නේ ටික් ටොක්වලින් දෙයක් කර ගන්න පුළුවන් වුණා කියලා මට හිතෙන්නේ. මැදපෙරදිග රටවල ඉන්න ගොඩක් අය මට මැසේජ් දාලා තියෙනවා තෑන්ක් යූ පුතේ ඔයා අපේ මූණට හිනාවක් ගේනවට. අපිට තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා ඔයාගේ වීඩියෝ බැලුවම. එහෙම කියලා ගොඩක් අයගෙන් මැසේජ් එනවා. මොකද යුරෝපීය රටවල ඉන්න අය වගේ නෙවෙයි මැදපෙරදිග අය ඉන්නේ ගොඩක් ප්‍රශ්න එක්ක. ඉතින් එයාලගේ මුහුණුවලට හිනාවක් ගෙනාවා කියන්නේ මම දිනලා ඉවරයි.

පෝලන්තයේ මොනවද කරන්නෙ රැකියාව විදිහට

මම පෝලන්තයේ නම් කරන්නේ ඩිෂ් වොෂින්. ඒකට ගොඩක් අය කියලා තිබ්බා Unskill ජොබ් එකක් ඉගෙන ගත්තා නම් ඕවා කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි මම දකින්නේ මොන ජොබ් එක වුණත් වටිනවා. මම ලංකාවේ ඩිෂ් වොෂින් කළාට මෙහෙ මට ලැබෙන ගාණ හම්බෙන්නේ නැහැනේ. ඒ නිසා අපි ගරු කරන්න ඕන අපි කරන රැකියාවට. මම සර්බියාවේ ඉන්න කාලේ පීසා හැදුවා රෙස්ටුරන්ට් එකක. මට මෙහෙත් ඒ ජොබ් එකම කරන්න පුළුවන්. පෝලන්තයේ ටිකක් භාෂාව එහෙම බලනවා. ඒ වගේම මම ඉන්නේ වර්ශාව කියන ප්‍රධාන නගරයේ. මෙහෙ හැම පහසුකමක්ම තියෙනවා. ඒ නිසා මේ වගේ නගරයක ඩිෂ් වොෂින් කරන එක කිසිම අවුලක් නැහැ. මගේ අනාගත ඉලක්ක එක්ක මම දැන් ඩිෂ් වොෂින් කරන්නේ කියලා දුක් වෙන්නේ නැහැ.

මේ වෙද්දී රටවල් කීයකට ගිහින් තියෙනවා ද?

මම 2019 ඩුබායි ගියා. ඊට පස්සේ මම ඩුබායි ගියා. ඩුබායි ගියේ මම සර්බියාවට යන්න. ඩුබායිවල මම වැඩ කළේ නැහැ. මාසයක් විතර එහෙ ට්‍රැවල් කළා. සර්බියාවෙත් වැඩ කළා. ඊට පස්සේ තමයි පෝලන්තයට ආවේ.

ලංකාවට එන්නෙ තව කොච්චර කාලයකින්ද?

ලංකාවට 2019න් පස්සේ 2022දී ගියා. ලබන ජනවාරි මම එන්න හිතන් ඉන්නවා.

ගෙදරින් මොකද කියන්නෙ ඔයාගේ මේ ටික් ටොක්වලට?

අම්මා නම් මුකුත් කියන්නේ නැහැ. මුලින්ම නම් මල්ලිලා කැමති වුණේ නැහැ. ඒ වගේම නෑයෝ නම් ගොඩක්ම කැමති වුණේ නැහැ. එයාලා අම්මට බැණලත් තිබ්බා මොකද මනිෂාට වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක් මේ වගේ ෆනී කන්ටෙන්ට් කරන්නේ නැති නිසා තමයි මට වෙනසක් කරන්න ඕනේ වුණේ. ඒක නෑදෑයෝ වැරදියට ගත්තට මට කරන්න දෙයක් නැහැ. මට එයාලට ඕනේ විදිහට මගේ ලයිෆ් එක හදාගන්න බැහැනේ. දැන් නම් අපේ අම්මා සතුටුයි. මල්ලිලාත් හොඳයි කරගෙන යන්න කියනවා. තාම නම් නෑදෑයෝ නම් අනං මනං කියනවා.

ආදරේ ගැන කිවුවොත්?

මම ආදරේ දී දකින්නේ අපිට ගැළපෙන අපේ වයිබ් එකේම අය හම්බෙන්නේ නැහැ. ගළපාගෙන ඉන්නවා කියන එකත් මම විශ්වාස කරන්නේ නැහැ. එහෙම ඉන්න පුළුවන් නම් හිටියට කමක් නැහැ. එහෙම බැරි අවස්ථාවක බොරුවට දෙන්නෙක් එකට ඉන්නවට වඩා මම නම් හිතන්නේ දෙන්නා දෙපැත්තට වෙන එක තමයි හොඳ බොරුවට දෙන්නම දුක් විඳිනවට වඩා. මොකද මට කලින් සබඳතා තිබ්බා. ඒ පිරිමි ළමයින්ගේ ගෙදර අයට ප්‍රශ්න වුණේ මම හම්බ කරලා මගේ ගෙදර අයට වියදම් කරන එක. ඒ අය කිවුවේ ගෙදරට ඔයා ඔහොම කරන්න ඕනේ නැහැ. එයාලගේ ප්‍රශ්න එයාල විසඳ ගනී. ඔයා මැරි කරලා එන්නේ අපේ ගෙදරටනේ වගේ කතා. ඒ නිසාම ඒ සම්බන්ධකම් නැවතුණා. මම දුක් වෙන්නේ නැහැ. ඒ හැමෝටම වඩා මම අඩි 10ක් හරි ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා අද මම සතුටු වෙනවා එදා මම එයාල කියන දේ අහලා මගේ අම්මා සහ සහෝදර සහෝදරියන් අත­්හැරලා එයාව මැරී කරලා ගියා නම් මේ හැමදේම වෙනස් වෙන්න තිබ්බා. මොකද මම දන්නවා ඒ කාලේ වෙද්දී අපේ අම්මාට තාත්තට තිබ්බ ප්‍රශ්න එක්ක කවුරු හරි රට යන්නම ඕනේ වුණා. එහෙම වුණොත් තමයි ගොඩ ඒමක් තිබ්බේ. ඉතින් එදා මම ඒ තීරණය ගත්තා. මගේ හිතේ පොඩි දුකකට තියෙන්නේ තිබ්බ ලොකුම ණය ගොඩ ගෙවාගෙන එනකොට අන්තිම ලක්ෂ දෙක වගේ ගෙවලා ඉවර වෙන්න කලින් තාත්තා නැතිවීම. හරියට එයා නිකම් අල්ලන් ඉඳලා මට දෙයක් කර ගන්න පුළුවන් කියලා හිතෙන තැනදී එයා නැති වුණා වගේ. මොකද ලොකු හිතේ බරක් දරාගෙන තාත්තා ජීවත් වුණා. හැබැයි ණය ගෙවාගෙන ඉවර වෙද්දී තාත්තා නැති වුණා. අපිට සතුටින් ඉන්න පුළුවන් කාලය එද්දී තාත්තා නැහැනේ කියන දුක හැමදාම මට තියෙයි.

ජීවිතේ මොනවද තියෙන ඉලක්ක?

ජීවිතේ ඉලක්ක කියන්නේ මට මල්ලිලා හතර දෙනයි නංගියි අම්මයි දැන් ඉන්නේ. තාත්තා තමයි මට හිටිය ලොකුම හයිය. අපි එක ගෙදර එක කාමරේ එකටම හිටියේ. තනියම කාමරයක නිදාගන්නවත් මට හයියක් තිබ්බේ නැහැ. ගෙදරින් බයම කෙනා මම. අපි ගොඩක් ණය වෙලා හිටියේ. එකම ඔප්ෂන් එක තිබ්බේ තාත්තට මාව රට යවන එක. තාත්තාගේ වචනයට පිටුපාන්න බැරි හින්දා ආපු ගමනක් මේක. හැබැයි මම සතුටු වෙනවා තාත්තා ඒ කරපු දේට. ඉතින් තාත්තා හිටියා නම් මල්ලිලා හතර දෙනාට සහ නංගිට හැමදේම කරන නිසා දැන් ඒ වගකීම ලොකු අක්කා විදියට මට තියෙන්නේ. ඒ නිසා මගේ තියෙන ඉලක්කය තමයි එයාලගේ ජීවිත්්්්්්්්්්්්්්්්්්්්්්වලට හොඳ දෙයක් කරන්න උදව් කරන ගමන් මමත් මගේ ජිවිතේ ලස්සනට හදා ගන්න එක. ඒ වෙනුවෙන් අදටත් මම ගොඩක් මහන්සි වෙනවා. අපිට තාම පොඩි ගෙයක් තියෙන්නේ. ඒ නිසා එයාලට ගෙයක් හදලා දෙන එක තමයි ලොකුම ඉලක්කය.

 

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division