පුත්තලම පොලිස් කොට්ඨාසයේ උඩප්පුව පොලිසියට නව ස්ථානාධිපතිවරයෙක් පත්ව ආවේ ඉකුත් විසිපස් වැනි දිනය. ඒ පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.සී.කේ. දහනකය. නීති විරෝධී සහ සමාජ විරෝධී ක්‍රියා විශාල වශයෙන් පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වන බව නොරහසකි. කුඩුකාරයින්ගෙන්, ගංජාකාරයින්ගෙන්, සූදුකරුවන්ගෙන් ඇතුළු නම් දරා සිටින අපරාධකරුවන් විශාල පිරිසක් පෑලියගොඩ කළු පාලම අවට ප්‍රදේශයේ වෙසෙති. වසර කිහිපයක් එම පොලිස් ස්ථානයේ සේවයේ නිරත වෙමින් අපරාධකරුවන් සෑහෙන පිරිසක් ප්‍රධාන පොලිස් පරීක්ෂක දහනක විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මේ සඳහා පුද්ගලික ඔත්තුකරුවන් ජාලයකින් ඔහු සන්නද්ධව සිටියේය.
ඔහු මුන්දලම නව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු පොලිස් පොතේ සටහන්ව ඇති මෙතෙක් විසඳී නොමැති පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කළේය.
ඒ අනුව ඉකුත් ජූලි මස 13 වැනි දින සටහන්ව තිබූ පැමිණිල්ලක් සම්බන්ධව පොලිස් පරීක්ෂක දහනකගේ අවධානය යොමු විය. පැමිණිල්ල රන් භාණ්ඩ සොරා ගැනීමක්ය. මුදු, ගෙල පලඳනා, මාල, කරාබු ඇතුළු පවුම් 32ක රන් තොගයකි. ඒවායේ වටිනාකම රුපියල් පනස්අට ලක්ෂ හතළිස් දහසකි.
සොරකම සිදු වූ නිවස පිහිටා ඇත්තේ උඩප්පුව වෙරළ ආසන්නයේය. එම නිවසේ ජීවත් වෙන්නේ මැදිවියේ යුවළක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාය. ස්ථානාධිපතිවරයා සහ පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් සිද්ධිය සම්බන්ධව නිවැසියන්ගෙන් විමසීම් කර විමර්ශන කටයුතු නැවත ආරම්භ කළේය.
එදින නිවැසියන් කිසියම් අවශ්‍යතාවක් සඳහා උඩප්පුව නගරයට ගිය අවස්ථාවේ දහවල් මෙම සොරකම සිදුවී තිබිණි. අගුළු දමා තිබූ දොරට පයින් ගසා නිවසට ඇතුළු වී අල්මාරියේ බෑගයක බහා තිබූ මෙම රන් තොගය සොරකම් කර තිබුණේ අල්මාරිය අගුළු දමා නොමැති නිසාය.
සොරකම සිදුවූ පසු දින එම නිවස ආසන්නයේ මාළු වාඩියේ වැඩ කළ පුද්ගලයෙක් අතුරුදන් විය. ඔහුගේ වයස අවුරුදු හතළිස් පහකි. ඔහු බිරිය යැයි කියාගන්නා අයෙක් සමඟ එම වාඩියේ ජීවත්විය. බිරිය ද නිවසින් ගොස්ය. ඔවුන් උඩප්පුවේ ධීවර වාඩිවල රැකියාව සඳහා පැමිණ ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙරය. මෙසේ නිවසින් පලා යාම සම්බන්ධව සොරකම සිදුකර ඇති නිවසේ අය සැක කළේ මෙම පුද්ගලයාය.
ඔහුගේ මුල් ගම පෑලියගොඩ ප්රදේශයයි. ඔහුගේ ඡායාරූපයක් ද සොයා ස්ථානාධිපතිවරයා පෑලියගොඩ පොලිසියට ගියේ සිද්ධියට සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදුකර තොරතුරු ලබාගැනීමටය. ඒ අනුව ස්ථානාධිපතිවරයා පෑලියගොඩ පොලිසියේ සේවය කරන අතර කාලයේදී පුද්ගලික ඔත්තුකරුවන්ගේ ජාලයට ඡායාරූපය පෙන්නා මේ සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට කටයුතු කළේය.
ඒ අනුව සැකකරු සම්බන්ධව තොරතුරු රැසක් සොයා ගන්නේ දින කීපයක් ඇතුළතදීය.
සැකකරුගේ පියා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. ඔහුට යමක්කමක් තිබී ඇත. බස් රථයක ද හිමිකරුවෙකි. සැකකාර පුතාගේ නම එම බස් රථයට යොදා තිබිණි. පසුකාලීනව ක්‍රමයෙන් ව්‍යාපාර කඩා වැටීමත් සමඟින් ඔවුන් සතුව තිබූ බොහෝ දේ අහිමි විය. බස් රථය ද විකුණා දමා තිබේ. ඒ එම පවුලේ අතීතයයි.
සැකකරු වයස 15දී පමණ නිවසින් පිටව ගොස් තිබේ. අනතුරුව ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ මාළු වාඩියක සේවය කර ඇත. වසර ගණනාවක් මෙසේ විවිධ ස්ථානවල රැකියා කරමින් ජීවත් වූ ඔහු කුඩු, ගංජාවලට ඇබ්බැහි වී තිබේ. ඒ අතරතුර බූරු ගැසීමට ද ලොල් වී ඇත. පය ගසන හැමතැනම සහකාරියන් ඇසුරු කිරීමට ද කටයුතු කර ඇත. පසුව මීට වසර දෙකකට පමණ පසු බිරිය යැයි කියා ගන්නා අයෙක් සමඟ සැකකරු උඩප්පුවට පැමිණ ඇත්තේ ධීවර වාඩිවල රැකියා කිරීමටය. බිරිය මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම සොරකම සිදු කිරීමට පෙර ඔහුගේ බිරිය යැයි කියා ගන්නා අයට ද සැලසුමේ ඉවක් දැනී ඊට තදින්ම විරුද්ධ වී නිවසින් පිටව යාමට කටයුතු කළාය. එහෙත් රන් ආභරණ සොරකම් කළ සැකකරු මුලින්ම ගියේ බිරිය යැයි කියා ගන්නා කතගේ මීගමුවේ පිහිටි නිවසටය. ඇය ඒ වනවිට එම නිවස ආසන්නයේ මළ ගෙදරකට ගොස් සිටියාය. ඔහු එතැනට ගොස් කාටත් නොපෙනෙන සේ සිය කලිසම් සාක්කුවේ බහා තිබූ සොරකම් කළ රන් ආභරණ පෙන්වා තමන් සමඟ එන ලෙස අයැද සිටියද ඇය එම ඉල්ලීමට එකඟ නොවීය. පසුව සැකකරු කඩවත ප්‍රදේශයේ තමන් හඳුනන යහළුවකුගේ නිවසකට ගියේය. එම නිවසේ යහළුවා සහ ඔහුගේ දියණිය ජීවත්වන අතර එම දියණියගේ සැමියා මිය ගොස්ය. සැකකරුට යාමට තැනක් නොමැති වීමෙන් දියණිය සහ පියා සැකකරුට එම නිවසේ නවාතැන් දීමට කටයුතු කළේය. මේ අතර දියණිය සහ සැකකරු අතර සම්බන්ධයක් ඇතිවීමට වැඩි කාලයක් ගත නොවීය. ඔහු සතුව ඇති රන් ආභරණ සැඟවීමට නොහැකි නිසා ඔහු කියා සිටියේ මෙම රන් ආභරණ තමාගේ බිරියගේ බවත් බිරිය කොළඹ ජාතික රෝහලේ නැවතී ප්‍රතිකාර ලබන නිසා ඒවා රැගෙන ආ බවයි. ඔහුට මෙම රන් ආභරණ උකසට තැබීමට හැඳුනුම්පතක් නොමැති විය. ඒ හේතුවෙන් එම කාන්තාවගේ හැඳුනුම්පත භාවිත කරමින් ආභරණ උකස් තැබීමට සැකකරු කටයුතු කළේය.
රාගම, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කැලණිය ඇතුළු ප්‍රදේශවල උකස් මධ්‍යස්ථාන ගණනාවක මෙම රන් ආභරණ උකස් තැබීමට ඔහු කටයුතු කළේය. මේ අතර රන් භාණ්ඩ අලෙවි කරන ස්ථාන කීපයකට ද ඒවා විකිණීමට කටයුතු කළේය. මිල මුදල් අඩුවක් නොමැතිව තම අත ගැවසීමෙන් සැකකරු මත්කුඩුවලට තදින් ඇබ්බැහි විය. බූරු ගැසීම ද අඩුවක් නොවීය. ඒ අතර කාන්තාවන්ගේ ඇසුර නොඅඩුව ලබාගැනීම ද සිදුවිය. මේ අතරතුර ස්ථානාධිපති දහනකගේ උපදෙස් මත දීර්ඝ විමර්ශනයක යෙදෙන බුද්ධි අංශ නිලධාරීන්ට කැලණිය ප්‍රදේශයට මත්කුඩු ගැනීමට සැකකරු පැමිණෙන බවට තොරතුරක් ලැබිණි. ඒ අනුව ඉකුත් 27දා පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් විවිධ වෙසින් පෙනී සිටිමින් සැකකරු පැමිණෙන ඉසව්ව නිශ්චිතවම හඳුනාගෙන කැලණිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනිණි.
සොරා ගන්නා ලද රන් භාණ්ඩ පවුම් 32න් පවුම් 24ක් පොලිසිය විසින් සොයාගන ඇති අතර අනෙකුත් රන් භාණ්ඩ සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.
පුත්තලම දිසා භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදයකුමාරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී එස්. එරන්ද සොයිසාගේ අධීක්ෂණයෙන් උඩප්පුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.සී. කේ. දහනකගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන 64897 චාමර, 46298 ලක්ෂ්මන්, කොස්තාපල්වරුන් වන 72685 හේරත්, කාන්තා පොලිස් කොස්තාපල් 12755 රසාංගි යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළහ.
මිහිර විජේසේකර – මාරවිල සමූහ