Home » පස්සට ගොස් පෙරට ආ ඇල්පිටිය පුංචි ඡන්දය

පස්සට ගොස් පෙරට ආ ඇල්පිටිය පුංචි ඡන්දය

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

හ මැතිවරණය ලබන මස 14 වැනිදා පැවැත්වේ. ඒ අස්සේ තවත් මැතිවරණයක් පසුගිය 26 වැනිදා (සෙනසුරාදාට) යෙදිණි. ඒ ඇල්පිටිය පළාත්පාලන ඡන්දයයි. එය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ විශේෂතා දෙකක් ඉතිහාසයකට එක් කරන්නකි.

පළමුවැන්න අධිකරණ නියෝගයක් නිසා පළාත් පාලන මැතිවරණය කල් ගිය පළාත් පාලන ආයතනයක මැතිවරණය ඊට පෙර පවත්වන ලද පළාත් පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීමට පෙර පැවැත්වීමය. අනෙක් විශේෂත්වය වන්නේ ජනාධිපතිවරණය පවත්වා මාසයකට මඳක් වැඩි කාලයකට පසුව හා මහමැතිවරණයකට ආසන්නව පවත්වන පළාත් පාලන ඡන්දය වීමය. ඒ වාර්තාව ද මැතිවරණ ඉතිහාසයේ සැලකිය යුතු දශක ගණනාවකට වෙනස් නොවනු ඇත.

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයට මොකද වුණේ?

2018 වසරේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවූ අවස්ථාවේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් දේශපාලන පක්ෂ 5කින් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණි. ඒ දේශපාලන පක්ෂ අතර එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ විය.

එහිදී නාමයෝජනා භාර දීමෙන් පසු මෛත්‍රී ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධතාවක් මතු විය. විරෝධතාව වූයේ එම පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා නොවන වෙනත් පුද්ගලයකු විසින් තේරීම් භාර නිලධාරියා වෙත පක්ෂයේ නාමයෝජනා පත්‍රය භාර දුන් බවය. එම විරෝධතාව සලකා බැලීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය. ගිනි ඇවිළුණේ එතැන් සිටය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ද අත හැරියේ නැත. තම පක්ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔවුහු අධිකරණයට ගියහ.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ ඔවුහු තම නාමයෝජනා පත්‍රය පිළිගන්නා මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත් එතෙක් මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියහ. එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම විභාග කර අවසන් වනතුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි. ඒ, 2018 වසරේ ජනවාරි 30 වැනිදාය. එම වසරේ පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත් වුණේ ඇල්පිටිය හැරදමාය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සමේ අවසන් තීන්දුව 2019 වසරේ ලබා දුන් අතර, එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පිළිගෙන ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කරන ලදි. ඒ අනුව එම වසරේම එනම් 2019 වසරේ ඔක්තෝබර් 11 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ අතර, ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන ලදි.

ඒ අනුව සියලු පළාත් පාලන ආයතනවල ජනතා නියෝජනය තහවුරු විය. ඇල්පිටිය හැර සෙසු පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වූ නිසා 2023 වසරේ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්ව තිබිණි. එම නිසා ඇල්පිටිය හැර එම පළාත් පාලන ආයතනවල මැතිවරණයට නාමයෝජනා කැඳවිණි. පසුගිය වසරේ මාර්තු 09 වන දින (ඇල්පිටිය හැර) පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් කර තිබූ අතර, තැපැල් ඡන්දය ලකුණු කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 දින දිනවල පැවැත්වීමට නියමිතව තිබිණි. එසේ වුවත් ඒ වන විට රටේ පැවැති තත්ත්වය අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නියමිත දිනයට සිදු කර ගැනීමට නොහැකි වූ නිසා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලදි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම් වන විට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අතර, එයට විරුද්ධව ද නැවත පෙත්සම් ඉදිරිපත් විය. එය පෙත්සම් තරගයක් බවට පත් විය. කෙසේ හෝ අවසානයේදී 2023 වසරේ මාර්තු මස පැවැත් වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එම වසරේම අප්‍රේල් මාසයේදී පැවැත් වීමට දින නියම කළත් එම දිනයේ ද මැතිවරණය පැවැත්වීමට හැකි වූයේ නැත.

මෙම මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය රජයට පළාත් පාලන මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමක එය නොතකමින් වීම ද විශේෂත්වයකි. එමෙන්ම පළාත් පාලන මැතිවරණය එසේ කල් දමන විටත් මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණය සඳහා රුපියල් මිලියන 131කට අධික මුදලක් වැය කර තිබිණි.

2023 මාර්තු 19 වැනිදාට පසුව පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වීමත් සමග ම ඒවායේ පාලනය මහජන නියෝජිතයන්ගෙන් ගිලිහී විශේෂ කොමසාරිස්වරුන් අතට පත්විය.

ඒ අනුව, මහ නගර සභා 29ක බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති අතර නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන්ට පැවරී ඇත.

එහෙත් දැන් සිදුව ඇත්තේ ඇල්පිටියට 2018 වසරේ සිදු වූ කතාවේ අනෙක් පැත්තය. අනෙක් පළාත් පාලන ආයතනවල නිල කාලය ඇල්පිටිය පළාත් පාලන ආයතනයට පෙර අවසන්ව වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතව ඇතත් එම මැතිවරණය පවත්වන දිනයක් ආසන්නව පෙනෙන්නට නැතත් කල් ගොස් පවත්වන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය මෙවර සෙසු ආයතනවලට පෙර එනම් 26 දිනම යොදා ගැනීමය. සියලු පළාත්පාලන ආයතන එකවර නොපවත්වා එය වෙනම පැවැත්වීමට විශේෂ හේතුවක් තිබේද? නැත.

මැතිවරණ කොමිසමේ මතය වන්නේ 2018 වසරේ අධිකරණ නියෝගයෙන් කල්දැමුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් නිසා එම මැතිවරණය පවත්වනු ලබන බවයි. එමෙන්ම සෙසු පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී එය කල්දැමුණු නිසා ඉදිරියේදී එය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කර ඇත.

මහ මැතිවරණය පැවැත්වීමට ආසන්නව තිබියදී මේ මස 26 වැනිදා ඇල්පිටිය පළාත් පාලන ආයතනය වෙනුවෙන් පමණක් ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කෙරිණි. ඒ අනුව අගෝස්තු මස 26 වන දා ඇල්පිටිය පළාත් පාලන ආයතනය සඳහා මැතිවරණය ප්‍රකාශයට පත් කළ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නාම යෝජනා කැඳවීම සැප්තැම්බර් 12 වන දා සිදු කෙරිණි.

එහි තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 14 වැනිදා සිදු කරන ලදී. ඔක්තෝබර් 20 වැනිදා වන විට සියලුම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර අවසන් කර තිබිණි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ලියාපදිංචි මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව 55,643කි. ඒ සඳහා දේශපාලන පක්ෂ 8ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත්ව තිබිණි. නාමයෝජයා ඉදිරිපත් කළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහ එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේප විය.

මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඔක්තෝබර් 25 වැනිදා සිදු කිරීමට කටයුතු කර තිබිණි. ඡන්ද මධ්‍යස්ථාන 48කදී මෙවර මැතිවරණය පැවැත්වීමට නියමිතය. මේ සඳහා ඡන්දදායකයන් 50,000කට වඩා සුදුසුකම් ලබා ඇත. මැතිවරණය සඳහා නිලධාරීන් 600ක් වෙන් කරන ලදී. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත්කරගනු ලබන සභික සංඛ්‍යාව 28කි. එම සංඛ්‍යාවෙන් 17ක් කොට්ඨාස මට්ටමින් තෝරා පත් කරගනු ලබන අතර සමානුපාතික නියෝජනය යටතේ පත්කර ගන්නා සභික සංඛ්‍යාව 11කි.

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය පැවැත් වුවද සෙසු පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් මේ වන තෙක් විශේෂ අවධානයක් යොමු කර නැත. එහෙත් මහ මැතිවරණයෙන් පසුව එය පැවැත්වීමට කොමිසම කටයුතු කරනු ඇත. එය කඩිනම් කළ යුත්තේ ජනතා නියෝජනය පළාත් පාලන ආයතනවලට අවශ්‍ය නිසාත් එසේ නොකළහොත් මේ දක්වා ඒ වෙනුවෙන් වැය කර ඇති මිලියන 131ද වතුරේ යාමට ඉඩ ඇති හෙයිනි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division