Home » වියළි නාට්‍යයේ පොඩි කළුවා

වියළි නාට්‍යයේ පොඩි කළුවා

දෙව්සර ඉරුගල්බණ්ඩාර

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

– ලොකු වුණාම ව්‍යාපාරිකයෙක් වෙනවා
– මම ගොඩක්ම කැමති ගැමි චරිතයක් රඟපාන්න

සහජයෙන් එන කලා දක්ෂතා අප සැමටම පිහිටන්නේ නැත. ප්‍රේක්ෂක සිත් කලාවෙන් පිනවා තමා කෙරෙහි ඒ රසික ආකර්ෂණය නිරායාසයෙන්ම ඇද බැඳ තබා ගැනීමට හැකි වීමම කෙතරම් භාග්‍යයක්ද ? කුඩාවියේ පටන්ම අති දක්ෂ රංග ප්‍රතිභාවක් පෙන්නුම් කරමින් අනාගත කලා ලොවේ සාර්ථක ගමනක් යෑමේ බලාපොරොත්තුව සමඟ කළ එළි බසින වියළී ටෙලි නාට්‍යයෙන් අපට හමුවන “පොඩි කළුවා” ඔබට මතක ඇති.

පියාගේ නොමඳ ආශිර්වාද මැද, යහපත් කලා භාවිතයක පෙරමං ලකුණු පෙන්වන රංගන ශිල්පි දෙව්සර ඉරුගල්බණ්ඩාර සමඟයි මේ කතාබහ.

පොඩි කළුවා චරිතෙට යාළුවන්ගෙන්, ටීචලගෙන් එහෙම ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. යාළුවෝ, ටීචලා හැමෝම සතුටුයි මගේ රඟපෑම ගැන.

ඔයාට ශූටින් ගියාම අතපසු වෙන ඉස්කෝලේ වැඩ කරගන්න ටීචලා, යාළුවෝ උදව් කරනවා ඇති නේද ?

ඔව්. මට යාළුවෝ උදව් කරනවා අතපසු වෙන පාඩම් වැඩ කරගන්න. ටීචර්ලත් ගොඩක් උදව් කරනවා.

ඉස්කෝලේ යන්නේ කොහෙද?

මම ඉගෙන ගන්නේ කළුතර ජනාධිපති විද්‍යාලයේ. හත ශ්‍රේණියේ.

විනෝදාංශ විදියට මොනවද කරන්නේ ?

ක්‍රිකට් සෙල්ලම් කරන්න, බයිසිකල් පදින්න ආසයි. තව පොතුත් කියවනවා.

පුතා රඟපාන්න ආස කරන විශේෂ චරිත එහෙම තියෙනවද ?

මම ගොඩක්ම කැමති ගමේ චරිතයක් රඟපාන්න.

ඔයාට රඟපෑමට අමතරව තවත් දක්ෂතා ඇති නේද?

ඔව්. මට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ වගේම වෙස්ටන් ඩාන්සින් පුළුවන්. තව කොමඩි ඇක්ෂන් එහෙමත් කරන්න පුළුවන්.

වියළි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ඔබේ අප්පච්චි. ඔහුගෙන් ලැබෙන සහාය කොහොමද?

පොඩි කළුවා චරිතය කරනකොට අප්පච්චිගෙන් වගේම, නාට්‍යයට දායක වෙන අනෙක් නැන්දලා, මාමලාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.

අප්පච්චි මට ඒ චරිතය රඟපාන කොට නොදන්න දේවල් කියලා දෙනවා. අනික් නැන්දලා මාමලත් එහෙමයි. අපි හරි විනෝදෙන් වැඩ කළා.

වියළි නාට්‍ය රූගත කරනකොට ඔයා මුහුණ දුන්න අමතක නොවෙන සිදුවීම් එහෙම තියෙනවද ?

මං කැටපෝලයක් අරන්, නාට්‍යයේ හැටියට මගේ අයියට ගහන්න එන තවත් අයියලා පිරිසකට කැලේ ඉඳන් පැනලා ගහන්න ආපු සිද්ධිය තාම මතකයි. තව වියළි නාට්‍ය තිරයේ පෙන්නන ගහ තියෙන වැවේ මං නාලා තියෙනවා.

වියළි ඔබ සම්බන්ධ වෙන පළවෙනි කලා නිර්මාණයද ?

මම මීට කලින් ගයා රම්‍ය අල්විස් මාමාගේ කෙටි චිත්‍රපටියක රඟපෑවා. තව ගීතයකටත් සම්බන්ධ වෙලා තියෙනවා.

ඉදිරියටත් රඟපාන්න අවස්ථාව ලැබුණොත් කැමතිද සම්බන්ධ වෙන්න ?

ඔව්, ඉස්කෝලේ වැඩවලටත් බාධාවක් නොවෙන විදියට හොඳ නිර්මාණයක් ආවොත් කරන්න කැමතියි.

ඔයාගේ අනාගත බලාපොරොත්තුව ගැන අපට කියන්නකෝ?

මම කැමතියි ව්‍යාපාරිකයෙක් වෙන්න. වාහන වලට මම හරිම ආසයි. ඒ වගේම කලා කටයුතුත් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.

කුමුදිකා ඩී. සපුතන්ත්‍රි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division