– මට හැමදේටම උදව් කළ ලොකු අක්කේ ඔයා අද කොහේද?
– කුලගෙය ගිනි ගොඩක් වී ජීවිතය මට වැරදුණු හැටියි මේ
ජීවිතේ ආපස්සට ගිය අවස්ථා එමටයි. ඒත් හැම වෙලාවකදීම කවුරුමහරි මගේ ළඟින් හිටියා. කවුරුහරි ළඟ හිටියා කිව්වට ඒක මම මගේ හිත රවට්ට ගන්න කිව්ව දෙයක් කියලා අද මට හිතෙනවා. මට හිටපු හොඳම යාළුවා තමයි ‘සංජු’. සංජුයි මමයි ඉගෙන ගත්තේ එක ඉස්කෝලෙ එකම පන්තියේ. එයයි මමයි උසස් පෙළ කළේ එකට. එයාට කැම්පස් යන්න බැරි වුණා. මට කැම්පස් යන්න පුළුවන් වුණාට වියදම් කරන්න කෙනෙක් නැති නිසා මගේ ඉගෙනීම එතැනින්ම අවසන් වුණා. පුංචිම කාලේ අම්මයි තාත්තයි මියගිය මම ජීවත්වුණේ මගේ නැන්දා ළඟ. නැන්දට දරුවෝ හතරදෙනෙක් හිටියා. නැන්දගේ ලොකුම පුතා ඒ වෙනකොට රස්සාවක් කළා. ලොකු අයියා තමයි මටත් ඉගෙනගන්න වියදම් කළේ.
“පොඩ්ඩි ඔයා කැම්පස් යන්න මම ඉන්නවනේ. ඔයාට මං පොඩි රස්සාවකුත් හොයලා දෙන්නම්.” විශ්වවිද්‍යාලයට තේරුණා කියලා දැනගත්තාම ලොකු අයියා ගෙදර හැමෝම ඉස්සරහා මට එහෙමයි කිව්වේ.
ලොකු අයියට ඕන වුණා මාව කැම්පස් යවන්න. මාමත් නැති වුණාට පස්සේ නැන්දට එයාගෙ හයිය වුණේ ලොකු අයියා.
“මං මොකද අයියේ කරන්නේ?” මම ලොකු අයියගෙන් එහෙම ඇහුවේ කරන්නම දෙයක් නැති තැනය.
“මමනම් කියන්නේ ඔයාට කොහොමහරි කැම්පස් යන්න කියලා. අපිට අපි ගැන තීරණයක් ගන්න වෙනවා මදාරා.”
මම මේක ඔයාට කිව්වේ නෑ. ඒත් මං දැන් ඒක ඔයාට කියනවා. ඔයාට මම හරි ආදරෙයි මදාරා.” ලොකු අයියා එහෙම කියලා මගේ අතින් අල්ලගත්තා.
“මට බෑ ලොකු අයියේ. නැන්දට හොඳටම තරහ යයි. මට බෑ ලොකු අයියේ.” මම එහෙම කිව්වේ ලොකු අයියාගේ ඇස් දෙක දිහා බලාගෙන.
“හරි හරි ඒක අපි පස්සේ බලාගමු. ඔයාම දැන් හිතන්න මොනවද කරන්නේ කියලා. ඔයාට කැම්පස් යන්න බැරිනම් මම ඔයාට රස්සාවක් හොයලා දෙන්නම්. ඒක කරන ගමන් බාහිර උපාධියවත් කරන්න.” ලොකු අයියා එයාගේ ‘තීරණය’ දුන්නේ ඒ විදිහට. දවස් ගාණක් යනකම් මම ලොකු අයියට මුහුණ නොදී හිටියා. අන්තිමට මම හිතාගත්තා රස්සාවකට යන්න. ලොකු අයියම තමයි මට ෆාමසියක ජොබ් එකක් සෙට් කරලා දුන්නේ.
“ඔයා ඒ ගැන තව ටිකක් හිතන්න මදාරා.”
ලොකු අයියා මට එහෙම කිව්වත් මම මගේ අදහස වෙනස් කරගත්තේ නෑ. මම අයියා හොයලා දුන්නු රස්සාවට ගියා. හවසට ගෙදර ආවා. නැන්දට උදවු කළා. දවසක් හැන්දෑවේ ගෙදර එනකොට ‘පියදාස මාමා’ ගෙදර ඇවිත් හිටියා. පියදාස කියන්නේ මඟුල් කපුවෙක්.
“ආ මේ ඉන්නේ ලස්සන දුවෙක්. අපි මෙයාටත් එකක් බලමු නේද?” පියදාස මාමා එහෙම කිව්වේ මගේ දිහා බලාගෙන හිනාවෙන ගමන්.
“පිස්සුද කපු උන්නැහේ? මෙයාට ඉස්සෙල්ලා අපේ පුතාට එකක් බලන්න.”
නැන්දා මගේ දිහාවත් නොබලා පියදාස මාමාට එහෙම කිව්වා. ඊටත් සතියකට පස්සේ තමයි ලොකු අයියා මනාලියක් බලන්න ගියේ. ඒ යන්න කලින් දවසේ ලොකු අයියා මට කතා කළා.
“ඔයා තාමත් පරක්කු නෑ මදාරා. මං ඕන ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඔයාගේ කැමැත්ත විතරක් මට දෙන්න.” එයා මගේ ඇස් දෙක දිහා බලාගෙනම එහෙම කිව්වා.
ඊට මාසෙකට විතර පස්සෙ ලොකු අයියා චාම් විදිහට විවාහ වුණා. ඊට අවුරුද්දකට විතර පස්සේ ලොකු අයියයි පියුමි අක්කයි දෙන්නම පිටරටක පදිංචියට ගියා.
ලොකු අයියා නැති ගෙදර හරි පාළුයි. නැන්ඳා වෙනදා වගේම ගෙදර වැඩ කරගෙන හිටියා. ඒත් එයාට ඒ වෙනකොට ඕන වෙලා තිබුණා මාවත් කාටහරි බන්දලා දෙන්න. මටනම් විවාහයක් ගැන හිතුණෙවත් නෑ. නමුත් නැන්දගේ බලපෑමට තමයි මම ‘සජිත්’ එක්ක විවාහ වුණේ. සජිත් නැන්දාවත් මමවත් හිතපු නැති විදිහේ කෙනෙක්. හැමදාම හැන්දෑවට බීගෙන ගෙදර ආවේ. හම්බකරන හැම රුපියලම එයාගේ අම්මගෙ අතටම දෙන කෙනෙක්. විවාහ වුණා කියලා මම ජීවිතේ සතුටක් දැක්කෙම නැහැ.
කසාදය අත්හැරලා මට ගෙදර යන්න හිතුණ වාර අනන්තයි. ඒත් නැන්දගෙ ගෙදර ගිහිල්ලා ආයෙත් ජීවිතය පටන්ගන්න ඉඩක් නැති බව මං දැනගෙන හිටියා.
දවසක් මම වැඩ ඇරිලා ගෙදර එනකොට ගේ ඉස්සරහා සෙනඟ පිරිලා.
“ඇයි මේ?” මං සෙනඟ අතරින් ගෙදරට ගියා.
“අයියෝ මගෙ පුතේ” සජිත්ගෙ අම්මා විලාප දෙනවා.
“ඇයි මේ?” මං අම්මගෙන් ඇහුවා.
“අද ඔෆිස් ඉඳලා ගෙදර එද්දි පුතා වාහනයක හැප්පිලා. දැන් එයා ඉස්පිරිතාලෙලු. අනේ මගෙ කොල්ලා දෙයියනේ.” මම ඒ වෙලාවෙම අම්මවත් ත්‍රීවීල් එකක දාගෙන ඉස්පිරිතාලෙට ගියා.
“දැන් තමයි එයාව ඔපරේෂන් එකට ඇතුළට ගත්තේ.” නර්ස් කෙනෙක් එහෙම උත්තර දුන්නා.
“ඔයා ලෙඩාගේ කවුද?”
“මේ ඉන්නේ ලෙඩාගේ අම්මා” මම නැන්දව පෙන්නලා කිව්වා.
“ආ ඒක මිසක්… එයාගේ නෝනයි දරුවයි අන්න අතන ඉන්නවා.”
මිසී අත දික්කරලා පෙන්නූ දිහා මම බැලුවා.
වයස අවුරුදු හයක තරමේ පුංචි පුතෙකු සමඟ හිඳින තරුණ ගැහැනියක පුටුවක වාඩි වී දෙනෙත් පියාගෙන සිටියා. මම හෙමින් ඇය ළඟට ගියා. ඒ වන විටත් දෙනෙත් පියාගෙන සිටි ඇගේ උරහිස මත මම මගේ දකුණත තිබ්බා.
“මං මොනවා කරන්නද?” මට එහෙම හිතුණා. එදා රාත්‍රියේ නිවෙසට ආව මම මගේ කියලා තියෙන වටිනා කියන දේවල් විතරක් බෑග් එකකට දාගත්තා. උදේ පාන්දරම ගෙදරින් පිටවුණේ යන්නේ කොහේද කියලා හරිහැටි අවබෝධයක් නැතිව. මට මගේ පාසල් යෙහෙළිය මතක් වුණා. ඒත් ඒ වන විට ඇය සිටියේ මැදපෙරදිග රටක. මට ලොකු අයියවත් මතක් වුණා. වැඩක් නෑ. කාටවත් කියලා තේරුමක් නෑ. මමම මේවට උත්තර හොයා ගන්නවා. එහෙම හිතාගෙන පිටකොටුවට ආවා. ඒ වෙනකොටත් මට යන්නෙ කොහෙද කියලා අරමුණක් තිබුණේ නෑ.
හැන්දෑ කළුවර වැටිල තිබුණ වෙලාවක ප්‍රධාන නගරයේ මං කාත්කවුරුවත් නැතිව අතරමං වුණා කියලා දැනුණම මට ඉකිගහලා ඇඬුණා. ඒ වෙලාවේ හීන් වැහිපොදක් වැටෙමින් තිබුණේ.
“ඔය ළමයා මොකද මෙතනට වෙලා අඬන්නේ. යන්න එන්න තැනක් නැද්ද?”
වයස අවුරුදු පනහ ඉක්මවා ගිය කාන්තාවක් මගේ ළඟට ඇවිල්ලා ඇහුවා. එකපාරටම මට හිතුණේ ඇයව එවන්න ඇත්තේ මගෙ මැරුණ අම්මා තාත්තා කියලා. උත්තරයක් දීගන්න බැරුව මට ඇඬුණා.
“හ්ම්… හ්ම්… දැන් රෑ හතත් පහුවෙලා යමු යමු. මගෙ ගේ තියෙන්නේ මේ ළඟ. මම ඔය ළමයට රස්සාවක් හොයලා දෙන්නම්. කෝ දෙන්න ඔය බෑග් එක.” එදා රෑ මම හිටියේ ‘මාගරට් අම්මගේ’ ගෙදර. ඒ ගෙදර තවත් ගෑනු ළමයි දෙන්නෙක් හිටියා. මාගරට් අම්මගෙ දුවලා වෙන්නැති කියලා මට හිතුණා.
“කෙල්ලේ ඉක්මන් කරලා ලෑස්ති වෙයන්. උඹටම කියාපු රස්සාවක් ලැබුණා. හ්ම් හ්ම්… ලස්සනට ලෑස්ති වෙයන්කෝ.”
‘මාගරට් අම්මා’ මාව ගෙදරින් එක්කගෙන ගියේ ඒ විදිහට.
“ආ… මාගරට් කිව්වේ මෙයා ගැනද?”
හොඳින් හැඳ පැලඳ ගත්ත ගැහැනිය මගෙන් ඇහුවා
ඒ වෙනකොටත් මං දැනගෙන හිටියේ නෑ මට මොනවද වෙන්නේ කියලා. මාසයක් දෙකක් ගියාට පස්සේ තමයි මට තේරුණේ මම වැටිච්ච අමාරුව. ආයේ එතැනින් ගොඩ යාමක් ගැන හිතන්නවත් පුළුවන්කමක් මට තිබුණේ නැහැ.
නන්නාඳුනන මිනිසුන්ගේ අතින් අතට ගිහිල්ලා මම පර මලක් වුණා. මට මගේ කියලා කිසිම කෙනෙක් නැති වුණා. දෙපාරක් මට හිරේ යන්න වුණා. ඒ අනාචාරයේ හැසිරීමේ වරදට.
දැන් මම ඉන්නේත් හිරගෙදර. තව මාසයකින් එළියට යනවා. ඒ ගිහිල්ලත් පරණ පුරුදු තැනටම යනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ.”
ඇය දුර ඈත බලාගෙන උත්තර දුන්නේ දෑස්වල පිරිච්ච කඳුළු කම්මුල් දිගේ ගලා යන්න ඉඩ දීලා.
ඉනෝකා සමරවික්‍රම