බෙදීම් නැති විශ්වීය ප්‍රේමයක ඇතුළාන්තයෙන් සැරිසරන්න නව මාවතක් විවර කරන ‘අසීමා’ කැලුම් වැලිගම ලියූ දෙවන නවකතාවයි. ‘පර්සෝනා‘ නවකතාව හරහා නවකතා කලාවේ වෙනසකට ඇරයුම් කළ ඔහු ‘අසීමා‘ ඔස්සේ එහි තවත් දිගු පියවරක් තබයි. මානව මනස් සංවර්ධන ඉලක්ක පිළිබඳ කෘති ගණනාවක් ලියූ කැලුම් සිය ප්‍රබන්ධකරණයේදී නව අත්හදාබැලීම් පිළිබඳ නිරන්තරයෙන් සවිඥානික ය. මේ ‘අසීමා‘ පිළිබඳ කැලුම් සමඟ කරන ලද සංලාපයක සංක්ෂිප්තයයි.
‘අසීමා‘ ඔබේ නවතම නවකතාව. නවතම කියන වචනයත්, නවකතාව කියන වචනයත් අවධාරණයෙන් මම අහන්නෙ. ඇත්තටම ‘අසීමා‘ හරහා ඔබ මේ වචන දෙකේ අරුත මනාව පෙන්නුවා කියල මට හිතෙනවා
නවකතා කලාව ප්‍රචලිත කරන්න සක්‍රියව දායක වුණ ඔබ වගේ කෙනෙක් එහෙම අහපු එක ගැනම නිහතමානී සතුටක් තියෙනවා. ඇත්තටම මම උත්සාහ කළා එහෙම දෙයක් කරන්න. ඒ නිසාම තමයි ‘පර්සෝනා’ නවකතාව රචනයෙන් වසර හතකට පසුව මගේ දෙවන නවකතාව වන ‘අසීමා’ එළියට එන්නේ. ඒ උත්සාහයේ සාර්ථක, අසාර්ථකභාවය පෞද්ගලිකව සේම සාපේක්ෂව පාඨකයා තීරණය කරයි. මම කැමැතියි ඒවා දැනගන්න. නවකතාව එහි වචනාර්ථයෙන්ම අලුත් කතාවක් වෙන්න ඕන. අන්න ඒ නිසා එහෙම වෙන්න පුළුවන් ද? එහෙම වෙන්නේ කොහොමද? එහෙමත් වෙන්නත් බැරි ද? කියලා පාඨකයාට හිතන්න ඉඩ දෙමින් පාඨකයාගේ ජීවන, චින්තන සහ හැඟීම් කලාපය පුළුල් කරන්න පුළුවන් නැවුම් කතා ලෝකයට තවත් ඕන. විශ්වය නිර්මාණ වුණේ පරමාණුවලින් වෙන්න ඇති; නමුත් ලෝකය නිර්මාණය වුණේ කතාන්දරවලින්. මම ඒක විශ්වාස කරනවා.
නවකතාව තවදුරටත් මුල, මැද අග සහිත සම්මත කතාන්දරය නොවේ කියන එකට ඔබ කාලයක් තිස්සේ අභියෝග කරනවා…?
ඇත්තටම එය අභියෝග කිරීමක් නෙවෙයි. එහෙම නවකතාවක් දෙස බලන්න මම පෞද්ගලිකව කැමැතියි. මම එහෙම එක විදියකට ඉන්න කැමැති නැහැ. පැහැදිලිවම නවකතාව කියන්නේ කතාවක් තමයි. නවකතාවෙදී කතාන්දරයෙන් බැහැර වෙන්න නිර්මාණකරුවාට බැහැ. නමුත් කතාව මුල, මැද, අග සහිත රේඛීය කතාවක්ම වෙන්න ඕනෑ නැහැ. කතාවක් කියන්න තවමත් හෙළි නොවුණ අපූරු ක්‍රම බොහෝ තියෙන්න පුළුවන්. කතාව වගේම කතාව කියන විදියත් නැවුම් කරන්න නිර්මාණකරුවාට නිදහස තියෙද්දි, එහෙම නොකර සිටීම හරියට පියාඹන්න හැකියාව තියෙද්දි අමාරුවෙන් බඩගානවා වගේ වැඩක්. මම හිතනවා නවකතාව තුළ අතපය දිගහැරලා නිර්මාණශීලී වෙන්න අවස්ථාව තියෙනවා. එම නිදහස භාවිත කරමින් බහුමානි කලාපයක විවිධ තල නිර්මාණයට ගෙන එන්න මම කැමැතියි. මම දන්න විදියට ෂාන් පෝල් සාර්ත්‍රගේ පළමු නවකතාව පවා එහෙම මුල මැද අග කතාවක් නෙවෙයි.
තවදුරටත් කිසිදෙයක් ආවරණිත දේවල් නොවෙයි, සියල්ල නිරාවරණයි. ජීවිතේ කියන්නෙත් විශ්වයට නිරාවරණය වීමක්…?
සැබැවින්ම ජීවිතය කියන්නේ විශ්වයම තමයි. මම හිතන්නේ විශ්වය සේම විහිදුවන්න පුළුවන් විශ්වයේ කැටි කළ ස්වරූපයක් වශයෙන් මම ජීවිතය දකිනවා. ජීවිතය හඳුනා ගැනීමෙන්, තේරුම් ගැනීමෙන් සහ විඳීමෙන් විශ්වයම හඳුනා ගන්න, තේරුම් ගන්න සහ වටහා ගන්න පුළුවන්. ඒත් අපි කියවා ගන්නේ ජීවිතයේ ඒ සැබෑ ස්වරූපය ද එහෙමත් නැත්නම් ජීවිතයේ පටු කළ ස්වරූපයක් ද කියන ප්රශ්නය නිර්මාණකරුවා හැමදාම නිර්මාණාත්මකව ප්‍රශ්න කළා. නවකතාව ඒ ප්‍රශ්න කිරීමට හොඳ මාවතක්.
නඩත්තු කරන මතවාද ඇතුළෙ මියගිය සහ මිය යමින් සිටින ගැහැනු වෙනුවට ඔබ ‘අසීමා’ ඔස්සේ පණ ගැහෙන සජීවි ගැහැනු ආත්ම හොයනවා
අප පවතින්නේ ජීවත් වෙන විදිය ගැන කියවන්න නෙවෙයි, සැබැවින්ම ජීවත් වෙන්න. මම කැමැතියි තටු ශක්තිමත් පුළුල් සමාජයක් නිර්මාණය වෙනවාට. මට වෙලාවකට හිතෙනවා යථාර්ථයට වඩා ප්‍රබන්ධය ප්‍රබලයි කියලා. ප්‍රබල ප්‍රබන්ධයකට නව යථාර්ථයක් නිර්මාණය කරන්න පුළුවන්. පාරාදීසමය ස්වභාවයක් සහිත නිදහස් මානව කලාපයක ප්‍රබන්ධයක් පසුකාලීනව යථාර්ථයක් වෙන්න පුළුවන්. ප්‍රබල ප්‍රබන්ධ ලියැවෙන සමාජයකට නිදහස් බලවත් නව යථාර්ථයක් නිර්මාණය කළ හැකියි.
ඇත්තටම අපි වන්දනාමාන කරන බොහෝ දේවල් දැනටමත් මියගිය දේවල් කියලා මම කිව්වොත් ඔබ එකඟ ද?
වඳින නිසා වඳින්නේ නැතිව, වඳින්නේ ඇයි කියලා ගැඹුරින් ප්‍රශ්න කරන්න ඕන. පිළිමයට වඩා වැදගත් පිළිමය හැදුණ කතාව. පිළිමය හදපු මිනිසුන්ගේ කතාව. සමහර පිළිම හැදිලා තියෙන්නේ කිසිම කතාවක්, හැඟීමක් හෝ දැනීමකින් තොරව. කිසිම පදනමක් නැතිව සමහර දේවල් අපිත් ඔහේ නඩත්තු කරනවා. නඩත්තු කරන්න වෙහෙසෙනවා. එක දවසක් පැත්තකට වෙලා විනාඩි පහක් කල්පනා කළොත් වෙන්නේ මොකක්ද කියලා ඕනෑම කෙනෙක්ට තේරෙනවා. පරණ සමාජයක් අලුත් ඇඳුම් ඇඳගෙන නඩත්තු වෙන්න දුක් විඳිනවා. අයි ෆෝන් එකේ වර්ෂන් එක අප්ඩේඩ් වුණාට, ඒක භාවිත කරන සතාගේ ජීවිතය උසස් වෙලා ද කියන දේ ප්‍රශ්නයක්.
‘අසීමා’ කවුරු වෙනුවෙන් ද? පර්සෝනා ඉඳන් ඔබ කරන සටන කුමක් වෙනුවෙන් ද?
පැවැත්මේ සැබෑ ස්වරූපය කුතුහලයෙන් විමසීම, වටහා ගැනීම සහ විඳීම කියන චාරිකාවේ තමයි මම ඉන්නේ. අපි හැමෝම පැවැත්ම කියන මහා කතාවේ චරිත. ඉතින් මම පුංචි කතාන්දරකාරයෙක්. මම කැමැතියි පැවැත්ම ගැන මට හිතෙන එක එක කතාන්දර කියන්න. එහෙම කතාන්දර ඔහේ නිදහසේ හිතන්න. ඒ කතාන්දරවලින් අපි විශ්වය වටහා ගන්න විදිය, විශ්වය විඳින විදිහ ගැන අපේ අභ්‍යන්තර කතාන්දරය දේශ, සීමා, ජාති, කුල, ලිංග සීමාවලින් එහාට ගොස් විශාල වෙනවා නම් එය අපූරුයි. එහෙම මිනිස්සු ඉන්න තැනක් පාරාදීසයක් නෙවෙයිද? අන්න ඒ නිසා තමයි සීමාවක් නොමැති පාරාදීසයක කතාවක් කියන තේමාවෙන් අසීමා ලියැවුණේ.
සුමුදු චතුරාණී ජයවර්ධන