මරණ බය මිනිස් ජීවිතයට පමණක් පොදු වූවක් නොවේ. මිහිපිට උපන් ඕනෑම සත්වයකුට දැනෙන ලොකු ම බිය මරණ බියයි. එම බියෙන් කවර හෝ සත්වයකු නිදහස් කිරීම මහත් ඵල මහානිසංස ලබාදෙන අගනා පුණ්‍යකර්මයක් බව බුදු දහමේ සඳහන්ය. මේ කතාව අපේ රටේ නොවන එහෙත් අපේම වූ තවත් මිනිසුන්ගේ අගනා පුණ්‍යකර්මයකි.
‘ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ, එය සැපයකි කකුළුව දිය කෙළියේ‘ මෙය අප නිතර අසා ඇති කියමනකි. කකුළුවන් ආහාරය සඳහා සූදානම් කරන්නේ පණ පිටින්ය. ඒ කකුළුවන් මැරුණ පසුව ආහාරය සඳහා පිසීමේදි කකුළුවන් ගේ මස් දියවී යන බව සමාජයීය මතයයි. නමුත් මේ කකුළුවෝ මිනිස් ආහාරය පිණිස දිවි පුදන්නේ කිසිදු සතකු නොවිඳිනා දුකක් විඳිමින් බව කවුරුත් නොදන්නා කරුණකි. විකිණීමට සූදානම් කර තිබූ කකුළුවන් මිලදීගෙන ආපසු ආරක්ෂක ස්ථානයකට මුදා හැරීමේ පුණ්‍ය සිතුවිල්ලක් යමකුට පහළ වන්නේ නම් එය කොතරම් පුණ්‍යකර්මයක්ද?
වර්තමානයේ බුදු දහමින් පෝෂණය වූ ශ්‍රී ලාංකික පරිසරයේ සැබෑ සුන්දරත්වය පමණක් නොව බුදු දහම වැලඳ ගන්නට ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයෝ බොහෝය. ඔවුන් බොහෝ දෙනා ලංකාවට පැමිණ ගත කරන කෙටි කාලය තුළ බෞද්ධාගමික වත්පිළිවෙත් අනුගමනය කරමින් බණ භාවනා කරමින් ආගමානුකූල ජීවිතයකට මුල පුරමින් නැවතත් සිය රට බලා යන්නේ බුදු දහම වැලඳගෙනය.
පසුගියදා පෘතුගාලයෙන් සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණියේ රට වටේ ඇවිද ලස්සන අත් විඳින්නට නොව ලංකාවේ බුදුදහම වැලඳගෙන කෙටි කාලයකට හෝ ආගමික ජීවිතයක් ගත කරන්නටය. ඒ ආ ගමනේදි ඔවුන් විසින් මරණයට සූදානම් කළ කකුළුවන් දහස් ගණනකගේ දිවි බේරුවේ මිහිපිට උපන් ඕනෑම සත්වයෙකුට දැනෙන ලොකු ම බිය වූ මරණ බියෙන් නිදහස් කරමිනි.
“මම සංචාරක කර්මාන්තය හරහා බුදුදහම ලෝකය පුරා ප්‍රචාරය කිරීම සිදුකරනවා. තමන්ගේම කැමැත්තෙන් ආගමික වැඩසටහන්වලට විදෙස් සංචාරකයන් මෙහි ගෙන්වනවා. බොහෝ විදෙස් සංචාරකයන් ඉන්නවා, ලංකාවට පැමිණ බුදු දහම වැලඳගන්නට කැමැත්තෙන්. ඔවුන් මගේ වෙබ් අඩවිය හරහා ලංකාවට එනවා. මේ පෘතුගාලයේ පිරිස මෙවර ලංකාවට ආවේ භාවනාමය වැඩසටහනක් සඳහායි. විසි දෙනෙකුගෙන් යුත් කාන්තා පුරුෂ දෙපිරිසම මෙයට ඇතුළත් වුණා. මේ පිරිස තනිකරම වෙජිටේරියන්. දින 12 ක් ලංකාවේ සිටියත් ඒ කාලය පුරාම ගත කළේ නිවැරදි භාවනා වත්පිළිවෙත්. මේ අය දිනපතාම විවිධ ස්ථානවල භාවනා කළා. කුඹල්වල ඇල්ලේ භාවනා අසපුව හරහා මේ අයට ධර්මය අවබෝධ කරවන්නට උත්සාහ කළා. මේ අය බුදුදහම වැලඳ ගත් උදවිය නිසා ඔවුන්ට බුදු දහම ඉගෙන ගෙන භාවනාව හුරු කරන්න අවශ්‍ය වුණා. ඔවුන් පුනරුත්පත්තිය සියයට සියයක්ම විශ්වාස කරනවා. මේ අය පිරිසුදු වෙජිටේරියන් අය. වත් පිළිවෙත් හරියටම කරනවා. ඔවුන්ගේ භාවනා කටයුතු ලංකාවේ සිදු කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා“ ඒ මෙම පිරිසගේ ලංකා සංචාරය සූදානම් කළ ‘ට්‍රැවල් විත් මහින්ද‘ ආයතනය හිමි ධනේෂ් මහින්දසිරිය.
මේ පිරිස සිය ලංකාවට පැමිණ සිය මුල්ම රාත්‍රිය ගත කළේ මීගමුවේදීය. දෙවනුව ඔවුන් ගියේ උඩවලවේය. දිනපතා ඔවුන්ගේ රාත්‍රිය ගෙවෙන්නේ භාවනාවේය. උඩවලවේ වනජීවි උද්‍යානයේදීද නිස්කලංක කැලයේදි භාවනාව සිදු විය. අනතුරුව ඇල්ල ප්‍රදේශයේදි දින දෙකක් ගත කළේ නිදහස් පරිසරයේ සිට භාවනාවට සිත යොමන්නටය. අනතුරුව කුඹල්වල කන්ද උඩ අසපුවටද පසුව මහනුවර හා නුවරඑළිය ප්‍රදේශයේදී භාවනාමය වැඩසටහන්වලට ඔවුන් එක් විය. බුද්ධාගමේ අන්තර්ගත ධර්මය, සංසාරය, පව් පින්, අනිත්‍ය මෙන්ම කර්මය ගැන ඔවුන් බොහෝ දේ අවබෝධ කරගෙන ඇත. ලොව බලගතු ස්ථානය රුවන්වැලි සෑය බව ඔවුන් පවසන්නේ ආඩම්බරයෙනි.
“මේ අය අපිට වඩා ප්‍රායෝගිකව බුදු දහම අදහනවා. කකුළුවෝ නිදහස් කිරීමේ පුණ්‍යකර්මය මේ අයගෙන්ම ආ අදහසක්. එය සිදුවුණේ ඔවුන්ගේ වැඩසටහනේ අන්තිම දිනයේ. කකුළුවෝ තමයි වැඩිම වේදනාවක් විඳ මියයන සතුන් කියලා මේ අය මට කිව්වා. ඒ නිසා පණ පිටින් අරගෙන මරා ආහාරයට ගන්න අත්පා රබර් පටිවලින් බැඳ සූදානම් කර තිබූ කකුළුවෝ නැවත ජලයට නිදහස් කරන්න මේ පිරිසට අවශ්‍ය වුණා. අපි මීගමුවට ගියා මරන්න ඉන්න කකුළුවෝ ගන්න. ඔවුන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් එකතු කර ගත්තා. රබර් පටිවලින් අත්පා ගැට ගැසූ කකුළුවෝ 1000ක් පමණ ගත්තා. පසුව උස්වැටකෙයියාව කලපුවේ දුරකට බෝට්ටුවලින් ගියා. ඉතාම අමාරුවෙන් රබර් පටි කපලා කකුළුවන්ව වතුරට දැම්මා. මේ කකුළුවෝ වතුරට දැම්මට පස්සේ දවස් ගාණක් මඩ ඇතුළේ බයට හැංගිලා ඉන්නවලු, මරණ භය යනතෙක්…..“
“මේ පුණ්‍යකර්මය සිදුකර ආ පසු ඒ අයට හරිම සතුටුයි. අත්පුඩි ගහලා සතුට සැමරුවා. කකුළුවෝ නිදහස් කරද්දි අපේ අතපය පවා තුවාල වුණා. ඒත් හරිම සතුටක් දැනුණා. අවසාන දවසේ ගුවන්තොටපළට යද්දිත් ඒ අය ගියේ සතුටින්. ….මේ සංචාරක පිරිස අමතක නොවන පිරිසක්..“
මිහිපිට ඇති සත්වයන්ට ඇති ලොකුම බිය වන මරණ බියෙන් දිනකට හෝ සතුන් නිදහස් කිරීම මහත් ඵල මහානිසංස පුණ්‍යකර්මයට දායක වූයේ උපතින් බෞද්ධයෝ නොවේ. ඔවුන් තවමත් අපේ බුදුදහම ඉගෙන ගනිමින් පවතින විදේශිකයෝය. වෙනස ඇත්තේ මෙතැනය.
සුභාෂිණි ජයරත්න