ගමනා ගමන පහසුකම්වලින් දුෂ්කර අඩු පහසුකම් යටතේ සිසුසිසුවියන් දෙසීය ගණනකට වැඩි මේ පාසල අපට හමුවන්නේ බස්නාහිර පළාතේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයෙනි. මතුගම අධ්‍යාපන කලාපයට අයත් මතුගම පැලැන්ද මහා විද්‍යාලය ආරම්භ වන්නේ 1931 වසරේ දී සිසු සිසුවියන් දහතුන් දෙනෙකුගෙනි.
පැලෑද මහා විද්‍යාලය ගැන කතා කරන්නට හේතු වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 32 වන කණ්ඩායමේ සහ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන කණ්ඩායමේ සිසුවියන්ගේ සත්කාරයකි. දිරිය අරුණ සමාජ සත්කාර වැඩසටහනේ “දිරිය අරුණ 26“ අදියර ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. පැලැන්ද විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද විද්‍යාගාරය හා සංගීත කාමරය දැන් නම් කර ඇත්තේ “මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ විද්‍යාගාරය සහ සංගීත කාමරය” ලෙසිනි.
මෙම සත්කාරය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන පමිත මුතුමාල මුලින්ම අපට තොරතුරු කීවේය.
“අපේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2 වැනි වසරේ ඉගෙනුම ලබන සහෝදර සහෝදරියන් තමයි මේ කාර්යට සම්බන්ධ වුණේ. අප මේ පිළිබඳ පුවත්පතේ දැන්වීමක් දැම්මට පස්සේ අපට දිවයිනේ බොහෝ පාසල්වලින් ඒ ඒ පාසල්වලට ඇති අඩුපාඩු දන්වා ලිපි ලැබුණා. අපට යාමේ එමේ අපහසුකම් හා මෙම පාසලට යමක් කරන්න ඕන කියලා එකඟතාවයකට පැමිණි නිසා අපි පැලැන්ද ඉස්කොලේ තෝරාගත්තා. මෙම සත්කාරය සඳහා අපි යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා මුදල් හොයාගත්තා. කාර් වොෂ් කරලා මුදල් හොයාගත්තා වගේම ටිකට් විකුණලත් මුදල් එකතු කර ගත්තා වගේම රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගෙනුත් සහාය ලැබුණා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලක්ෂ 12ක මුදලක් අපි හොයාගත්තා. ඒ මුදලින් තමයි මෙම ගොඩනැඟිලි සකස් කළේ. පැලැන්ද ඉස්කෝලේ විද්‍යාගාරය බොහෝම අබලන් වෙලා තිබුණේ. ගොඩනැගිල්ල වගේම විද්‍යාගාරයේ තිබූ ඇතැම් රසායනික ද්‍රව්‍ය කල් ඉකුත් වී තිබුණේ, ගමේ බාස් උන්නැහේලාගේ උදව් වගේම මෙම විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් අපට උදව් ලැබුණා. පාසලේ නුවන් සර්ගේ ලොකු සහයෝගයක් ලැබුණා. ගමේ අම්මලා තාත්තලා අපට හොඳ සහයෝගයක් දුන්නා. අත්වැඩ දුන්නේ අපේ සහෝදර සහෝදරියන්. ඒ අය කොටස් වශයෙන් එම කාලය තුළ පාසලට ආවා ගියා. පාසලේම නතර වෙලා මේ කාර්යයට ද දායකත්වය දුන්නා. අපේ විභාග කටයුතුත් තිබියදී අපි හැමෝගෙම එකමුතුවෙන් මේ කාර්ය ලස්සනට කරගන්න පුළුවන් වුණා. ඒ වගේම පාසලේ දූ දරුවන්ට ගණිතය, විද්‍යාව ආදී විෂයන් ඉගැන්නුවා.”
පමිත පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම විසින් පැලැන්ද විද්‍යාලයට කළ මෙහෙය පිළිබඳවය. කොළඹින් පැමිණි වෛද්‍ය සිසුන් තම දූ දරුවන් වෙනුවෙන් කරන මෙහෙය දුටු දෙමාපියන්ට නිවෙස්වලට වී නිකරුණේ කාලය ගත කරන්න සිත් නොවීය. විශ්වවිද්‍යාල සිසුන්ට කෑම බීම ආදියෙන් සංග්‍රහ කරමින් ඔවුන් විශ්වවිද්‍යාල සිසුන්ට නොමඳ සහායක් ලබා දුන්නේය.
කාලයක් තිස්සේ අකර්මණ්‍යව තිබුණු විද්‍යාගරය දැන් පහසුකම් සහිත අපූරු විද්‍යාගාරයකි. මෙතෙක් පොතින් පමණක් ඉගෙනගත් විද්‍යා විෂය විද්‍යාගාරයක් තුළදී අත්හදා බලන්නට දැන් පැලැන්ද පාසලේ සිසුන්ට හැකිය.
පාසලට ලැබුණ පරිත්‍යාගය පිළිබඳ අදහස් දක්වන විදුහල්පති බී. වී. පී. යු. විතාන ස්තුතිපුර්වකව පවසන්නේ මෙවන් අදහසකි.
“අද වන විට අපේ පාසලේ දරුවෝ 215 ක් ඉන්නවා. ගුරුවරු 13 ක් ඉන්නවා. ගුරුවරු දහතුනක් හිටියට අපිටම කියලා ස්ථිරයටම සංගීත ගුරුවරයෙක් සහ විද්‍යා ගුරුවරයෙක් නෑ. සතියට දවස් තුනක් වෙනත් පාසලක විද්‍යාව විෂය උගන්වන ගුරුවරියක් අපට යොමු කරලා තියෙනවා. සංගීත ගුරුවරියත් එහෙමයි. ඇයගේ දෙඇස් පේන්නේ නෑ. පුවත්පතේ දැකපු දැන්වීමට ලියුමක් යොමු කළ පසු තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ දරුවෝ අපේ පාසල තෝරාගෙන තිබුණේ. එය අපේ පාසලට ලැබුණ ලොකු තෑග්ගක්. විද්‍යාගාරයත් සංගීත කාමරයත් විවෘත කරන අවස්ථාවේ විශ්වවිද්‍යාලයෙන් පැමිණි ආචාර්ය මණ්ඩලය පිළිගැනීමට පාසල් දරුවෝ හරි අපූරු තොරණක් නිර්මාණය කළා. මෙම පරිත්‍යාගය වර්තමාන පාසල් දරුවන්ට වගේම අනාගතයටත් වටිනවා”. විදුහල්පතිවරයා පවසන්නේය.
ඉතාම කෙටි කලකින් තම වෛද්‍ය පිඨයේ දෙවෙනි වසරේ සිසු සිසුවියන් කළ සමාජ සත්කාරය පිළිබඳ වෛද්‍යපිඨයේ පීඨාධිපතිනි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මනෝරි ගමගේ පවසන්නේ මෙවන් කතාවකි.
“අපේ විශ්වවිද්‍යාලයෙන් සෑම වසරකම මෙවැනි පාසල් සත්කාරයක් කරනවා.1997 දී ඇරඹි දිරිය අරුණ ව්‍යාපෘතිය යටතේ මෙවර අප මේ සත්කාරය කළේ විසි හය වැනි වතාවට. මෙම ගොඩනැඟිලි දෙක නම් කර තිබෙන්නේ “මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ විද්‍යාගාරය සහ සංගීත කාමරය” ලෙසයි. විශ්වවිද්‍යාල දරුවන්ගේ කැපවීම, වෙහෙස මහන්සිය මෙන්ම අපේ දරුවෝ මෙම සත්කාරය ඉතාමත් සාර්ථකව නිම කිරීම අපේ විශ්වවිද්‍යාලයට ආඩම්බරයක්. පැලැන්ද පාසලේ දරුවන්ගේ දෙමාපියන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැක්වූ ආදරයට සත්කාරයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හැමෝගෙම එකමුතුකමින් පාසලට අලුත් එළියක් ලැබිලා තියෙනවා.”
පාසලේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෙද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන, වෛද්‍ය චන්දන හේවගේ, මහාචාර්ය රසික පෙරේරා, වෛද්‍ය ෂෙහාන් සිල්වා යන ආචාර්යවරු සහභාගි වූහ.
ඉනෝකා සමරවික්‍රම