– පළමුවැනි දවසෙ අපේ අම්මත් පුදුම වුණා ඇය කිව්වෙත් මට නම් හිතාගන්නත් බෑ කියලා
– බාලි කියන්නේ කළු චරිතයක් වුණත් තාමත් මට නරක ප්‍රතිචාර ලැබිල නෑ
බාලි, ඔහු හරි සුන්දර රස්තියාදුකාරයෙකි. පිළිවෙළට ඇඳ පැලඳ ත්‍රිරෝද රථයේ නැගී ඉගිළෙන ඔහු තරාතිරමක් නොබලා ඕනෑම අයකු ඇසුරු කරන්නෙකි. මේ අපූරු චරිතය අපට හමුවන්නේ සිරස නාළිකාවේ විකාශය වන සඳුන් රාජකරුණාගේ මායාවී ටෙලි නිර්මාණයේය. කළු චරිතයක් වුව ද එය ප්‍රතික්ෂේප නොවන අයුරින් ප්‍රේක්ෂකයා වෙත ගෙනෙන්නට තිරපිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි ගත් උත්සාහය සාර්ථක බව පැහැදිලිය. බාලි ලෙසින් මේ දිනවල ප්‍රේක්ෂක ඔබේ ආදරය ඉහළින්ම ලබන ඔහු ශාක්‍ය අභිලාෂ්ය.
නවක රංගන ශිල්පියකු ලෙස බාලිගේ භූමිකාවට පණ පොවන ශාක්‍ය ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ආදරය අදහාගත නොහැක්කක් බවයි පැවසුවේ.
ඇත්තම කිව්වොත් බාලි කියන්නේ මගේ සම්පූර්ණ විරුද්ධ පැත්ත කිව්වත් හරි. මං වැඩි කතාබහක් නැතිව පාඩුවේ ඉන්න චරිතයක්. ඒ වගේම සරලව අඳින පලඳින කෙනෙක්. පලඳින්නෙත් ඔරලෝසුව විතරයි. ඒත් බාලි ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. මාල ගොඩක් දාගෙන, අතේ බෑන්ඩ් ගොඩක් දාගෙන, කොණ්ඩෙ අපිළිවෙළ ත්‍රිරෝද රථ රියදුරෙක්. පෙනුම එහෙම වුණාට බාලි මෝඩයෙක් නෙවෙයි. ඩීසන්ට් විදිහට අඳින පලඳින, බුද්ධිමත්ව හිතන කිසිවකුට අහුනොවෙන චරිතයක්. කවුරුත් විශ්වාස කරන්නෙ නෑ මං මේ වගේ චරිතයක් කළා කියලා. බාලි කියන්නේ කළු චරිතයක් වුණත් තාමත් මට නරක ප්‍රතිචාර ලැබිල නෑ. සමාජ මාධ්‍යවල වගේම සජීවීවත් ප්‍රතිචාර ලැබෙනවා. මං කවදාවත් හිතුවේ නෑ මේ තරම් ඉක්මනට මට මේ වගේ ප්‍රතිචාර ලැබේවි කියලා.
ටෙලි ඩ්‍රාමා එක විකාශය වෙනකල් අම්මටයි මල්ලිටයි ඇරෙන්න මං වෙන කාටවත්ම කිව්වෙ නෑ. මුල් එපිසෝඩ් එක දෙක බලනකන් මටත් පොඩි ඩවුට් එකක් තිබුණා කොහොම වෙයිද කියලා. පළමුවැනි දවසෙ අපේ අම්මත් පුදුම වුණා. අම්ම කිව්වෙත් මට නම් හිතාගන්නත් බෑ කියලා. යාළුවෝ වගේම දන්න අය ගොඩක් මට කෝල් කරලා විමතිය පළ කළා.
මායාවී ටෙලි නිර්මාණය විකාශය වන තුරු සිය රංගන දායකත්වය රහසක්ව තබාගත් අයුරු ශාක්‍ය අප හා පැවසුවේ සිනහමුසුවය.
මායාවීහි බාලිවීමට ලැබුණු අහඹු අවස්ථාව ඔහුගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බඳුය. සජීවීව හමුවන ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය ඔහුට තවමත් අදහාගත නොහැකි සිහිනයකි.
අපි කෑම කන්න කියල හිතාගෙන එක්තරා හෝටලයකට ගිය වෙලාවේ අපට සර්ව් කරන තරුණයෙක් දෙතුන් පාරක් මගේ දිහා බලනවා දැක්කා. මං ඒක එච්චර ගණන් ගත්තෙ නැත්තේ එදා මං සාමාන්‍ය ශාක්‍ය විදිහට හිටපු නිසා. පස්සෙ ඔහු මගේ ළඟට ඇවිත් ඔයා නේද මායාවී එකේ බාලි කියල ඇහුවා. මට පුදුම හිතුණේ ඒ වෙද්දි මායාවී එපිසෝඩ් හතර පහයි ගිහින් තිබුණේ. ඒක තමයි මට සජීවීව ලැබුණු මුල්ම කමෙන්ට් එක.
ශාක්‍ය අභිලාෂ් බාලි වන්නේ ද අහම්බෙනි. මායාවී ප්රඩක්ෂන්හි රියැදුරු මහතකුගේ ආරාධනාවක් මත ශාක්‍ය තිර පරීක්ෂණයට යද්දී ද අනෙක් සියලු චරිත තෝරා නිම වී බාලි සඳහා ද කෙනෙකු තෝරාගෙන තිබිණි. මේක් අප් දාලා ස්ක්‍රීන් ටෙස්ට් එකට ඉදිරිපත් වුණාට පස්සේ අධ්යක්ෂවරයාට මාව ඕකේ වෙලා තිබුණා. එදා හවසම නිෂ්පාදකවරයා මට කතා කරල කිව්වා බාලි කියන්නේ ත්‍රිරෝද රථ පදින,රස්තියාදුකාර භාෂාවෙන් කතා කරන මැරෑටි චරිතයක් කියලා. ඒක මට ලොකු අභියෝගයක් වුණේ මගේ චරිතයකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ චරිතයක් වීම නිසා. ඒ වගේ කැරැක්ටර්ස් තියෙන ටෙලිනාට්‍ය හොයාගෙන ඉක්මනින්ම මං ඒවා අධ්‍යයනය කළා. ගොඩක් කාලෙකින් ත්‍රීවීල් එකක් පැදල තිබුණෙත් නෑ. ඊළඟ දවසෙම ලලිත් සර් සෙට් එකට ත්‍රීවීල් එකක් එවල තිබුණා. පැය දෙකක් විතර පුහුණු වුණාට පස්සේ තමයි ෂූට් එක කළේ. ඒත් මුල්ම සීන් එකේදි රිවස් කරන්න ගිහින් දෙපාරක් හැපුණා. ඊට පස්සේ මං දවස් දෙකක් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන ත්‍රීවීල් එක පුරුදු වුණා. චරිතය ගොඩනඟා ගන්නවටත් වඩා ඒ වෙලාවෙ මට ඕන වුණේ ත්‍රීවීල් එක පුරුදු වෙන්න. මුල් කොටස් එක දෙක බලද්දි මටම මගේ අඩුපාඩු තේරුණා.
දන්න කාලෙ ඉඳන්ම මට ඕන වුණේ වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. කොවිඩ් වසංගතයට මුහුණදෙන තෙක්ම ඇකඩමියට සම්බන්ධ වෙලා ක්‍රීඩා කළා. ක්ලබ්වලටත් සෙල්ලම් කළා. උසස් පෙළින් පස්සේ ශ්‍රී ලංකා එයාර් ලයින් එකේ කැබින් කෘෘ ඩිප්ලෝමාව හැදෑරුවා. පස්සේ ඒ ආයතනයේම රැකියාවක නිරත වුණා. ක්‍රිකට්වලට ඇල්ම තිබුණ තරමට නිවාඩු නැති නිසා රැකියාවට සමුදුන්නා.
2021 හිරු අවුරුදු කුමරා අවසන් දොළොස්දෙනා අතරට පත්වීමත් සමඟින් මෝස්තර නිරූපණයට පිවිසි ශාක්‍ය පළමු රංගන අත්දැකීම ලබා ගන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වූ පැකේජ් ටෙලි නිර්මාණයෙනි. ඒ අතරේම ඔහු සහාය අධ්යක්ෂවරයකු ලෙස ද කටයුතු කර ඇත.
සහාය අධ්‍යක්ෂණය ගැන මං මුලින්ම ඉගෙන ගන්නෙ මගේ බාප්පා දිනේෂ් හග්ගල්ලගෙන්. ඔහු පළපුරුදු කෙනෙක්. ඒ දැනුමත් එක්ක සාරංග මෙන්ඩිස්ගේ ටෙලි කතා මාලාවකට සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ රංගන ජීවිතේට ලොකු පිටිවහලක් වුණා. ඒ අත්දැකීම් මායාවී වගේම හිරිපොද වැස්ස ටෙලි නිර්මාණ චරිතවල සාර්ථකත්වයට ලොකු පන්නරයක් වුණා.“
බාලි කළු චරිතයක් වුවත් රසිකාවියන්ගෙන් ලැබෙන ප්රතිචාරයන්හි ප්‍රේමණීය ආරාධනා ද පවතින බව පැවසූ ශාක්‍ය ආදරය ගැන පැවසුවේ මෙවන් අදහසකි.
“ආදරේ ගැන හොඳ නරක අත්දැකීම් දෙකම මට තියෙනවා. මේ වෙද්දි නම් පෙම්වතියක් නෑ. මට ඕන හැමදාටම ළඟ ඉන්න කෙනෙක් ළඟ නතර වෙන්න. ඒ නිසා ආර්ථික අතින් ස්ථාවරත්වයකට පත්වෙලාම ඒ ගැන හිතනවා.“
නාමලී ගමගේ