කවියකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, විුත් සන්නිවේදකයකු හා නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කරන පරාක්‍රම ඒකනායක ලියූ අලුත් ම කාව්‍ය සංග්‍රහය ‘ඔබ හිටියට මම තනියම‘ යි. සිය පෞද්ගලික අනුභූති පොදු අනුභූති බවට පෙරළා පාඨක සමාජය වෙත හේ මේ කාව්‍ය සංග්‍රහයෙන් පිරිනමනු ලබයි. වියෝව; ආදරයේ විවිධ පැතිකඩ ඔස්සේ විවරණය කරන ඔහු මේ කාව්‍ය සංග්‍රහයෙන් ස්පර්ශ කරන්නේ පොදු මානව සත්තාවයි.
“ඔබ හිටියට මම තනියම” ඔබේ නවතම කාව්‍ය සංග්‍රහයේ කාව්‍ය නිමිති පෞද්ගලික අත්දැකීම් පොදු බවට පත්කිරීමේ ප්‍රයත්නයක් ද?
ඔබ හිටියට මම තනියම කාව්‍ය සංග්‍රහය, කවි පොතක් කිරීමට හෝ කවියෙක් විමේ අරමුණින්ම ලියපු කවි නෙවෙයි. කාලයක් තිස්සේ මේ සමාජයේ ජිවත් වෙන පුද්ගලයෙක් විදිහට ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වුණ දුක්ඛ දෝමනස්ස,ප්‍රීතිමත්භාව, අත්හැරීම්, හමුවීම්, ආදරයේ සංවේදනා, පුද්ගල සබඳතාවල උපේක්ෂා ආදිය මගේ සිතුවිලිවල කැලෙතෙමින් ගොඩනඟපු කවි තමයි ‘ඔබ හිටියට මම තනියම’ ආලවන්ත කාව්‍ය සංග්‍රහයේ තියන්නෙ. සමහරවිට පෞද්ගලිකව විඳපු විඳවපු, ආදරය කරපු, වෙන් වුණු, බෙදාගත්ත හැඟීම් ගොනු වෙන තැන් කවිවලින් පොදු සමාජයට මුදා හැරපු අවස්ථා නැතුවම නෙවෙයි.
තව කාරණයක් කියන්න ඕනි, මේ කාව්‍ය සංග්‍රහයේ තියෙන කවි විචාරයට, විමසීමට ලක් කරන අයගේ අදහස කවිවල මම යොදන අන්තිම පද අනවශ්‍යයයි,කවියේ අවසානයක් නෑ කියන එක. නමුත් ඒ මගේ කවියට මම යොදා ගත්ත අනන්‍යතාවක්. ඒ වගේම සත්‍ය නම් පෘථිවිවාසීන් වන අපිට කිසිවක් ඉවර කරලා තිත තියන්න බෑ. ඒක කොතැනකින් හරි නැවත ඇරඹෙනවා. අපි නැවතුමක් හොයන ජිවිතය පවා සංසාරයක් තරම් දුරයි. එයත් අවසන් වුණා යැයි හඟවමින් නැවත අරඹමින් යන ගමනක්.
මගේ කවිත් කියවලා අවසන් නොකර නැවත තමන්ගේ පරිකල්පනයෙන් නැවත දකින්න අවශ්‍ය මොහොත තමයි අන්තිම පද පේළියෙන් මම කියන්නෙ.
මං යෝජනා කරන්නෙ ‘ඔබ හිටියට මම තනියම’ කාව්‍ය සංග්‍රහය සාම්ප්‍රදායික මනසින් මිදිලා කියවන්න කියලා.
ඔබ වියෝව කියන්නේ ආලයේ දවටා. වියෝවත් එක්තරා විදියක ආලයක් නේද?
මට හිතෙන්නෙ වියෝව තමයි අපි සංවේදී, ආදරණීය මිනිස්සු බවට පත් කරන්නෙ. අපේ සිතුවිලි අවදි කරවන්නෙ කියලා. ආදරය සම්පූර්ණ වුණාම එතැන තව කිසිවක් නෑ.එතකොට ඒක නිකං එකතැන පල්වෙන වතුර වළක් වගේ. එ්ත් ආදරය-වියෝව නමැති රළ නඟන සාගරයක් වුණා නං එතැන නිතර අලුත් හැඟීම් පිරෙනවා. ආදරය නැවුම් බවකින් ජීවිතය හොයන් එනවා. අනෙකා අහිමි වේ යැයි හිස්තැනක් හදවතේ කොතැනක හෝ තිබිය යුතුයි කියලයි මම කල්පනා කරන්නෙ.
ඒ නිසා සම්පූර්ණ නොවුණ ආදරය කියන්නෙ වියෝවක්. ඒ වියෝවට පුළුවන් ඇත්තටම හදවත ජීවත් කරවන්න. කවි බර අවි වෙන්නෙ එතකොට.
ප්‍රතිනිර්මාණිත කාව්‍ය කිහිපයක් මෙහි අඩංගුයි. නිර්මාණයකින් නිර්මාණාවේශය ලැබීම වෙනස් වැඩක්…?
මම හිතන්නෙ අපි මෙලොවට එද්දී කිසිම අදහසක් නැතුව එන්නෙ. ඊට පස්සෙ හුස්ම වැටිලා හුස්ම ගන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් අපි මේ ලෝකෙ හැමදෙයක්ම තමන්ගේ විදිහට හදා ගන්නවා. ඒවා ජීවත් වෙන ජීවිත කාලයේදී යුගයෙන් යුගයට ඒ යුගයට අදාළ පාරිසරික, සමාජීය, පුද්ගල සබඳකම් ඇතුළේ නැවත නැවත විග්‍රහ කරනවා; කියවනවා. එහෙම වෙද්දී සිදුහත්, යශෝදරා, දම්මි, සුගත්, අරවින් ද, පියල්, නන්දා, ජිනදාස වගේ අපේ ජීවිතය කියවපු චරිත මේ ඩිජිටල් යුගයෙදීත් සමාජ පරිසරයට තියලා නැවත කියවන්න පුළුවන්.
ඒකයි මම කියන්නෙ කිසිවක් අවසන් කියලා තිතක් තියන්න නිර්මාණකරුවෙක්ට බෑ කියලා.
ඔබ සංස්කරණය සඳහා මේ කාව්‍ය සංග්‍රහය සංස්කාරකවරයකු වෙත යොමු කරනවා. කාව්‍යයේදී සංස්කරණ ක්‍රියාවලියේ වැදගත්කම ගැන කතා කළොත්?
මම විශ්වාස කරනවා මම ලියන හැමදේම සියයට සියයක් නිවැරදිවම ලියලා අවසන් කරන්නෙ නෑ කියලා. දශම ගණනින් හෝ අතපසුවීම්, මඟහැරීම්. කවියක වගේ නම් කාව්‍ය රිද්මයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. කවදාවත් මටම ඒ අඩුපාඩු දකින්න අමාරුයි. මොකද නිර්මාණය මගේ කියන තණ්හාව තියන නිසා. එතැනදී සුදුසුකම්ලත් සංස්කාරවරයකුගේ අවංක දායකත්වය අවශ්‍යයි. ලංකාවේ නැති වුණාට වෙනත් දියුණු සාහිත්‍යයක් තිෙයන රටවල සංස්කාරකවරුන් ඉන්නවා. ඒ නිසා සංස්කාරකවරයකුගේ සහාය කෘතියක ගුණාත්මකභාවයට වැදගත් කාර්යයක් ඉටු කරනවා.
මේ කාව්‍ය සංග්‍රහයෙන් ඔබ මතු කරන්නේ දාර්ශනික චින්තාවක්. ජීවිතේ කවුරු හිටියත් ඇත්තටම අපි ඉන්නෙ තනියෙන්…
ඒක අපි වටහාගෙන ඉන්න ඕනි සත්‍යයක්. නමුත් අපි වටහා නොගන්නෙ ඒක.කවුරු කොහොම හිටියත් ඒ හැමදේම ශරීර දෙකක්, මනස් දෙකක්, සිතුවිලි දෙකක් ගළපගෙන පවතින්න දරන වෑයමක්. අපි ඒකට ආදරය කියනවා. ආදරය අවුල් වෙන්නෙ මගේ කියපු ගමන්. එතැනින් එහාට තමන්ට තමන් නැතුව ගිහින් වෙන අර්බුදයකට ජීවිතය මාරු කර ගන්නවා. ඉතින් මම හිතනවා මම තනියම නෙවෙයි කියලා.
ඒත් වියෝව, විරහව අපිට ආයෙත් මතක් කරනවා, කවුරු හිටියත් ජීවිතය ගත කරන්න වෙන්නෙ තනියම කියන දේ. මේ කාරණය අපි වටහා නොගන්නාතාක් සැකය සහ වේදනාව ජීවිතය ඇතුළෙ ඉතිරි වෙනවා. මම මගේ කවි ඇතුළෙ ගලාගෙන යන්න සැලැස්සුවේ අන්න ඒ දාර්ශනික සත්‍ය. ඒ නිසා ඔබ හිටියට මම තනියම කාව්‍ය සංග්‍රහයේ තියන්නෙ හුදෙක් වචන පිරුණු පාඨ නෙවෙයි. ඔබේ ජීවිත පිරුණු වචන.
කවිය ඔබේ ආත්ම ප්‍රකාශනය කියලා හිතනවා. ඇතුළු හදට නැමුණු ඔබේ කාව්‍යකරණය; ඔබව නිදහස් කරනව ද?
මට ඇත්තමට අවශ්‍ය මම විඳින, විඳවන, ආදරය කරන සහ සබඳකම් ඇතුළෙ තියෙන වේදනාව, සතුට දිහා පවතින තත්ත්වවලින් ඔබ්බට ගිහින් වෙනස් මානවලින් බලන්න. එතැනදී මම නවකතා ලියනවා; ඒක දීර්ඝ ව්‍යායාමයක්. ඒ අතර කවිය කියන්නෙ මගේ හදේ බර නිදහස් කරන ඔසුවක්.
මම හිත හිත කවි ලියන කෙනෙක් නෙවෙයි. මනසෙ කැරකෙමින් තිබිලා හිතුණම හිතෙන විට කවි ලියන කෙනෙක්. ඒක ආත්මීය සැහැල්ලුවක්. නිවනක් වගේ ආදරයෙන් පිරුණු හැඟීමක්. ඒ නිසා ‘ඔබ හිටියට මං තනියම’ ජීවත් වෙනවා. නිර්මාණකරණය මාව ජීවත් කරවනවා.
සුමුදු චතුරාණී ජයවර්ධන