Home » පැන්සලෙන් පින්සලෙන් විස්කම් මැවූ සිත්තරා ඔගස්ටින් ප්‍රනාන්දු

පැන්සලෙන් පින්සලෙන් විස්කම් මැවූ සිත්තරා ඔගස්ටින් ප්‍රනාන්දු

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

ම්පහ දිස්ත්‍රික්කයේ මීගමු පුරවරයේ ඉපිද මීගමුවේ ශාන්ත පීතර විදුහලින් අධ්‍යාපනය ලැබූ ජෝශප් ඔගස්ටින් ප්‍රනාන්දු තෙලිතුඩින් ජීවමාන සිතුවම් නිර්මාණය කිරීමේ සහජ කුසලතාවක් උපතින්ම රැගෙන පැමිණි කලාකරුවෙකි.

පාසල් අධ්‍යාපනය නිමාවීමෙන් අනතුරුව කලා ශිල්පියකු ලෙස ශ්‍රී ලංකා පිඟන් සංස්ථාවේ සේවය කළ ඔහු මෙරට පාඨකයන් අතර චිත්‍රකතා පුවත්පත් අතිශය ජනප්‍රිය වූ යුගයක කැමිලස් ප්‍රකාශන ලෙස ජනප්‍රියත්වයට පත්වූ සිත්තර, සත්සිරි, රසික, සම්පත, ප්‍රාර්ථනා වැනි ලංකාවේ චිත්‍ර කතා කලාවේ පෙරළියක් මෙන්ම පාඨකයන්ගේ මතකයේ සදා රැඳි චිත්‍ර කතා පත්තර රාශියක පෑන් තුඩින් ජීවමාන රූරටා මවමින් දායකත්වය ලබාදී ඇත.

ඉන්පසුව විදෙස් රැකියාවක් සඳහා මෙරටින් පිටව කටාර් රාජ්‍යයට ගිය හේ කටාර් රාජ්‍යයේ රාජකීය පවුලේ සාමාජික ෂේක්වරයකු යටතේ එරට ඓතිහාසික ලිපි හා ජායාරූපවලට යළි ජීවය දීමේ වගකීම් සහිත රැකියාවක නිරතව සිට මීට වසර දෙකකට පමණ පෙර මව්බිමට පැමිණ ඇත.

ලෝකය ඩිජිටල් තාක්ෂණ පෙරළියට ලක්වෙමින් තිබියදී ඔගස්ටින් ප්‍රනාන්දු මහතාද පෑනෙන් පැන්සලෙන් පින්සලෙන් මැවූ විස්කම් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදු කිරීමේ අභියෝගය ජය ගෙන ඇත.

උපතින් කතෝලික බැතිමතකු වන ඔගස්ටින් ප්‍රනාන්දුගේ තෙලිතුඬින් මෑත කාලයේ නිමවූ වටිනාම නිමවුමක් ලෙස හැඳින්විය හැකි අපූරු නිර්මාණයක් පෑලියගොඩ රෝහණ විහාරයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළදී අපට දැක ගත හැකි වේ.

එනම් ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ සෝලියස් මෙන්දිස් නම්වූ අතිදක්ෂ චිත්‍ර ශිල්පියාගේ තෙලිතුඩින් නිර්මාණය වූ කැලණි තිස්ස රජුගේ දූකුමරිය වූ විහාරමහා දේවිය මුහුදට බිලිදුන් අන්දම ඇතුළත් සිදුවීම පැරණි නිර්මාණයට කිසිදු හානියක් නොවන අයුරින් සිතුවම් කරමින් බෞද්ධ සාහිත්‍ය අනාගත පරපුරට දායාද කිරීමය.

ඔගස්ටින් ප්‍රනාන්දු චිත්‍ර ශිල්පියාගේ තෙලිතුඩින් රූපරාමු පහකින් නිර්මාණය කර ඇති එම චිත්‍ර පිළිබදව තම සතුට පළ කළ පෑලියගොඩ රෝහණ විහාරාධිපති ඌරාපොල පේමසිරි හිමිපාණන් වහන්සේ මෙසේ පැවසීය.

අපේ විහාරස්ථානයේ අභිනව චෛත්‍යය රාජයාණන් වහන්සේ වටා සිතුවමින් අලංකාර කිරීමට හැකි චිත්‍ර කලාවට දක්ෂ ශිල්පියකු සොයමින් සිටි කාලයක මට ඔගස්ටින් ප්‍රනාන්දු මුණ ගැසුණේ. එතුමා සැඟවුණු දක්ෂතා ඇති චිත්‍ර ශිල්පියෙක්.එදා ඓතිහාසික කැලණි රජමහ­ාවිහාරස්ථානය සිතුවමින් හැඩ කළ සෝලියස් මෙන්දිස් නම්වූ අතිදක්ෂ නිර්මාණකරුවාගේ තෙලිතුඩින් නිමාවූ පැරණි චිත්‍රයට කිසිම අන්දමකින් හානියක් නොවන පරිදි විහාරමහදේවියගේ කතාව ඔගස්ටින් ප්‍රනාන්දු මහතා සිතුවමට නඟා තිබෙන අයුරු මුල්වරට දැක්ක වෙලේ මා ඉතාම සතුටට පත් උනා. ඇත්තටම එතුමා සහජ කුසලතාවන්ගෙන් සපිරි නිර්මාණකරුවෙක්. අගය කළ යුත්තන් අගය කළ යුතුයි‘

සිය පියාගේ අඩිපාරේ ගිය ඔගස්ටින් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ද මේ වන විට විදේශ රටක ඩිජිටල් තාක්ෂණය හා බැඳුණු නිර්මාණ ශිල්පීන් ලෙස රැකියාවල නිරත වන බවත් තම නිර්මාණ කටයුතු සඳහා බිරිඳ වූ ප්‍රියන්ති පෙරේරාගෙන් ලැබෙන සහාය ඉදිරි ගමනට අත්වැලක් වී ඇති බවත් ඔහු පැවසීය.

පෑලි­ය­ගොඩ  රෝහණ විහා­රා­ධි­පති  පූජ්‍ය පාදඌරා­පොල පේම­සිරි  හිමි­පා­ණන්  වහන්සේ  සහ
ඔග­ස්ටින්  ප්‍රනාන්දු  මහතා

පෑලි­ය­ගොඩ රෝහණ විහා­රා­ධි­පති පූජ්‍ය පාද ඌරා­පොල පේම­සිරි හිමි­පා­ණන් වහන්සේ සහ ඔග­ස්ටින් ප්‍රනාන්දු මහතා

ගම්පහ - කුසුම් එස්. හැන්නදි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division