Home » ලෝකයේ ධනවත්ම ගායිකාව ටේලර් ස්විෆ්ට්

ලෝකයේ ධනවත්ම ගායිකාව ටේලර් ස්විෆ්ට්

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව පවසන ආකාරයට මේ වනවිට ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 කට ආසන්න යි. එය ලංකා රුපියල් බිලියන 470 කට ආසන්න වත්කමක්. ස්විෆ්ට් ගේ වත්කම් මෑත කාලයේ වේගයෙන් වර්ධනය වන්නට හේතු වුණේ ඇයගේ Eras Tour සංගීත ප්‍රසංග මාලාවේ සාර්ථකත්වයයි.

ජනප්‍රිය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් මේ කාලෙ නිතරම පුවත් මවන කෙනෙක් බව රහසක් නොවෙයි. එයට ප්‍රධාන හේතුවක් නම් ඇයගේ ගීතවල සහ මේ දිනවල ලොව වටා සංචාරය කරමින් ඇය පවත්වන Eras Tour ප්‍රසංග මාලාවේ ජනප්‍රියත්වයයි.

ඉතා සුවිශේෂී කාරණයක් නිසාත් පසුගිය සතියේ ටේලර් ස්විෆ්ට් මාධ්‍ය තුළ අවධානයට ලක්ව තිබුණා. එකී මාධ්‍ය වාර්තාවලින් පැවසුණේ ඇය ලෝකයේ ධනවත්ම ගායිකාව බවට පත්ව ඇති බව යි. ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව පවසන ආකාරයට මේ වනවිට ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.6කට ආසන්න යි. එය ලංකා රුපියල් බිලියන 470කට ආසන්න වත්කමක්. ස්විෆ්ට් ගේ වත්කම් මෑත කාලයේ වේගයෙන් වර්ධනය වන්නට හේතු වුණේ ඇයගේ Eras Tour සංගීත ප්‍රසංග මාලාවේ සාර්ථකත්වය යි. සංගීත ප්‍රසංග ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ ප්‍රසංග මාලාව හැටියටත් එය ටික කලකට පෙර වාර්තාවක් පිහිටුවා තිබුණා.

ස්විෆ්ට් ධනවත්ම ගායිකාව බවට පත්වීමට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ සුපිරි ගායිකා රිහානා. ඇයගේ වත්කම සටහන් වන්නේ ඇ. ඩොලර් බිලියන 1.4 ක් (ලංකා රුපියල් බිලියන 410ක්) හැටියට යි. ස්විෆ්ට් සහ රිහානා අතර ඇති වෙනසක් වන්නේ රිහානා වැඩි වශයෙන් වත්කම් උපයන්නේ සංගීත කටයුතුවලින් නොව ඇයගේ වෙනත් ව්‍යාපාරික කටයුතුවලින්වීම යි.

මැඩෝනා සහ බියොන්සේ ද ලොව ධනවත්ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින දෙදෙනෙක්. පසුගිය මැයි මාසයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මැඩෝනාගේ වත්කම ඇ. ඩොලර් මිලියන 850ක් වූ අතර බියොන්සේගේ වත්කම ඇ. ඩොලර් මිලියන 760 ක් වුණා.

34 වැනි වියෙහි පසුවන ටේලර් ස්විෆ්ට්ට පසුගිය කාලයේ ආදායම් ගෙනා Eras Tour සංගීත ප්‍රසංග මාලාව ආරම්භ වූයේ පසුගිය වසරේ මාර්තු 17 වැනි දින යි. උතුරු අ‍ෙමරිකාව, දකුණු අ‍ෙමරිකාව, ආසියාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව යන කලාපවල ප්‍රසංග 150 කට ආසන්න සංඛ්‍යාවක් මෙම ප්‍රසංග මාලාවට ඇතුළත්. Eras Tour ප්‍රසංග මාලාව අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේ යි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට මෙම ප්‍රසංගවලින් උපයා තිබූ ආදායම ඇ.ඩොලර් බිලියන 1.9 (ලංකා රුපියල් බිලියන 555) ක්.

පසුගිය දිනවල ස්විෆ්ට් ගැන අ‍ෙමරිකානු දේශපාලන ක්‍ෂේත්‍රයේ ද විශාල අවධානයක් යොමුව තිබුණා. තව ටික දිනකින් පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් අතර ඇයගේ සහයෝගය දිනා ගැනීම සඳහා තරගයක් ඇතිව තිබීම නිසයි. ඒ කෙසේ නමුත් ස්විෆ්ට් ගේ සහයෝගය මේ වනවිට හිමි වී ඇත්තේ ජනාධිපතිවරණයට තරග කරන එරට වත්මන් උප ජනාධිපතිනිය වන කමලා හැරිස්ට යි. යම් හෙයකින් හැරිස් ජනාධිපතිවරණයෙන් ජයගතහොත් එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇති. මන්ද යත්, ඇමරිකානු ඉතිහාසය තුළ ජනාධිපති පදවියට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇති බැවිනි.

ටේලර් ස්විෆ්ට් විසින් කරන ලද විශේෂ සමාජ සේවා කටයුත්තක් ගැනත් මෙයට ටික දිනකට පෙර මාධ්‍ය තුළ සඳහන්ව තිබුණා. පසුගිය දිනවල අ‍ෙමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් ප්‍රචණ්ඩ සුළි කුණාටු දෙකකින් දැඩි බලපෑමට ලක් වූ අතර එයින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ස්විෆ්ට් අ‍ෙමරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කර තිබූ බව සඳහන්. මෙය ලංකා රුපියල් කෝටි 150 කට ආසන්න මුදලක්.

හෙලීන් සහ මිල්ටන් යන නම්වලින් හැඳින්වුණු මෙම සුළි කුණාටු නිසා මරණ පවා සිදු වූ අතර විශාල වශයෙන් දේළෙ හානි ද සිදු වුණා. විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි වුණා.

ටේලර් ස්විෆ්ට් ඉහත කී මුදල පරිත්‍යාග කර තිබුණේ මෙවැනි සමාජ සේවාවල නිරත වන Feeding America නමැති සංවිධානයකටයි. ඒ සම්බන්ධයෙන් ඇයට සුවිශේෂී ස්තුතියක් පුද කරමින් එම සංවිධානය පණිවුඩයක් පළ කර තිබුණා. සුළි කුණාටුවල බලපෑමට ලක් වූ ජනතාවට ආහාර, ජලය ආදී අත්‍යවශ්‍ය දේ සපයා දීමටත්, ඔවුන්ගේ නිවාස ආදිය නැවත පිළිසකර කර දීමටත් මෙම පරිත්‍යාගය මහෝපකාරී වනු ඇති බව ද ඔවුන් සඳහන් කර තිබුණා.

ටේලර් ස්විෆ්ට්ගේ ආදර සම්බන්ධයත් මේ කාලයේ මාධ්‍ය තුළ බොහොම ජනප්‍රිය මාතෘකාවක්. ඇයගේ පෙම්වතා වන්නේ සුප්‍රකට අ‍ෙමරිකානු පාපන්දු ක්‍රීඩකයකු වන ට්‍රැවිස් කෙල්ස්. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වී තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ යි.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division