Home » වැසි ඇද හැලුණත් ලෙඩවලින් ඇද නොවැටෙමු

වැසි ඇද හැලුණත් ලෙඩවලින් ඇද නොවැටෙමු

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

මේ දිනවල ඇද හැලෙන මේ ධාරාණිපාත වර්ෂාව නිසා මුළු පරිසර පද්ධතියේ මෙන්ම මිනිස් ශරීර අභ්‍යන්තරයේ ද යම් වෙනස්කම් ඇති වේ. මේ තත්ත්වය තුළ වැසි සමඟ විවිධ රෝග පැතිරීම ද ඇරඹේ. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, හතිය, වැනි රෝග ද, වාත රෝග ද, පාචනය අතීසාර වැනි ආමාශගත රෝග පැතිරීමේ අවදානම වැඩිය. එම නිසාම ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කරගැනීම එනම් ත්‍රිදෝෂ සමව තබා ගැනීමට අප අවධාරණය කළ යුතුය. අප ආහාර පාන සම්බන්ධව කල්පනා කළ යුතු වන්නේ එබැවිනි.

මෙම රෝගවලින් වැළකීමට ප්‍රායෝගික පැවැත්මකට හුරුවිය යුතුය. වැස්සට නිරාවරණය වීම අවම කර ගැනීම, ශරීරය උණුසුම්ව තබා ගැනීමට උණුසුම් පාන වර්ග වැඩියෙන් භාවිත කිරීම හා ශීත බීම වර්ගවලින් වැළැකී සිටීම වැදගත්ය.

එයින් සෙම් රෝගවලින් වැළකීමටත්. වාතය නිසා ඇතිවන ස්නායු ආබාධවලින් තොරව ශරීර ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීමටත් හැකි වෙයි.

ආහාර රටාව

මේ කාලයේ දී වාතය වඩන කෑම හෝ අධික සීතල වඩවන කෑම අගුණය. සීතල පලා වර්ග, වම්බටු, පිපිඤ්ඤා, පුහුල්, අලු කෙසෙල් වැනි ශීත වැඩි කරන කෑම වැසි සමයේ දී අඩු කළ යුතුය. එළවළු පිසීමේ දී තුනපහ වැඩි වශයෙන් හා හැකි පමණ ආහාරවලට වැඩි වශයෙන් ඉඟුරු එක්කර ගැනීමත් වැදගත් උපායකි.

මේ වකාවානුවේ දී ශරීර උෂ්ණත්වය ඉහළට තබා ගැනීමට බත්, අලවර්ග, මස් වර්ග, බඩඉරිඟු, කුරහන් වැනි බර ආහාර ගැනීම සුදුසුය. ‍මුරුංගා කතුරුමුරුංගා, ආහාරයට එක්කර ගැනීම කළ යුතුය. කෙලවල්ලා, බලයා, හුරුල්ලා වැනි මාළු වර්ගයක් ආහාරයට එක් කරගත හැකිය.

අම්ලපිත්තය ඇති අයට හුරුල්ලා සහ බල මාළු අධිකව ගැනීම සුදුසු නැත. වැසි කාලයේදී පොළොස් ආහාරයට ගත හැකි මුත් කොස්ඇට සහ කොස් ආහාරයට ගැනීමෙන් බඩ පුරවා දැමිය හැකිය.

පාන වර්ග සමඟ ඉඟුරු මිශ්‍ර කර ගැනීමෙන් ශරීරය උණුසුම් කිරීම, සෙම මෙන්ම ත්‍රිදෝෂ පාලනය ද සිදු කෙරේ. එමෙන්ම හොඳින් පිරිසිදු කළ ජලය හෝ උණු කර නිවාගත් ජලය පානය කිරීම වටින්නේය.

මේ වැසි සමයේදී අප කන කොළ පලා වර්ග පිළිබඳ සැලකිලිමත් විය යුතු වන්නේ දෙගොඩතලා යන වතුරෙන් යටවන විෂබීජවලින් ගහන පලා වර්ග අතීසාරය, පාචනය, සෙංගමාලය වැනි රෝග ප්‍රචලිත කරන මාධ්‍යයන් විය හැකි බැවිනි. කතුරුමුරුංගා, තෙබු වැනි උසින් වැවෙන පලා වර්ග මේ කාලයේ දී ආහාරයට එක් කර ගැනීම සුදුසුය.

අත් බෙහෙත්

වාත රෝග සහ එම වේදනාවෙන් පෙළෙන අයට ඉඟුරු, සුදුලූනු සහ හීන් අරත්තවලට බෙලිමුල්, බැබිල මුල් එක් කර තම්බා දීමෙන් රෝග වේදනාව පාලනය කර ගත හැකිය.

සෙම් කෝපවීම් නිසා ඇතිවන හිසේ කැක්කුමට සියඹලා කොළ, රතුලූණු සහ හීන් උඳුපියලිය කොටා පොට්ටනි බැඳ නළල තැවීම ද හවසට දෙහි කොළ, යකි නාරන් කොළ, ආඩතෝඩ කොළ වර්ගවලින් එකක් හෝ දෙක තුනක් එකට තැම්බූ වතුරෙන් හොඳට දුම් ඇල්ලීම ද ගුණය. දිනකට වරක් හෝ ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බා බීමට හුරු විය යුතුව ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division