පසුගිය දිනවල සියදිවි නසා ගැනීම් වාර්තාවක් නිසා ආචාරධර්ම රකින්නැයි ජනමාධ්‍යායතන පෙරළා තමන්ගෙන්ම ඉල්ලා සිටින තැනට ඇද වැටුණේය.
80 දශකයේ මැද භාගයේ සිට විද්්‍යුත් ජනමාධ්‍යකරුවෙක් ලෙස වැඩුණු මට ඉතිහාසය මෙනෙහි කරන්නට කදිම නිමිත්තක් විය.
1980 ගණන්වල අග භාගයේදී මානසික රෝගීන් පිළිබඳ හාස්‍යයෝත්පාදක කතා සමාජයේ ප්‍රචලිතව පැවැතිණ. අද මෙන් සමාජ මාධ්‍ය ජාලා නොතිබුණු නිසා ඒවා පැතිරුණේ හුදෙක්ම කටකතා එසේ නැතිනම් මිතුරන් අතර කතා වශයෙනි.මම ඒ කතා එක් රැස් කර ගතිමි.
ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සඳුදා උදෑසන වැඩසටහන මට පැවරී තිබිණ. කලෙක එය ‘නිවේදක තෝරයි’ යනුවෙන් නම් කර තිබිණ. මෙය ප්‍රකට නිවේදක නිවේදිකාවන් ගණනාවක් බිහිකළ ඓතිහාසික වැඩසටහනකි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුවන් විදුලි අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වූ කාලවකවානුවකි. ඔහු ඒ නම ‘ප්‍රභාතය’ යනුවෙන් වෙනස් කළේය.
එක් සඳුදාවක මම මානසික රෝහල පිළිබඳ කතන්දරයක් ඇතුළත් කරගත්තෙමි. ඒ හා ගැළපෙන ගීතයක් ද යෙදවෙමි.
‘අද කතාව මරු’
‘මට තාම හිනා.’
එදා වැඩසටහනට ලැබුණු ප්‍රතිචාරවලින් මම මදක් පිම්බී සිටියෙමි.
නමුත් අතරමග හමු වූ ජ්‍යෙෂ්ඨ සන්නිවේදකයෙකු වූ වසන්ත ලංකාතිලක තුළ ඇත්තේ නොරුස්නා ගතියකි.
“අද නම් චන්දන තිලකරත්න ලකුණු කපා ගත්තා.”
මම තිගැස්සුනෙමි.
“ඇයි…?
“ඇයි කියන්නෙ….. ඔයා දන්නවද මානසික රෝගවලට ප්‍රතිකාර ගන්න අය කීදෙනෙක් ඉන්නවද කියලා. ඒ කිසි කෙනෙක් ඔයාව අහන්නෑ මීට පස්සේ.. බ්‍රෝඩ් කාස්ටින් එතීක්ස් කියලා ජාතියක් තියෙනවා.”
මට හීං දාඩිය දැම්මේය.
උද්දාමයෙන් පිම්බී සිටි මා හිල් වූ බැලූනයක් මෙන් හැකිලී ගියේය.
ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ගුවන් විදුලි අභ්‍යාස ආයතනයේදී අපට උගන්වා තිබේදයි මතක් වෙන්නේ ද නැත.
නිවේදිකාවක් වූ මාගේ බිරිඳත් මමත් දෙදෙනාම පුහුණුව ලැබුවේ එකටය. මම වහා ඇය වෙත ගියෙමි.
“ඔයාට මතකද මාධ්‍ය ආචාර ධර්ම?
“ ඔව් අපිට ඉගැන්නුවෙ.. අන්ධය, කොරා, බීරා, පිස්සා වගේ වචන කියන්න එපා. ජාතීන් අතර වෛර ඇතිකරන ඒවා කියන්න එපා…… මට මතක නෑ අනේ… අනිත් එක ඕව මතක තියාගන්න ඕනැ නෑනේ. අපි ආචාර ධර්ම කඩන්නෙ නෑ නේ….“
ඇය සිනාසුනාය.
“මගුලක් කතා කරනවා… මම කඩලා… !“
මම වහා අසෝක තිලකරත්න මහතා වෙත ගියෙමි.
“ඕව කොහෙවත් ලිඛිතව හොයාගන්න නෑ.. කළ පුරුද්දෙන්ම තමයි දැන ගන්නෙ. ජ්‍යෙෂ්ඨයෝ කියල දෙන්න ඕන ඉතින්.“
අසෝක අයියා මා ද කැටුව කුමාර රත්නායක මහතාගේ කාමරයට ගියේය.ආගමික අංශයේ ප්‍රධානියා වූ රත්නායක මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙකි.
“ආචාර ධර්ම කියන ඒවා මනුස්සයෙක්ගෙ හැදියාවෙන් තමයි මතුවෙන්නේ.“
රත්නායක මහතා කළේ දාර්ශනික පැහැදිලි කිරීමකි. එය ඉතා දීර්ඝය.
“කොටින්ම කියනවනං මම අකමැති දෙයක් තව කෙනෙකුට කියන්න එපා. අපරාධවලට පොළඹවන, සියදිවි නසා ගැනීම්වලට පොළඹ වන දේවල් කියන්න එපා.
ඕව ලියල නැති එක ගැන කලබල වෙන්න ඕන නෑ. හැදියාවක් තියෙන උගත් ජනමාධ්‍යවේදියෙක් අතින් එහෙම දේවල් වෙන්නෙ නෑ.“
විෂයානුබද්ධ දැනුමෙන් සන්නද්ධ වූ හැදියාවෙන් පරිපූර්ණ වූ මිනිසුන් ආචාර ධර්ම පිළිබඳව නොතැකුවේ ඒවා ඔවුන් අතින් නොසිඳෙන බවට ඔවුන් තුළම වූ විශ්වාසය නිසාය.
ලිඛිත ප්‍රකාශනයක් නොවන බ්‍රිතාන්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කවුරුත් කඩන්නේ නැත. එහෙත් ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කළ අවස්ථා අපි ද අත්විඳ ඇත්තෙමු.
මීට වසර දෙක තුනකට ඉහතදී මම විශ්‍රාමිකව සිටි අසෝක තිලකරත්න මහතාගේ සුව දුක් බැලීමට ගියෙමි.
“අවුරුදු තිහකට විතර ඉස්සෙල්ල මට මතකයි ඔයා ජනමාධ්‍ය ආචාර ධර්ම හොය හොය හිටියා.”
ඔහු කුඩා කහ පැහැති පොත් පිංචක් මා වෙත පෑවේය. එය ජපානයේ වෙළඳ ගුවන් විදුලි විකාශකයින්ගේ ජාතික සංගමය විසින්, 1996 දී සංග්‍රහ කරන ලද්දකි.
මේ වන විට ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ ප්‍රකාශන වැහි වැහැලාය. එසේ වුව ද, ඒවා ලිඛිතව නොපැවති සමයට සාපේක්ෂව දැන්
ආචාර ධර්ම සිඳෙනවා වැඩිය.